*
දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/27
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය “මුළු රටටම බලපාන කරුණක්” බැවින් ඒ පිළිබඳව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික සමුළුව අමතමින් අවධාරණය කරයි: මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් ඇතුළත් විය යුතු බව පවසයි: ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු-නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
- එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් පරිපූර්ණ න්‍යෂ්ටික-පරීක්ෂණ තහනම් ගිවිසුම (CTBT) ශ්‍රී ලංකාව විසින් අනුමත කිරීම (ratification) තහවුරු කිරීමේ අයිතමය තැන්පත් කරයි: මෙම තහවුරු කිරීම සිදුවන්නේ ඊට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් සහ සහ දේශීය අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ය: CTBT ගිවිසුම විසින් ලොව ඕනෑම ස්ථානයක “ඕනෑම න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් හෝ වෙනත් න්‍යෂ්ටික පිපිරීමක්” තහනම් කරන අතර, ලොව ඕනෑම ස්ථානයක න්‍යෂ්ටික පිපිරීම් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ මධ්‍යස්ථාන ජාලයක් පිහිටා ඇත.
- ගතවූ සතිය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව අවප්‍රමාණය වීමෙන් අනතුරුව, අද දින සුළු ප්‍රමාණයකින් අධිප්‍රමාණය වී තිබෙන බව මෙරට වාණිජ බැංකුවල විදේශ විනිමය අනුපාත පෙන්වා දෙයි: මහජන බැංකුව – ගැනුම් මිල රු. 322.13 සිට රු. 321.15 දක්වා පහතට, විකිණුම් මිල රු. 337.97 සිට රු. 336.95 දක්වා පහතට; කොමර්ෂල් බැංකුව – ගැනුම් මිල රු. 324.64 සිට රු. 323.41 දක්වා පහතට, විකිණුම් මිල රු. 336 සිට රු. 334 දක්වා පහතට; සම්පත් බැංකුව – ගැනුම් මිල රු. 324 නොවෙනස්ව පවතියි, විකිණුම් මිල රු. 336 සිට රු. 334 දක්වා පහතට.
- ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත ය: නිල සංචාරය අතරතුර මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය: ජනපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ද අපේක්ෂා කරයි.
- 2023 මාර්තු 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ගොනුකළ පෙත්සම් විභාගයට නොගෙනම නිශ්ප්‍රභා කරන මෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි: රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සහ වෙනත් ගැටළු පිළිබඳ අවබෝධයකින් තොරව මෙම පෙත්සම් ගොනුකර ඇති බවට පවසයි: අදාළ පෙත්සම් 2023 ඔක්තෝබර් 02 දින යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
- දින 200කට අධික කාලයක් පුරා සිරගත කර සිටින කැලුම් සහ ඩිල්ෂාන් යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලිප්ටන් වටරවුමේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැවැත්වූ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරයි.
- වසර දෙක හමාරකට අධික කාලයක් පුරාවට යුධ හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණ ඒකකය 2023 සැප්තැම්බර් සිට යළි එම දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවක් පරිදි කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව 2021 ජනවාරිවල මෙම ඒකකය හමුදාව යටතට පැවරීම සිදුවිය.
- විදුලි නඩත්තු හා බිල්පත් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රජයේ රෝහල් කිහිපයකට විදුලිය විසන්ධි විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අඟවයි: මෙම රෝහල් අතර කොළඹ ජාතික රෝහල, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහල මුල්ලේරියාව, අංගොඩ බෝවන රෝග රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා මාතෘ රෝහල, ජාතික දන්ත ශික්ෂණ රෝහල, වකුගඩු ඩයලිසිස් කිරීමේ සහ බද්ධ කිරීමේ ජාතික ආයතනය සහ ජාතික අක්ෂි රෝහල පවතී.
- කොළඹ නෙළුම් කුළුණේ බංජි පැනීමේ (bungee jumping) වැඩසටහන මේ වසරේ දෙසැම්බර් වන විට දියත් කිරීමට සැලසුම් කරමින් සිටින බව කොළඹ නෙළුම් කුළුණේ කලමනාකාර අංශ ප්‍රධානී ප්‍රසාද් සමරසිංහ පවසයි: මීට ඉහත අවස්ථාවක, කොළඹ නෙළුම් කුළුණ සහ සිංගප්පූරු ගෝ බංජි සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බංජි පැනීම ආරම්භ කිරීමට ගිවිසුමක් අත්සන් කළේය: මෙය ලොව උසම බංජි පැනීමේ වැඩසටහන වීමට නියමිත බවට සඳහන්.
- පාකිස්ථානය සමග කොළඹදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ICC චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් තරවටු ලබයි: ඔහු විසින් ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝණය කර ඇති අතර, “ජාත්‍යන්තර තරඟයකදී ඔහු හෝ ඇය දැවී යාමේදී පිතිකරුවකුගෙන් අවමානයට ලක්වන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීම” සම්බන්ධයෙන් එහි දැක්වෙයි.