නිශ්මං රණසිංහ ජූලි 29 කොළඹ LNW :
ඉන්දික ෆර්ඩිනැන්ඩො,විශ්ව විද්‍යාලයක නාට්‍යකරණයම ඉගැන්විම කරන මහාචාර්යවරයෙක්.ඒත් ඔහු ලංකාවේ ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයට වඩාත් සමීප ෆර්ඩි කියන කෙටි නමෙන්.ඒ ආදරය වෙන කිසි දෙයකින් අත් කර ගන්න බැරි ගෞරවය රැදුණ එකක්.

ඔහු වේදිකා නාට්‍ය කලාව තුළ මත මෙන්ම සැලෝලයිඩ් පට ඇතුළතත් චලන මිනිස් රූප සමඟ ආනන්දය සහ ප්‍රඥාව සපයපු කෙනෙක්.ජීවිතය සහ වෘත්තීය එක් බැදුණ නාට්‍ය අධ්‍යාපනඥයෙක්,ගුරුවරයෙක් සහ පර්යේෂකයෙක් විදිහට ඔහුගේ හුස්ම වේදිකාව මත වැටෙන බර ගැන අපට විශ්වාසය තබන්න පුළුවන්.
ඒත් ජනාධිපති තාත්තා,කළම්ඹො වැනි නාට්‍යවලින් පසුව හෝ ගානා පොකුණ සහ වෙඩි නොවඳින ළමයි සමඟ සිනමාවට පිිවිසි ෆර්ඩි ඉනික්බිති නැවත වේදිකාව මතට ඒම හරි අපූරු වැඩක්.

මගෙ පෙකණිවැල තියෙන්නෙ වේදිකාවෙ
මේ ඔහුගෙන් නැවත වේදිකා සම්ප්‍රාප්තියට හේතුව ඇහැව්වම ඔහු කියපු වචනයි.
“මගේ රස්සාව නාට්‍ය.මම නාට්‍ය ගැන උගන්වන සහ පර්යේෂණ කරන කෙනෙක්.අනිත් එක මට විෂය වන කාරණය කතා කරන්න සුදුසු අනුභූතිය කුමක්ද කියන එක තේරුම් ගෙන වැඩ කරන්න ඕනි.සිනමාව සහ වේදිකාව කියන දෙකම ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය තමයි.හැබැයි මේවට යූස් වෙන ටූල් වෙනස්.ඒ අනුව කලා අනුභූතිය මොකද්ද කියන කාරණය අනුව ප්‍රකාශන මාධ්‍යය තීරණය වෙනවා.“
ෆර්ඩි සිය නිර්මාණය හඳුන්වා දෙන්නේ අති නාටකීය අත්දැකීමක් විදිහට.තවත් විදිහකට සංගීතමය මොලෝ ඩ්‍රාමා එකක් විදිහට.මේ වචන එක්ක පැටළුණාම දුෂ්ඨයෙක් සහ වීරයෙක් සම්ප්‍රදායිකව දැකිය හැකි අධි රංගනයක් සහිත නාට්‍යයක් විය හැකිද යන්නත් අප ෆර්ඩිගෙන් විමසා බැලුවා.

“මම හිතන හැටියට මම over acting කියන කාරණය සමඟ එකඟ නැහැ.මනෝභාවයන් පැතලි නොවන විදිහෙ විශාලනය වීමක් රංගය තුළින් දැකිය හැකියි.එය විටෙක සංගීතමය භාෂාවක් වෙයි.ඒවා සමාන්තරව යථාර්තය සමඟ ගමන් කරවීම තමයි විශේෂත්වය.එවිට එයට අධි රංගනය යැයි කිව හැකිද? මට තියෙන ප්‍රශ්නය එයයි.අපි 2009 න් පමණ පසුව ගත කරන සමාජය සෑහෙන්න නාටකීය එකක් නේද?විවිධ සමාජ දේශපාලන හැලහැප්පීම් සිඳුවෙන සමාජයක ඒ නාටකීය බව යථාර්තවාදී විදිහට වඩා නාටකීය විදිහටම අරගෙන ප්‍රේක්ෂකාගාරය සමඟ කරන ගනු දෙනුවක් හැටියට තමයි මේක සිදුවෙන්නෙ.මේකෙ හැම දෙයක්ම තියෙනවා.විශාල කොමඩි ලක්ෂණ තියෙනවා.“

ඒ කොමඩිමය අනන්‍යතාවය ගැන වෙනම සුසර කරන ලද අදහසේදි ෆර්ඩි අපි සාමාන්‍යයෙන් කොමඩියට ප්‍රහසනය කිමේ ඇති යම් නොගැලපෙන තත්ත්වයක් ද ගෙන හැර දක්වන්නේය.
“කොමඩිය සහ ප්‍රහසනය කියලා කියන්නේ බැලූ බැල්මට එක දෙයක් වගේ පෙනුනත් මේ දෙක දෙකක්. රේ කූනි නමැති ප්‍රහසනය සඳහා නම් දැරූ බ්‍රිතාන්‍ය නාට්‍ය රචකයා කියනවා “Comedy is unreal people in real situations and farce is real people in unreal situations” (කොමඩිය කියන්නේ සැබෑ නොවන මිනිසුන් සැබෑ අවස්ථාවන්ට මුහුණ දීම වන අතර ප්‍රහසනය යනු සැබෑ මිනිසුන් සැබෑ නොවන අවස්ථාවන්ට මුහුණ දීමයි.)
රහසිගත ලිපිගොනු නාට්‍යයේ සැබෑ මිනිසුන් පිරිසක් සැබෑ නොවන අවස්ථාවකට මුහුණ දෙනවා. ඒ අස්සෙ සැබෑ නොවන මිනිසුන් විදිහට අර්ථකථනය කළ හැකි අයත් ඉන්නවා. ඒ අර්ථයෙන් රහසිගත ලිපිගොනු නාට්‍යයේ ප්‍රහසනයත් තියෙනවා; කොමඩියත් තියෙනවා.“
මේ ගැන අතර මැදදි බාධාවක් හැටියට මේ රස ඉතිරෙන බවට සියලු රස සමඟින් යන්න යෙදීමේ අවසරය පතන්නට සිඳු වුණා.ඔහු විශාල හිනාවකින් අනුමත කරමින් ඒ අවසරය දුන් නිසාම අගෝස්තු 2 සහ 3 ඔබ ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගොඩ වෙන්නේම සියලු නාටකීය රස පිරුණු නාට්‍ය අත්දැකීමට යන්න ඉඟියක් හැටියට ලියා තබන්නට ලැබෙනවා.
එහෙත් ඔහු තව දුරටත් අධි රංගය සම්බන්ධ අදහස පැහැදිළි කරමින් කතාව ඉදිරියටම රැඟෙන යනවා.
“අපි සරත්චන්ද්‍ර මහත්තයගෙ මනමේ වැනි ශෛලිගත නාට්‍යවලට අධි රංගය කියනවද?එහෙම නැත්නම් අහස් ගව්ව චිත්‍රපටයෙ විමල් කුමාර ද කොස්තාගේ රංගනය,චාලි චැප්ලින්ගේ නිහඬ රංගනයට එහෙම කියන්න පුළුවන් ද?මම හිතන්නෙ අති නාටකීය රංගනය ස්ථාපිත වෙන්නෙ රංගනයේ පශ්චාත් නූතණ තත්ත්වයන් සමඟයි කියලා.එය තව දුරටත් සාකච්ඡා විය යුතු තත්ත්වයක පවතින සාකච්ඡාවක් අවශ්‍යය මාතෘකාවක් හැටියටත් ගත හැකියි.“
ෆර්ඩි රහසිගත ලිපිගොණු තැන්පත් කරන්නේ ත්‍රිලර් ශානරය මත බව පවසයි.මලයාලම් වින්දනාත්මක සිනමාව වැනි කාරණා උදාහරණයට ගනිමින් ඔහු පෙන්වා දෙන්නේ මෙහිදී ප්‍රේක්ෂකයාව ආනන්දනීය අත්දැකීමක් හරහා යටි පෙළෙහි ගැඹුරට සමීප කිරීම සිය අපේක්ෂාව වී ඇති බවය.
නාට්‍යයයේ නම රහසිගත ලිපිගොනු වීම පිළිබඳවද ඔහුගෙන් විමසා බැලුවේ මේ මොහොතේ ඒ ගැන ඇති සුලබ සමාජ කථිකාව පදනම් කරගෙනය.පිරිසක් රහස් ප්‍රදර්ශනය කළ රහස් ඇති ලිපිගොනුවලට අත්වන ඉරණම ගැන විමසිල්ලෙන්ය.තවත් පිරිසක් එහස් ලෙස සඟවා ගෙන සිටින ලිපිගොනු ගැන මැසිවිල්ලෙන්ය.මේ සුලබ තත්ත්වය නාට්‍යයට නම තැබීමේදී පාදක වූවේ ද යන්න ගැන කළ විමසීමට ෆර්ඩි දුන් පිළිතුර මෙබඳුය.
“එහෙම සාකච්ඡාවට ලක්වන සමාජ කාරණාවන් කලාකෘතියකදි භාවිතා වෙනවා කියන කාරණය ප්‍රතික්ෂේප කරන්න බැහැ.හැබැයි මේ නාට්‍යය ඇතුළෙ කතා වෙන කාරණයෙන් පැහැදිළි කර ගන්නට උත්සාහ කරන්නෙ අපි හැමෝටම කාටවත් නොකියන සහ නොකිය යුතු රහස් තියෙනවා.එහෙම බැලුවම අපි හැමෝටම ආරක්ෂා කර ගත යුතු රහස් ලිපි ගොනු තියෙනවා.ඒක නැහැ කියන්න බැහැ.එහෙම ආරක්ෂා කර ගන්න විවිධ හේතුත් තියෙනවා.“
ෆර්ඩි මේ වැඩේට සම්බන්ධ කරගෙන ඉන්න රංගනවේදීන් සියල්ලමත් අත්දැකීම් බහුල දක්ෂයෝය.සෞම්‍ය ලියනගේ,කෞශල්‍යා ප්‍රනාන්දු,සමාධි ලක්සිරි,චමින්ද බටුකොටුව,යශෝධා රසඳුනි සහ ලක්රංග හේවාවිතාරන වැන්නෝ ඒ අතර වෙති.ඒ නම්වලින්ම කියැවෙන සාර්ථකත්වයේ ඉඟිය ඔස්සේ අපට ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ රහසිගත ලිපිගොනු වේදිකා මස්තකයේ තබා පෙරළා බලන්නට හැකියාව ලැබෙන්නට ඒ වෙනුවෙන් දැරිය යුතු ආර්ථික වෙහෙස ගැන ද කතා නොකරම බැරිය.
“ඇත්තම කිව්වොත් වෘත්තීය මට්ටමේ ශිල්පීන් එක්ක හොඳ නාට්‍යයක් කරන්නත්,ලෝ බජට් එකක ෆිල්ම් එකක් කරන්න යන වියදම දරන්න වෙනවා.ඒක කරන්න අමාරු වැඩක්.එහිදී ඒකට උදව් කරන්න ආපු පුද්ගලයින් තුන් දෙනෙක් ඉන්නවා.එක්කෙනෙක් මුල සිටම මගේ නිර්මාණ සමඟ අංග රචනා ශිල්පියා විදිහට කටයුතු කරන ජගත් පද්මසිරි.තව මිත්‍රයෙක් ඉන්නෙ කොරියාවෙ.ඔහු සජිත් පී ලක්මාල්.අනිත් මිත්‍රයා මැද පෙරදිග ඩුබායිවල සේවය කර උපයන මුදල් තමයි මේකට යොදවන්නෙ.ඔහු අසිත ඉන්දික රාජපක්ෂයි.“
ෆර්ඩිගේ මේ නාට්‍යය සම්බන්ධ ප්‍රධානම අරමුණ වෙන්නෙ නාට්‍යය හොඳට දුවවන්න උත්සාහ කිරීමයි.ඇත්තටම එය සාර්ථක කරගෙන නාට්‍යයට මුදල් යෙදවූ අයට එම මුදල පියවාදීම,ශිල්පීන්ව තෘප්තියට පත් කරන අන්දමේ හොඳ ගෙවීමක් ලබා දීම ගැන කාරණා එක්ක ෆර්ඩි කියන්නෙ දැන් තමයි අමාරුම වැඩේ වගේ කතාවක්ය.එහෙත් එච්චර අමාරු වෙන එකක් නැති හොද ප්‍රෙක්ෂකාගාරයක් රහසිගත ලිපිගොනු පෙරළා බලන්නට පැමිණෙනු ඇතැයි යන්න අපේ පැතුම මෙන්ම විශ්වාසය ද වන්නේය.
ඔබටත් අගෝස්තු 2 සහ 3 යන දෙදින තුළ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රහසිගත ලිපිගොනුවල ඇති දේ විමසා බැලීමට පස්වරු 7.00 ට රංග ශාලාවේ දොරටු විවර වෙන බව අපි දැණුම් දෙන්නේ, නාටකීය සමාජ ව්‍යහුය ඇතුළත සංකීර්ණ සමාජ දේශපාලන අවකාශයේ සමහර විට ඔබට ඔබේම රහසත් එහිදී සොයා ගන්නට ලැබෙනු ඇතැයි යන්න ද සටහන් කරමින්ය.


