ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ ….

Date:

ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා.

ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව ලෝකයේ රටවල් 111කට කිලෝග්‍රෑම් 408,370,302ක කොහු ලණු හා එම කාණ්ඩයේ අනෙකුත් නිෂ්පාදන අපනයනය කර එමගින් ඩොලර් මිලියන 172ක (හරියටම ඩොලර් 171,964,416ක) විදේශ විණිමය ප්‍රමාණයක් උපයාගෙන තිබෙනවා. ලංකාව ලණු දීපු නැති රටක් ලෝකයේම නැති තරම්!

ගිය අවුරුද්දේ ලංකාව වැඩියෙන්ම ලණු දී තිබෙන්නේ චීනයටයි. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 89,301,836ක්. එමගින් උපයා තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 20.4ක් (හරියටම ඩොලර් 20,381,674ක්). මෙක්සිකෝවට ලණු දී තිබෙන්නේ මීට වඩා අඩුවෙන් වුනත් (කිලෝග්‍රෑම් 43,676,320ක්), වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් උපයා තිබෙන්නේ මෙක්සිකෝවට ලණු දීලයි. එම ආදායම ඩොලර් මිලියන 23ක් (ඩොලර් 22,978,180ක්). ජපානයට කිලෝග්‍රෑම් 35,566,195ක ලණු දී ඩොලර් මිලියන 11.1ක (ඩොලර් 11,082,593ක) ආදායමක් උපයාගෙන තිබෙනවා.

උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ ජපානයේ විකුණන්නට තිබෙන ලංකාවේ නිපදවනු ලැබූ ලණු කැරලි. මේවා විකුණන්නට තිබෙන්නේ ජපානය පුරා ව්‍යාප්තව ඇති, යෙන් 100ක මිලකට බඩු විකුණන (ඇමරිකාවේ ඩොලර් කඩ හා එක්සත් රාජධානියේ පවුම් ෂොප් වැනි), දයිසෝ නම් සිල්ලර වෙළඳසැල් ජාලයකයි.

මෙහි නිෂ්පාදකයාගේ නම කියවා ගන්න අසීරුයි. කියවා ගත හැකි පරිදි මෙය නිපදවා තිබෙන්නේ වේයන්ගොඩ, නයිවල, කොළඹ පාරේ, අංක 379/4 දරන ලිපිනයේ ඇති (හෝ ඊට කිට්ටුවෙන් යන නමක් සහිත ලිපිනයක ඇති) කොයිල් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම හෝ ඊට කිට්ටු නමක් තිබෙන ආයතනයකයි. බොහෝ විට මුලින් තවත් වචනයක් ඇති.

කොහු ලණු හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් ලණු හැදිය හැක්කේත් සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් වැඩි කොටසක් අපනයනය කළ විට ලංකාවේ අවශ්‍යතා සඳහා ලණු හිඟ වෙනවා. නමුත් කොහු ලණු වලින් කළ හැකි දේ කරන්න හැම විටම කොහු ලණුම අවශ්‍ය නැහැ. අඩු මිලකට ප්ලාස්ටික් ලණු මිල දී ගත හැකිනම් බොහෝ දෙනෙක් කොහු ලණු වෙනුවට ප්ලාස්ටික් ලණු මිල දී ගන්නවා. ඒ ප්ලාස්ටික් ලණු ආනයනය කරනවා වෙන්න පුළුවන්.

කොහු ලණුවක් අවශ්‍ය වැඩේ ප්ලාස්ටික් ලණුවකින් කරගත් විට බොහෝ දෙනෙකු අතේ මුදල් ඉතිරි වෙනවා. එය පාරිභෝගිකයින්ට වාසියක්. අනෙක් පැත්තෙන් කොහු ලණු නිෂ්පාදකයින්ට ඔය ලණු රට ඇතුළේ විකුණලා ගන්න බැරි මුදලක් ඒවා අපනයනය කරලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩෙන් පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් වාසියි.

කොහු ලණු අපනයනය කරලා උපයා ගන්නා විදේශ විණිමය වැය කරලා ප්ලාස්ටික් ලණු ගේන එකෙන් අවශ්‍ය වැඩෙත් වෙලා තව අමතර විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඕක තමයි ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන වාසිය. එහෙම නැතුව රටට අවශ්‍ය ලණු රටේම හදාගන්න ගියොත් පාරිභෝගිකයින්ට, නිෂ්පාදකයින්ට වගේම අන්තිමේදී රටටත් වෙන්නේ අවාසියක්. එහෙම ලණුනම් කන්න එපා!

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...