සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් පද්ධතිය දින පහක් තිස්සේ බිඳ වැටිලා. දෛනික පාඩුව මිලියන 7 ඉක්මවයි!

0
192

කොළඹ LNW:වංචාවට,දුෂණයට තිත තබමින් වඩා කාර්යක්ෂම,ඵලදායී සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින් වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඩිජිටල්කරණ සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

ඩිජිටල්කරණය සැලසුමට අනුව නව ප්‍රවණතාවන් හමුවේ නව දිශානතියක් කරා යනු ඇති බවට වත්මන් ආණ්ඩුව විශ්වාසය පළකර ඇත.

ඒ අනුව ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරියේදී ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

එහිදී රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම පළමු අදියරේදී ඇරඹි අතර එය වඩාත් පුළුල් ලෙස සෙසු ක්ෂේත්‍ර කරා ගෙනයාමට ආණ්ඩුව අපේක්ෂාවෙන් පසුවෙයි.

තත්ත්වය එසේ තිබියදී පසුගිය සෙනසුරාදා එනම් 12 වැනිදා සිට සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙන අතර තවදුරටත් එය යථාතත්ත්වයට පත්කරගැනීමේ නොහැකිවෙන් පසුවන බව සඳහන්.

KPMG ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශය සමඟ එක්ව 2018 අප්‍රේල් මාසයේදී එම ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර එමඟින් මහජනතාව ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමටත් ශ්‍රී ලංකාව පහසුවෙන් ව්‍යාපර කළ හැකි දර්ශකයේ ඉදිරියට පැමිණීමට ද එමඟින් හැකි වී තිබේ. ඒ අනුව මෙරට ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු ආයතනය ලෙස සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව ඉතිහාසයට එක්ව සිටියේය.

කෙසේවෙතත් පසුගිය වසර දෙකහමාරක පමණ කාලය තුළ ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවීමත්,නව්‍යතා කෙරෙහි ප්‍රවේශ නොවීමත් යන ආකර්යක්ෂමකරණයකට නතුව තිබෙන අතර පසුගිය මැයි 31 වැනිදා වන විට KPMG ආයතනය සමඟ තිබුණු එම සේවාකරණ ගිවිසුමද අවසන් වී තිබේ.

ඒ අනුව මැයි 231න් පසු පසුගිය 12 වැනිදා දක්වාම කිසිදු සේවා නඩත්තුවකින් තොරව පද්ධතිය ක්‍රියාත්මක වී තිබෙන අතර මේ වන විට එය බිඳවැටී යළි යථාතත්ත්වයට පත්කරගැනීමට නොහැකි තැනට ආයතනය පත්ව සිටින බවයි වාර්තා වුණේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව විශාල සේවා රැසක් සිදුකරන ආයතනයකි. සමාගම් සංස්ථාපිත කිරීම,උප්පැන්න, මරණ සහතික නිකුත් කිරීම, සමාගම් සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ වෙනස්කිරීම් ලියාපදිංචි කිරීම ඇතුළු සමාගම් ලියාපදිංචිය මෙන්ම ඈවර කිරීමේ කටයුතු ඇතුළු විවිධ වූ සේවා සැපයීම සිදුවන අතර විශේෂයෙන් රුපියල් මිලියන 5ට වැඩි ටෙන්ඩර ලියාපදිංචි කිරීමද සිදුවන්නේ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව හරහාය. එම කටයුතු සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට සිදුවන අතර මේ වන විට එම කටයුතු සම්පූර්ණයෙන් පාහේ ඇණහිට ඇති ඇති බව සඳහන්. එමෙන්ම මෙම පරිගණක පද්ධතිය අක්‍රීය වීම නිසා ලියාපදිංචි සමාගම් විසින් ආනයන කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමට ද බාධාවන් එල්ල වී ඇති අතර ඒ අනුව සමාගම වෙත අතිරේක ගාස්තුවක් ප්‍රමාද ගාස්තු ලෙස තවත් පසෙකින් රේගුවට ගෙවීමටද සිදුවෙයි. මේ අනුව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් මෙම පද්ධතිකරණයේ බිඳ වැටීම තුළ ආයතන රැසක කටයුතුවලට බාධා පමුණුවා තිබේ. තවද කොවිඩ් සමයේ සමාගම් දහසකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ගැනීමට හැකිව තිබුණේද ආයතනය තුළ ක්‍රියාත්මක වූ ඩිජිටල්කරණ ක්‍රියාවලිය නිසාය. විනිවිදභාවය රකිමින්, වංචාවට,දුෂණයට ඉඩක් නොලැබෙන ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරක්ෂා කරගැනීම වෙනුවට එය

එය ආයතනය තුළ සාමාන්‍ය පරිදි පරිගණක භාවිතා කිරීමේ හැකියාව ඇති නිලධාරීන්, සේවකයින් සිටියද මෙවැනි මෘදුකාංග ක්‍රියාත්මක වන අකාරය හෝ ඊට අදාළ තාක්ෂණික දැනුම් දන්නා විශේෂඥයින් නොමැති පසුබිමක කිසිදු පැහැදිලි හෝ නිශ්චිත හේතුකාරණා වලින් තොරව විනිවිදභාවයකින් කටයුතුකරන ජාත්‍යන්තර ආයතනයක් ලෙස KPMG ආයතනයේ සේවා ගිවිසුම් අවසන් කිරීමත් අනතුරුව පද්ධතිය රැකගැනීම සඳහා කිසිදු මැදිහත්වීමක් නොවුණු පරිසරයක ඩිජිටල්කරණ පද්ධතිය බිඳවැටුණු බවයි ඒ පිළිබඳ තතු දන්නෝ පවසන්න්.

දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් දෙතුන් දෙනෙකුගේ පටු අවශ්‍යතා වෙනුවෙන් මෙම ඩිජිටල් සේවාකරණ පද්ධතිය බිඳ වැටි ඇති බවත් ඇතැමෙකුගේ අවශ්‍යතාව වී ඇත්තේ පෙර පරිදි පරිගණක පද්ධතිය ඉවත්කරගෙන පරණ පුරුදු ලෙස කඩදාසි ෆයිල් ගොඩගසාගෙන ඔවුන් අපේක්ෂා කරන දුෂිත අරමුණු ඉටුකරගැනීමට බවද තවත් පසෙකින් චෝදනාවක් එල්ල වෙමින් තිබේ. එමෙන්ම වෙනත් ආයතනයකට එම සේවාකරණය පැවරීමේ අරමුණක් ඉහළ නිලාධාරීන් දෙතුන් දෙනෙකුට ඇති බවටද තවත් චෝදනාවක් එල්ල වී ඇති බවද කියවෙයි. විෂයභාර අමාත්‍යවරයාද නොමඟ යවමින් කටයුතු කරමින් තිබෙන පරිසරයක හානි වන්නේ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට මෙන්ම සමස්ත රටේ ආර්ථික ක්‍රියාවලියේ මෙහෙයුම්කරණයට බව මේ පිළිබඳ සංවේදී තැනැත්තන් පවසමින් සිටියි. වාර්තාවන අන්දමට මෙලෙස පද්ධතිය සම්පූර්ණයෙන් අකර්මන්‍ය වන තැනට පත්වන තුරු නිසිබලධාරින් එය වළක්වා ගැනීමට මැදිහත්වීමක් කර නැත. මෙය සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වීමක් පමණක් නොව ආණ්ඩුවේ සමස්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතියටද ඉන් එල්ල වන්නේ සුළුපටු හානියක් නොවේ.

පවතින තත්ත්වය මත සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. මිලියන 7ත් 8ත් අතර ප්‍රමාණයක් බවද කියවෙයි.

මිනිසුන් අතින් සිදුවන වැරදි මෙන්ම තාක්ෂණික පද්ධති තුළද බිඳ වැටීම්, දෝෂ මතුවීම සාමාන්‍ය දෙයකි. ඒවා නිරන්තර පරීක්ෂාවට ලක්වෙමින් නඩත්තු කරමින් භාවිතාවට ගන්නේ එකී දෝෂ වළක්වා ගැනීම වෙනුවෙනි. එම ක්‍රියාවලිය ගැන හොඳින් දන්නා පසුබිමක මෙලෙස රටේ ප්‍රධාන පෙළේ දෙපාර්තමේන්තුවක් අකර්මන්‍ය තත්ත්වයට පත්වීම සාධාරණිකරණය කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙයි. වාර්තා වන තොරතුරු අනුව පසුගිය මැයි 31 වැනිදායින් පසු කිසිදු නඩත්තුවකින් තොරව ක්‍රියාත්මක වී ඇති පරිගණක පද්ධතිය දැන් ක්‍රියාවිරහිත වී තිබෙන අතර මෙවැනි තත්ත්වයකදී තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් සකස් කරන Disaster recovery site එකද සකස් කරගැනීමට දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බව සඳහන්. ඒ අනුව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යමින් හිදින්නේ කොතැනටද? නැත්නම් මෙම ආයතනය පත්කරන්නට හදන්නේ කුමන තත්ත්වයකට ද යන්න විමසා බැලීමට සිදුවෙයි.

ඩිජිටල්කරණ ක්‍රියාවලිය හරහා රට අලුත් කරන්නට ආණ්ඩුව කතා කරන විට අනෙක් පසින් තිබෙන දේ රැකගැනීමට නොහැකි තැනට පත්ව ඇත්ද යන ප්‍රශ්නයද මෙහිදී නගන්නට සිදුව ඇත.