*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

ඖෂධ හිඟයට දෙවන නොවන අනිටු ඵල ගෙනෙන හිතුමතේ ඖෂධ භාවිතය – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

විනිවිද: ඖෂධ හිඟය, ඖෂධ ලබාදීමේ වැරදීම් ආදී වශයෙන් ඖෂධ සම්බන්ධ විශාල කතිකාවතක් මේ දිනවල සමාජය තුළ ගොඩනැගී තිබේ. මේ අතර ඖෂධ සම්බන්ධයෙන් රජයේ වගකිව යුත්තන්ට දොස් නැඟීම ද අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත.නමුත් භාවිතය සම්බන්ධ නිහඬව සිදු වන තවත් ඛේදනීය තත්වයක් සම්බන්ධයෙන් නිසි ජන අවධානයක් යොමුව නැති බවක් පෙනෙයි.නමුදු මින් ඇති විය හැකි අනිටු ප්‍රතිඵල ඉහත සඳහන් අර්බුද  නිසා හට ගන්නා අනිටු ප්‍රතිඵල වලට වඩා කෙසේ වත් දෙවන නොවන බව අප ගේ වැටහීමය.ඉන් ප්‍රධාන කරුණ වන්නේ තමන්ගේ පවුලේ හෝ අසල්වැසියකුට, නැතහොත් ඥාතියකුට හිතවතෙකුට වැළඳුණු රෝගය හා සමාන ලක්ෂණ ඇති රෝගයක් තමාටත් වැළඳුණහොත් කිසිදු වෛද්‍ය උපදේශයකින් ⁣ ⁣තොරව එම ඖෂධ තමා ද ෆාමසියෙන් මිලදී ගෙන භාවිතා කිරීම ය. නමුත් මේ ලෙස ඖෂධ සමග සෙල්ලම් කිරීමේ තිබෙන භයානකකම පිළිබඳව ඔබට වැටහීමක් තිබිය යුතුය.

මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව , කැස්ස වැනි සෙම්රෝග බහුල ය. මේ නිසා හිස කැක්කුම, ඇඟේ පතේ වේදනාව එහි ලක්ෂණ ලෙස ඇති විය හැකිය. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට වැඩි දෙනෙක් කරන්නේ කුමක් හෝ වේදනානාශක පෙත්තක් ගැනීම ය. ඉහතද සඳහන් කළාක් මෙන් සමහරු අනුන්ගේ ලෙඩවලට දුන් බෙහෙත් පෙති තමන්ටද එවැනි ලෙඩක් ඇතිවුණු කල ෆාමසියකින් මිලදී ගෙන භාවිතා කරති. ඇතමුන් ෆාමසියට ගොස් අසවල් පෙති වර්ගය දෙන ලෙස පවසමින් බෙහෙත් පෙති ඉල්ලන්නේ කඩේකින් සබන් කෑල්ලක් ගන්නා අයුරිනි.
බටහිර ඖෂධ, එසේත් නැත්නම් ඉංග්‍රීසි බෙහෙත්වල අඩංගු සංයුතීන් කුමක්ද? යන්න බටහිර වෛද්‍යවරු දනිති. මෙම ඖෂධ පානය කළ පසු ශරීරය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ද බටහිර වෛද්‍යවරුන්ට දැනීමක් ඇත.

ඖෂධ ශරීරයට උරා ගන්නා ක්‍රම කිහිපයක් තිබේ. බොහෝ විට අප කරන්නේ ඖෂධ මුඛයෙන් ගැනීම ය. ඒ හැරුණු විට ඉන්ජෙක්ෂන් ලෙසින් ගන්නා ඖෂධ, දිව යට තබන ඖෂධ, හුස්ම සමග පපුවට ඉරීමෙන් ලබා ගන්නා ඖෂධ, අධෝ මාර්ගයෙන් ඇතුල් කරන ඖෂධ ආදී වශයෙන් ඒ ඒ ඖෂධයට අනුව ඒ ඒ ආකාරයෙන් ශරීරගත කිරීම සිදුවේ.
මෙලෙස ඖෂධයක් ශරීරයට ගත් පසු එය අවශ්‍ය තැනට, එනම් රෝගය ඇති තැනට ගෙන යන්නේ රුධිරය විසිනි. රුධිරය ශරීරය පුරා ගලා යන විට ඖෂධ ද ඒ සමඟ සිරුර පුරා ගමන් කරයි. අවශ්‍ය තැනදී එය ක්‍රියාකාරී වන අතර අනවශ්‍ය තැන්වලටත් රුධිරය සමග ඖෂධය ගමන් කරන්නේ ඉබාගාතේ යන ගමනක් ලෙසිනි.

සමහර ඖෂධ වර්ග කෑමට පෙර ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. ඒ, එම ඖෂධය කෑම සමග මිශ්‍ර නොවීමට ය. එනිසා එවැනි ඖෂධ ගත් සැණින් ආහාර ගැනීම නොකළ යුතු ය. එබඳු අවස්ථාවලදී ආහාර ගත යුත්තේ ඖෂධය ශරීරයට ගෙන පැය භාගයකට පමණ පසුව ය. ඊට හේතුව, ඖෂධය පැය භාගයක් පමණ ආමාශය තුළ රැඳී පැවතීමයි.
බොහොමයක් ඖෂධ වර්ග කෑමට පසුව ගන්නා ලෙස උපදෙස් ලැබේ. ඒ්, එම ඖෂධ කෑම සමග මිශ්‍ර වීම අවශ්‍ය විය යුතු නිසා ය. එහිදී කෑම ගත් පසු පැය භාගයක් පමණ ඇතුළත ඕනෑම වේලාවක ගත හැකිය. ප්‍රමාද වී ගැනීම පලක් නැත. එවිට ආහාර දිරවා අවසන් බැවිනි.
සමහර ඖෂධ ගත යුත්තේ පැය හයකට වරක් වශයෙනි. එම ඖෂධ පැය හයකින් පසු ශරීරය තුළ ක්‍රියාකාරී වී අවසන් වෙයි. පැය හයකට පසු නැවත ඊළඟ ඖෂධ වේල ගත යුතු වේ.

දිනකට දෙවරක්, දවසට එක් වරක් ආදී වශයෙන් ගන්නා ඖෂධ ද ඒ නියමිත කාලයෙන් පසු එහි ක්‍රියාකාරී බව නැතිවී යයි.
ඖෂධ නියම කරන විට වෛද්‍යවරයා එහි මාත්‍රාවක් ද නියම කරයි. එම මාත්‍රාවට ම ඖෂධ ලබා ගැනීම ඔබේ වගකීම ය. පෙති දෙකක් එකවර ගන්නා ලෙස උපදෙස් දුන් විට ඔබ පෙති තුනක් ගැනීම හෝ එක පෙත්තක් ගැනීම හොද්දට ලුණු අඩු වැඩි වීම වැනි දෙයකි. ලුණු ප්‍රමාණය හැන්දෙන් මනින්නාක් මෙන් අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය මනින්නේ මිලිග්‍රෑම් වලිනි. ඔබට සුදුසු වන්නේ මිලිග්‍රෑම් සියයක් නම් එය පනහේ පෙති දෙකක් හෝ මිලිග්‍රෑම් දෙසීයේ පෙති භාගයක් විය හැකිය.

සමහර විට ශරීරය තුළ ඖෂධ අතර ගැටුම් ඇති වන අවස්ථා තිබේ. එනිසා වෛද්‍යවරයා ඔබට බෙහෙත් ලියන්නට සූදානම් වන විට ඔබ දැන් පාවිච්චි කරන බෙහෙත් වර්ගවල නම් වෛද්‍යවරයාට පෙන්විය යුතුය. ඇතැම්විට එම බෙහෙත් පෙති වර්ග පෙන්වීමෙන් ප්‍රයෝජනයක් නොවිය හැකිය. ඊට හේතුව, ඖෂධයක බාහිර පෙනුම ඒවා නිපදවන සමාගම්වලට කැමති පරිදි සිදු වන නිසා ය. එබැවින් වඩා සුදුසු, වෛද්‍යවරයා ලියා දුන් බෙහෙත් වට්ටෝරු ළඟ තබාගෙන ඒවා ඉදිරිපත් කිරීම ය.

සමහර ඖෂධවලට එහි ඖෂධ නාමය හැරුණු විට එය නිපදවන සමාගම විසින් තවත් නමක් යොදයි. එය හඳුන්වන්නේ ඖෂධයෙහි වෙළඳ නාමය ලෙසිනි. නිදසුනක් ලෙස පැරසිටමෝල් ඖෂධය විවිධ වෙළෙඳ නාම ගණනාවකින් පැවතීම දැක්විය හැකිය.
අප බෙහෙත් වර්ග ගැනීමෙන් පසු ඇතැම් ඒවා පිට වන්නේ වකුගඩු හරහා මුත්‍රා සමඟ ය. තවත් ඒවා අක්මාව හරහා මළ සමඟ පිට වෙයි. බොහෝ ඖෂධ ශරීරයෙන් පිටවන්නේ මේ ක්‍රම දෙකට අනුව ය. එනිසා වකුගඩු රෝගීන්ට මෙන්ම අක්මා රෝගීන්ටත් නොගැළපෙන ඖෂධ වර්ග තිබේ. එසේම තවත් ඖෂධ වර්ග දිගුකලක් ගත් විට ශරීරයේ ඇතැම් අවයවවලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඖෂධ ගත යුතු වන්නේ මෙවැනි හේතු නිසා ය.
සමහර රෝගවලට දෙන ඖෂධ සිරුරට විෂ විය හැකි ය. ඒ බව වෛද්‍යවරයා ද දනී. නමුත් රෝගයේ අවදානම ඊට වඩා වැඩි නම් එවැනි ඖෂධ රෝගීන්ට නියම කරන්නට වෛද්‍යවරයාට සිදුවේ.

තවත් සමහර ඖෂධ වර්ග අප ගත් පසු ඒවා අපේ ශරීරය විසින් ප්‍රතික්ෂේප කරයි. ඖෂධ අසාත්මික වීම හෙවත් ඇලජික් (Allergic ) වීම ලෙස හඳුන්වන්නේ මේ තත්ත්වයයි. යම් අවස්ථාවක එලෙස කිසියම් ඖෂධයක් ඔබේ සිරුරට අසාත්මික වුවහොත් එය මුළු ජීවිත කාලයටම වලංගු බව සිහි තබා ගත යුතුය. ඒ අනුව එම ඖෂධය වෛද්‍යවරයා වෙතින් ලියවාගෙන ළඟ තබාගත යුතුය. ඔබ ඕනෑම අවස්ථාවක කිනම් රෝගයකට හෝ ප්‍රතිකාර ගැනීමට ගිය විට එම ඖෂධය අදාළ වෛද්‍යවරයාට පෙන්වන්න. එවිට එම ඖෂධය නොදී හිඳින්නට වෛද්‍යවරයා විසින් වග බලා ගනු ඇත. ඔබට කුමන ඖෂධයක් අසාත්මික විය හැකි දැයි එවැනි අත්දැකීමක් ලැබීමට පෙර ඔබ දන්නේ නැත. එසේම ඔබට අසාත්මික විය හැකි ඖෂධ ගැන වෛද්‍යවරයා දන්නේද නැත. අසාත්මික වූ විට ඔබ එය සිහි තබාගත යුත්තේ ඒ නිසා ය.
අධි රුධිර පීඩනයට ගන්නා සමහර ඖෂධ වර්ග නිසා කකුල් ඉදිමීම, වියළි කැස්ස ඇති වීම සුලබ තත්වයකි. එවැනි අවස්ථාවලදී බෙහෙත් වෙනස් කිරීම ප්‍රමාණවත් ය. මේ ආකාරයට ඖෂධ මගින් අපට ලැබෙන වාසි විශාල සේම, අවාසි ද නැතුවා නොවේ. නමුත් අප රෝගී වීම වැළැක්විය නොහැකිය. එනිසා ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පිළිපැදීම ය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා / ඉන්දු පෙරේරා (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan