විෂ රසායනික යොදා පළතුරු ඉදවීමේ ක්‍රමවේද නියාමනයට රජය සැරසේ!

කොළඹ LNW:විෂ රසායනික යොදා පළතුරු ඉදවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී අද(20) දින සාකච්ඡාවක් පැවැත්විණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කළ කැඳවීමක් අනුව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සහ එම අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය, ආහාර පර්යේෂණ ඒකකය, පසු අස්වනු තාක්ෂණ ආයතනය, හොරණ පලතුරු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් එක්විය.

විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස කෙසෙල්, අඹ, ගස්ලබු හා අලිපේර වැනි පළතුරු ඉදවා වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පළතුරු ඉදවීම සදහා විෂ රසායනික යෙදීම වහා නතර කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් මෙම සාකච්ඡාවේදී විමසා බැලිණ. ඒ සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් හා එම නීති බලාත්මක කිරීමට ඇති බාධා මොනවාද යන්න පිළිබඳ එහිදී සොයා බලන ලදී.

දීර්ඝ කාලයක් තිස්සේ විෂ රසායනික යොදා ඉදවන පළතුරු, ආහාරයට ගැනීමෙන් මිනිස් සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳ නිසි පර්යේෂණ පවා නොමැති තත්ත්වයක් තුළ වහා එය නියාමනය කරමින් අවශ්‍ය දැඩි නීතිමය තීන්දු තීරණ සඳහා එළැඹීමේ අවශ්‍යතාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.

ඒ සඳහා පාරිභෝගික පනතේ සංශෝධන සිදුකළ යුතු නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

ආර්ථික කෘෂිකර්මාන්තය තුළ කෘතිම පලතුරු ඉදවීම යම්තාක් දුරකට භාවිත කිරීමට සිදුවන බව පැහැදිලි කළ කෘෂි පර්යේෂණ නිලධාරීන් ජාත්‍යන්තර වශයෙන් වශයෙන්ද එවැනි ක්‍රමවේදී විද්‍යාත්මක පදනමක් මත භාවිත කෙරෙන බව පෙන්වා දෙන ලදී.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේද මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පලතුරු ඉදිවීම සඳහා පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා දෙන බවත්, එම විද්‍යාත්මක ක්‍රමවේද නිසි ලෙස භාවිත නොකර, පහසු කෘතිම පලතුරු ඉදවීමේ ක්‍රමවේදයන්ට බොහෝ වෙළෙඳුන් හා පලතුරු නිෂ්පාදකයන් පුරුදු වී සිටින බවත් සදහන් කෙරිණ.

ආහාර පාලන පනත විධි විධාන අනුව කිසිදු රසායනිකයක් හෝ වෙනත් ද්‍රාවණයක් පළතුරක් සමඟ ස්පර්ශ කිරීමට ඉඩ හැරිය නොහැකි බවත් මෙහිදී අදාළ නිලධාරීන් පෙන්වා දෙන ලදී.

පළතුරු ඉදවීමට විෂ රසායනික භාවිත කර ඇත්ද යන්න පිළිබඳ තහවුරු කෙරෙන පරීක්ෂණ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය සතුව රසායනාගාර පහසුකම් පැවතියද එහි අධික කාර්යබහුලත්වයක් පවතින බැවින් ඉදිරියේදී රසායනික යොදා පලතුරු ඉදිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැටලීම් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඒ සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අද පැවති මෙම මූලික සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...