*
Friday, November 22, 2024
spot_img

Latest Posts

වසර 41කට පෙර මරා දැමුණු ඒ දෙමළාගේ සැබෑ වුණු අනාවැකිය ….

“අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.
අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහි කරමු.
ඔවුන්ගේ සාධාරණ සටන්වලදී අපගේ සහයෝගය පළ කරමු.
එලෙස අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහාය දිය යුතුය.
අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළලා ගනී.
අපට අත්වූ ඉරණම ශ්‍රි ලංකාවේ ජනතාවට මතු දිනෙක අත්වනු ඇත.
එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත.
ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත.
අද දෙමල තරුණයන් වෙනුවට එදා සිංහල තරුණයන් ඒවායේ වධ විඳිනු ඇත.”

සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී මේ ප්‍රකාශය සිදු කළේ 1983 වසරේදී තමන්ට එරෙහිව පැවති නඩු විභාගය අතරතුර ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙරට ගොනු කෙරුණු දෙවැනි නඩුව වූ එයින් චෝදනා කර තිබුණේ මහජන බැංකුවට අයත් වෑන් රථයක් මංකොල්ල කා රුපියල් මිලියන 8ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙනි. සියලු චෝදනාවන්ට වැරදිකරුවන් වූ කුට්ටිමනී ඇතුළු පිරිසට බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි.

ඒ ජීවිතාන්තය ළඟා වන්නට වැඩි කලක් ගියේ නැත. නඩු තීන්දුව ලබාදී මාස පහකට පසුව ඇවිළ ගිය කළු ජූලිය අතරේ වැලිකඩ බන්ධනාගාරයෙහි සිටි කුට්ටිමනී ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් 54 දෙනෙකු ඇස් උගුළුවා, කපා කොටා, සිර මැදිරි තුළම ඝාතනය කරන ලදී. ජුලි 25 වනදා කුට්ටිමනී ඇතුළු 35 දෙනෙකු ජාති ආලයෙන් ඔද වැඩී ගිය සිංහල සිරකරුවන් විසින් ඝාතනය කරන ලද අතර ජුලි 27 වනදා ගාන්ධියම් ව්‍යාපාරයේ නායකයෙක් වූ දොස්තර රාජසුන්දරම් ඇතුළු තවත් 19 දෙනෙකු ඒ ආකාරයෙන්ම බිහිසුණු ලෙස ඝාතනය කරන ලදී. ගුවන් යානා මංකොල්ලකරුවකු වූ සේපාල ඒකනායක ඇතුළු පිරිසක් මෙම ඝාතන සිදුකර තිබුණු අතර මරා දමන ලද කුට්ටිමනීගේ හිස සෙසු සිරකරුවන්ට ප්‍රදර්ශනය කරමින් සේපාල බන්ධනාගාරය තුළ ඇවිද්ද බව කියැවේ.

එදා කුට්ටිමනී උසාවිය තුළ කළ ප්‍රකාශයට බොහෝ දෙනා සිනාසුනහ. මාස කිහිපයකදී ඔහුව බිහිසුණු ලෙස මරා දමන ලදී. මරා දැමූ ඒ දෙමළාගේ අනාගත වාක්‍ය ඇස් පනාපිට ඔප්පු වන්නට ගතවූයේ වසර පහකි. අලිමංකඩ කඳවුරු හම්බන්තොටත් ඉදිවිය. ගුරුනගර් කඳවුරු කුරුණෑගලටත් පැමිණියේය. දෙමළ තරුණයින් වෙනුවට සිංහල තරුණයින් ඒ කඳවුරු තුළ අමානුෂික වධහිංසාවන්ට භාජනය කර අමු අමුවේ මරා දැමුණි.

විමුක්තිය වෙනුවෙන් දිගු කළ දෑත් පිළිනොගත් මහ කළු සිහල කීර්ති විජය බා පරපුරක ඉරණම ඒ දෑත් දිගු කළ දෙමළා, කුට්ටිමනී පැවසූ ආකාරයටම විසඳුණි.

ඉතිහාසය ඇත්තේ පාඩම් ඉගෙන ගැනීමටය. මර්දනකාරී රාජ්‍යයටත් රාජ්‍යයේ මර්දන යාන්ත්‍රණවලටත් කලින් කලට පෙම් බඳින, කව් ගී ලියන, ප්‍රගතිශීලීත්වයේ සළුපිළි පළඳවන දේශපාලන සත්වයන් ඕනෑ තරම් දැකිය හැකිය. එහෙත් රාජ්‍යය යනු රාජ්‍යය මය. බලය යනු බලය මය.

අපරාධකාරීත්වය ගලා හැළෙන්නේ සිරකරුවන් පහරදී කපා කොටා ඇස් උගුළුවා ඝාතනය කළ, දුවන්නට හෝ සැඟවෙන්නට තැනක් නැති සිරකුටි තුළ පමණක් නොවේ. බොහෝ විවෘත යැයි පුන පුනා කියන, බැලු බැල්මට අහිංසක, අවංක මිනිසුන්ගේ හදවත් කුටීර තුළ පවා අපරාධකාරීත්වය සැඟව පවතී.

ජාතිවාදී නැතැයි, ආගම්වාදී නැතැයි හත්පොළේ දිවුරා පොළවේ පස් කා කියන නිර්මල මහත්වරුන් බහුතරයකගේ තත්වය ද එසේමය. ඕනෑ කරන්නේ කළු කරන ලද කුමක් හෝ මාසයක් කුමක් හෝ දිනයක් පමණි, කඩු තුඩු වන් තියුණු දත් විලිස්සා යක්ෂයා හිනැහෙන්නට පටන් ගනී ….

ඉතිහාසය ඇත්තේ පාඩම් ඉගෙන ගැනීමටය. පාඩම් ඉගෙන ගැනීමට වන්නේ යළි යළි සිහිපත් කරගැනීමෙන්ය. සමාජයමය තත්වයක් තුළ පාඩම් ඉගෙනීම යනු සිහිපත් කරගැනීමෙන් ඔබ්බට යන ක්‍රියාවකි. සමාජමය වශයෙන් පාඩම් ඉගෙනීමට සිදුවන්නේ ලැජ්ජා වියයුතු දේ සම්බන්ධව ලැජ්ජා වීමෙනි, ශෝක වියයුතු දේ සම්බන්ධව ශෝක වීමෙනි, එවන් දෑ යළි නොකර සිටීමට අධිෂ්ඨාන කරගැනීමෙනි, කවර තත්වයක් තුළ හෝ යළි එවන් දෑ නොකර සිටීමෙනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan