Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

83 කලු ජූලියේ මතක සටහනක් ….

මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්.අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්.⁣හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත.තම සේවා කොන්දේසි කාලය නිමා වූ පසු රජයේ සේවයෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ආරම්භ කරමින් හොරණ ම නතර විය.නගරයේ සිංහල වෛද්‍යවරුන් සිටිය ද ⁣රෝගීන්ගේ වැඩි ආකර්ෂණයක් තිබුනේ දෙමළ වෛද්‍යවරුන් ⁣දෙදෙනාට ය.එයිනුත් කණපතිපිල්ලෙයි විශේෂයි.හේතුව වූයේ ඔහු තුළ තිබුණු මිනිස් කමත් රුපියල් සතවලට ගිජු නොවීමත් ය.

වෛද්‍ය විද්‍යාලයේ සිටියදී ඔහුගේ ගුරුවරයකු වූ මහාචාර්ය තනබාල සුන්දරම්ගේ ගතිගුණ සහ ආකල්ප ඔහුට සම්ප්‍රේරණය වී තිබුණි.සෙසු වෛද්‍යවරු රෑ 10ට පමණ ඩිස්පෙන්සරිය වැසූ පසු අම්මා මුත්තා කීවත් ආයේ හමු වෙන්න බැරි ය.කණපතිපිල්ලෛයි එසේ නොවේ.මහ රෑ දෙකට තුනට ගිය ද නිවසේ සීනුව නාද කළ විගස රාත්‍රි ඇඳුම පිටින් පහළට දුව ගෙන එයි.මට තාම ඒ අතීතය මතකයි.වසර තුනක් වියැති මගේ දුව අසනීප වී දහවල් බේත් රැගෙන ගියෙමි.ඒත් රෑ යලි රෝගය උත්සන්න වූ නිසා රෑ තුනට යලි ඔහුගේ නිවසට දිව ගියෙමි.පළමු සීනු හඬින් ම ඔහු දුවගෙන ආවේ ය.පරීක්ෂා කර බලා අලුතින් බෙහෙත් ලබා දුන් පසු මා මුදල් ගෙවූව ද ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.” නෑ නෑ,ඔයා දවල් සල්ලි දීලා නේ බෙහෙත් අරන් ගියේ.තව කොච්චර බෙහෙත් දුන්නත් සල්ලි ගන්නේ නෑ.”

වරෙක මාගේ බිරිඳ ප්ලූරා ප්‍රදාහය නිසා කොළඹ මහාචාර්ය තනබාල සුන්දරම් වෙත ගියවිට ස්ට්‍රෙප්ටෝමයිසීන් බෙහෙත් පන්තියක් විද ගැනීමට ඔහු නියම කළේ ය.අපි කනපතිපිල්ලෙයි මුනගැසී කාරණය කීවෙමු.ඔහු එය භාර ගත්තේ ය.බෙහෙත් පන්තිය ම විද නිම වූ පසු අපි මුදල් දුනිමු.ඔහුගේ පිළිතුර පුදුම සහගත එකකි . ” බෙහෙත් නියම කරල තියෙන්නෙ මගේ ගුරුවරයා නේ.ඉතින් මම සල්ලි ගන්නෙ කොහොම ද.සල්ලි එපා.” නැති බැරි අසරණ ජනතාවට මුදල් ඇතා හෝ නැතා ඔහු බෙහෙත් දුන්නේ ය. ඒ ඔහුගේ සැටි ය.කෝවිලට පමණක් නොව ඇතැම් දිනවල මව සහ බිරිඳ සමග හොරණ රාජ මහා විහාරයට ද ආවා ගියේ ය.ඒකත් ඔහුගේ සැටි ය.ඔහු පැමිණි බව දැන ගත් විට නායක හිමිගේ සිට සියලු හිමිවරු ඔහු බැලීමට , වචනයක් දෙකක් කතා කිරීමට විහාරයට එති. ’83 කලු ජූලිය එළඹියේ මෙසේ තිබියදී ය.

දහවල් 10 පමණ වන විට එය අපේ නගරයට ද පැතිර ආවේ ය.ජාත්‍යාලයෙන් ඔද වැඩුණු “සිංහලයෝ ” නගර ශුද්ධය අරඹා ඇති බව ආරංචි විය.නගරයේ වෛද්‍යවරුන් දෙදෙනා ද ඇතුළුව තවත් ද්‍රවිඩ ව්‍යාපාර දෙකක් විය.ඉන් එකක් සිංහල දෙමළ බද්ධ ව්‍යාපාරයක් වූ සරස්වති වෙළඳ ආයතනයයි.අනෙක කුළුබඩු රබර් වැන දේ එකතු කළ චප්පාණිගේ සිල්ලර වෙළඳ සැලයි.එය පිහිටියේ පැරණි පොදු වෙළඳ සල් බිමේ ය.දුටු දෙයින් මගේ සිත මොහොතකට රික්තයක් බවට පත් වි ය.හොරණ බෝ ගස අසල වූ සරස්වති වෙළඳ සල මුලුමනින් ම ආක්‍රමණය කර තිබිණි.අවට සෙනග ප්‍රහර්ෂයෙන් යුතුව නරඹමින් සිටියහ.ටොෆි, චොකලට්,විස්කෝතු වැනි ආහාර ද්‍රව්‍ය හිසට උඩින් පා වී අවුත් මහ පාරට පතිත වෙමින් තිබණි.සමහර ලුම්පනයන් ඒවා අසුලා ගෙන යමින් තිබිණි. ” මේවා නම් අපරාධ” – මට කීමට ලැබුනේ එපමණ ය.මගේ මිතුරු ග්‍රාම ‘සූකරයෙක් ‘ මා වෙත හැරුණේ ය. ” ජයදේව මහත්තෙයෝ, තමුසේ කන පලා ගන්නෙ නැතිව යනව ද ” මම නිහඬ වීමි.

ඉන් පසු මම පොඳු වෙළඳ පොල දෙසට ඇවිද ගියෙමි.චප්පාණිගේ සිල්ලර බඩු කඩය ගිනි ගෙන දැවෙමින් තිබිණි.ඉනුත් ඔබ්බේ කණපති පිල්ලෙයිගේ බෙහෙත් සාප්පුව ඉදිරි පිට බෙහෙත් ඖෂධ පාරට ඇද දමා ගිනි තබා තිබිණි.බෙහෙත් දෙමළ ද ?ඩිස්පෙන්සරි ගොඩනැගිල්ල සිංහලයකුගේ නිසා බේරී තිබිණි.වෛද්‍යවරයා ආගිය අතක් නැත. ගනේෂන්ගේ බෙහෙත් සාලාව ගිනි තැබීමට අණ දී තිබුනේ ඔහුගේ ම බෙහෙත් හළේ ඖෂධ සංයෝජකයා ය.( අද ඔහු හිඟාකන අබ්බගාතයෙකි .) සියල්ල මෙහෙයවා තිබුනේ කොහේ දෝ සිට පැමිණි නාදුනන පිරිසකි.සියල්ල පෙර සැලසුම් කළාක් වැනි ය.දිනක් දෙකක් යන තුරු රටෙි නීතියක් සිවිල් පාලනයක් නොවී ය.දින තුනකට පසුව JR කට ඇරියේ ය.අපරාධ කරුවන්ට දඩුවම් දෙන බව පැවසී ය.එහෙත් ඇල්ලූ එකදු අපරාධ කරුවෙක් නැත.සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවී ය.පුදුමෙක මහත ! මට පෙර දා තර්ජනය කළ ග්‍රාම සේවක ද එහි සක්‍රී සාමාජිකයෙකු වී සිටිනු දැකිය හැකි වි ය.සිතා ගත හැකි බොහෝ දේ එහි ඇත.පාරට වැටුණු ටොෆි චොකලට් වැනි දෑ අහුලා ගෙදර ගෙන ගිය ලුම්පනයන් අපරාධ කරුවන් ලෙස පොලිසියෙන් අත් අඩංගුවට ගෙන මාස ගණනක් සිර ගත කර තබා සිට යලි ආපසු එවූහ.ඉතිහාසය තුළ අපරාධ කරුවන් නැති එක ම මහා අපරාධය මේ කලු ජූලියයි.අද දක්වා එහි කිසිදු අපරාධ කරුවෙකුට දඬුවම් දී නැත.ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටුනේ 1983 බව අද නීතියේ ආධිපත්‍යය ගැන කිඹුල් කඳුලු හෙලන මානව ප්‍රේමීන්ට සිහිපත් කර දිය යුතු ය.

මහා ව්‍යසනයෙන් දින ගණනාවකට පසුව කණපතිට හා ගනේෂන්ට සිදු වූයේ කුමක් දැයි විපරම් කළෙමි.ගනේෂන්ට වැල්ලවත්තේ යමක් කමක් තිබූ නිසා බේරී ගොස් සුරක්ෂිතව සිටින බව අසන්නට ලැබීණි. එහෙත් කණපති ? තමන් ජීවත් වූ හොරණ ගෙදර හැර ඔහු හම්බ කර ගත් කිසිත් නොවී ය.යන්නට තැනක් ද නොවී ය.එහෙත් දෙවි පිහිටෙන් ඔහු බේරී ගත්තේ ය.ටික දිනකින් හොරණට ආපසු පැමණිවිට මම ඔහු බැලීමට ගියෙමි. ඔහුගේ සිනාව හිතවත්කම පෙර පරදි ම වුව ද මට ඔහුගේ මුහුණ එක එල්ලේ බැලිය නොහැකි ය.මා ද සිංහලයකු වූ බැවින් මට මහා ලජ්ජාවක් හා මගේ ⁣වර්ගයා කෙරෙහි වෛරයක් ඇති විය.( එය අද ද එසේ ම ය).ඔහුව විනාශ කර තිබුනේ ඔහුගේ අතින් ප්‍රතිකාර ලැබූ ඔහුගෙන් බඩ වියත රැක ගත් එවුන් ම ය.( මොවුන් බොහෝ දෙනෙකුට පසුව දට්ඨධම්ම වේදනීය විපාක ලැබිණා).ඔහුගේ නිවස ඔහු විකුණා දැමූ අතර හොරණ අතහැර ගියේ ය.තවත් ටික කලකට පසුව ඔහු විතැන්ව ගොස් ඕස්ට්‍රේලියාවේ රඳන බව අසන්නට ලැබිණි. විතැන්ව ගිය ද මව් බිමට තිබූ ඔහුගේ ආදරය අඩු වූයේ නැත.සිංහලයා කෙරෙහි වෛරයක් ද ඔහුට ඇති වී නොතිබණි.මේ නිසා කිහිප විටක් ම ඔහු මව් බිමට පැමිණිවිට තම යහලුවන් බැලීමට හොරණට පැමිණිය ද මට හමුවන්නට වාසනාවක් නැති විය.මා මිතුරු විශ්‍රාමික උපදිසාපති බෙනට් රත්නායකගේ ( බෙන් රස්නැක් ) උපන් දිනයට කණපති තම අත්සනින් යුතුව ඔස්කා වයිල්ඩ්ගේ The Happy Prince තෑගි දී තිබණි.මා එය ඉල්ලා කියවූ පසු කණපති සිහිපත් වීම සඳහා එය සිංහලයට පෙරළමුදැයි මම රස්නැක්ගෙන් ඇසීමි.ඔහු එය එක හෙලා අනුමත කළ අතර මම එය පරිවර්තනය කළෙමි.මම එහි කණපති ගැන සඳහන් කළෙමි.

කණපති ද Happy Prince බඳු ය.නගර සභිකයන් එකතු වී ඔහුගේ ප්‍රතිමාව උදුනට දමා උණු කළ ද කෙසේවත් හදවත උණු කිරීමට නොහැකි විය.ඔවුහු එය කහල ගොඩකට විසි කර දැමූහ.මිනිස් ලොව ඇති වටිනා ම වස්තුව මා වෙත ගෙනෙවයි දෙවියන් වහන්සේ දේව දූතයාට අණ කළහ.දේව දූතයා සතුටු කුමරාගේ හදවත දෙව් ලොවට රැගෙන ගියේ ය.ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ අසලින් අද ද සතුටු කුමරා ශාස්වතයට පත්ව සිටී.කළ ගුණ නොදත් මිනිසුන් විසින් පළවා හැරිය කණපති අද හොඳ මිනිසුන් අතර හොඳින් ජීවත් වෙයි.කණපති !මහ⁣ ⁣පොළොව විශාල ය.ඔබ වැන්නන්ට Vasudhai’va kutumbakam – මුලු මහ පොළොව ම එක ම දරු පවුලකි.

~ N.G.S. ජයදේව

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.