ඉසුරු පරාක්‍රම
ජූලි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම වසරේ කාගේත් කතාබහට ලක් වූ ආන්දෝලනාත්මක පුවත් අතර “සිස්ටර් හොංග්” ගනු ලබන්නේ ප්‍රමුඛ ස්ථානයකි. චීනයේ නන්ජිං නගරයේ යම් කාමරයක සිටින “සිස්ටර් හොංග්” නම් තැනැත්තකු පිරිමින් රැසක් සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන වීඩියෝපට කිහිපයක් පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හරහා සංසරණයවීම, සහ එම ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පිරිමින්ගේ අනුදැනුමෙන් තොරව මෙම වීඩියෝපට පටිගතකර තිබීම ජාත්‍යන්තර මාධ්‍යවල ශීර්ෂපාඨ පවා උණුසුම් කිරීමට සමත්විය.
මෙම “සිස්ටර් හොංග්” නම් තැනැත්තා කාන්තා ඇඳුමින් සැරසුණු 38 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවත්, මෙම කාමෝද්දීපන වීඩියෝපට හොරරහසේ පටිගත කිරීමේ චෝදනාව මත ඉකුත් දිනක එම තැනැත්තා අත්අඩංගුවට පත්වූ බවත් එම පුවතේ සඳහන් විය. මෙම වීඩියෝපට පටිගතකර තිබෙන්නේ ලාභයක් බලාපොරොත්තුවෙන් බවටයි එම වාර්තාවල සඳහන් වන්නේ.
මෙම ආන්දෝලනාත්මක වීඩියෝපට සංසරණය සිදුව තිබෙන්නේ ගත වූ ජූලි මස මුල් භාගයේවන අතර, ජියාවෝ නම් මෙම තැනැත්තා “සිස්ටර් හොංග්” නම් “කනවැන්දුම්” / “විවාහක” කාන්තාවක ලෙස පෙනී සිටිමින් පුරුෂයන් සිය ගණනක් සමඟ ලිංගිකව හැසිරී එම දසුන් වීඩියෝ පටිගතකර එම වීඩියෝපට ලාභය උදෙසා පෞද්ගලික සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබෙන බවට වැඩිදුරටත් සඳහන්.
වංචාව සහ සූරාකෑම
“සිස්ටර් හොංග්” නම් තැනැත්තා හමුවීමට පැමිණි පිරිමින් මුදල් ත්‍යාගවලට වඩා පළතුරු, පිසින තෙල් වැනි ත්‍යාග එම තැනැත්තාට පිරිනමා තිබේ. “සිස්ටර් හොංග්” සමඟ ලිංගික සංසර්ගයේ යෙදුණු පිරිමින්, ඔවුන් රාගී සුව විඳින්නේ පෞද්ගලික අවකාශයක බවට විශ්වාස කරන්නට ඇත; සියල්ල සිදුවන්නේ දෙපාර්ශවයේ විශ්වාසය සහ සතුට මත බවට විශ්වාස කරන්නට ඇත; තමා වීඩියෝ පටිගතවන බවට හා එම වීඩියෝපට මුදලට විකිණෙන බවට නොදැන සිටින්නට ඇත.
“සිස්ටර් හොංග්” නම් තැනැත්තා ලිංගිකව හැසිරුණු පිරිමින් අතර ශිෂ්‍යයන්, වෘත්තිකයන්, කායවර්ධන ශිල්පීන් මෙන්ම විදේශිකයන් ද සිට ඇත. ඔවුන්ගෙන් ඇතැම් පිරිස් මෙම “සිස්ටර් හොංග්” නම් තැනැත්තා සමඟ එක්වරකට වඩා ලිංගිකව හැසිරී ඇති අතර, ඔවුන් කිසිවකු තම පෞද්ගලිකත්වය මෙසේ උල්ලංඝනයවන බවට දැන නොසිටින්නට ඇත.

සමාජ මාධ්‍ය ගිනිගැනීම
“සිස්ටර් හොංග්” නම් තැනැත්තාගේ වීඩියෝපට වෙයිබෝ (Weibo), ටෙලිග්‍රෑම් (Telegram) සහ එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වූ අතර එම වීඩියෝපට මිලියන සිය ගණනින් නරඹා ඇත. මෙම ආන්දෝලනාත්මක වීඩියෝපට කෙතරම් ප්‍රසිද්ධියක් දිනාගත්තේ ද කිවහොත් එම වීඩියෝපට ආශ්‍රිතව, උත්ප්‍රාසය උපදවන පරිදි “සිස්ටර් හොංග්” නම් තැනැත්තාට සමාන ඇඳුම් පැළඳුම් හැඳ පැරඩි වීඩියෝපට පවා පළකිරීමට ජනතාව අතර ප්‍රවණතාවයක් ගොඩනැඟී ඇත. එම ජනතා ප්‍රතිචාරය තුළ මෙම වීඩියෝපට නිසා අපහසුතාවයට හා අගතියට පත් වූ පිරිමින් උදෙසා අංශු මාත්‍රයක සහකම්පනයක් දක්නට නොමැත. සමච්චලය සහ අවමන් සහගත ප්‍රකාශ හැර එලෙස අගතියට පත් වූ පාර්ශවයන් හට කිසිඳු බුරුලක් ලබා නොදී ඇති බවයි එම වීඩියෝපටවලට ලැබී තිබෙන ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ වන්නේ.
කෙසේවෙතත්, මෙම සමාජ මාධ්‍ය ප්‍රතිචාරය හෙළා දැකීමට රෙඩ්ට් (Reddit) පරිශීලකයන් කටයුතුකර ඇත. මෙලෙස වීඩියෝ පටිගත කිරීමට ලක් වූ පිරිමින් සූරාකෑමට ගොදුරුවූ පුද්ගලයන් මිස සමච්චලයට ලක්විය යුත්තන් නොවන බවට ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම, මෙම වීඩියෝපටවලට දක්වා ඇති ප්‍රතිචාර සමරිසි ප්‍රජාව, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සහ ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් වැනි පුද්ගලයන්ට පහරදීම සඳහා ද යොදාගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයහු චෝදනා කරති. මේ අතර, චීනයේ පවතින නීති අනුව ත්‍යාගභෝග උදෙසා ලිංගික ක්‍රියාකාරකම් හුවමාරුකර ගැනීම ගැටළු සහගත බවට ඇතැම්හු පෙන්වා දෙති.

ජාවාරමකින් ඔබ්බට ගිය සමාජ ඛේදවාචකයක්
සමාජ මාධ්‍ය ජාවාරමක් ලෙස මෙම වීඩියෝපට සංසරණයවීම සිදුවූව ද, මෙමඟින් සමකාලීන චීනයේ පුළුල් සමාජ පීඩනයන් හෙළිදරව්කර ඇති බව පැහැදිලි ය. ඒ අනුව, තියුණු අන්දමින් එරට පවතින සමාජභාවී අසමතුලිතතාවය (Gender Imbalance) සහ සීමිත සහ අපකීර්තියට තුඩුදුන් ලිංගික අධ්‍යාපනය මෙම සිදුවීම පිටුපස පවතින බවට උපකල්පනයකළ හැකි ය.
චීනයේ සියවස් ගණනාවක් පුරාවට පවතින ‘එක් දරුවකු පමණක් සෑහේ’ ප්‍රතිපත්තිය (One-Child Policy) නිසා හටගෙන තිබෙන පිරිමි දරුවකුට ඇති වැඩි කැමැත්ත, සහ උපදීමට නියමිත දරුවාගේ ස්ත්‍රී-පුරුෂභාවය (Sex) මත පදනම් ව ගබ්සා සිදුකිරීම නිසා එරට පිරිමි ජනගහනයේ අතිරික්තයක් හටගෙන පවතියි. පවතින වාර්තා අනුව, විවාහක වයසේ පසුවන පිරිමින් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා මිලියන 20 ක් පමණ ඉක්මවනු ලබයි. 2020 වර්ෂයේ පටන් පිරිමි සහ කාන්තා අනුපාතයේ යම් ප්‍රගතියක් දක්නට ලැබුණ ද, අසමතුලිතතාවය තවමත් බරපතල මට්ටමක පවතියි. මෙම අසමතුලිතතාවය මත හටගන්නා සමාජ පීඩනය හා කාංසාව මෙවන් අවාසනාවන්ත සිදුවීම් සඳහා ඉන්ධන සපයන බවට රහසක් නොවේ.
මේ අතර, චීනයේ ඉකුත් 2020 වර්ෂයේ හඳුන්වා දුන් නව නීති සහ 2019 – 2030 කාලය සඳහා වූ සෞඛ්‍ය සම්පන්න මුලපිරීම් තිබියදීත්, බොහෝ පාසල්වල ලිංගික අධ්‍යාපනය ඉතාම දුර්වල තත්ත්වයක පවතින බවට වාර්තා වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පන්ති කාල බොහෝ කෙටි වී ඇති අතර, දෙමාපියන් බොහෝවිට ලිංගිකත්වය සම්බන්ධයෙන් කතා කිරීමට ලැජ්ජාවන බව සඳහන්. එමෙන්ම, ලිංගිකත්වය සම්බන්ධ අන්තර්ගතයන් බොහෝවිට ගැහැණු ළමුන් සඳහා වූ “ආරක්ෂිත පියවරකට” පමණක් සීමාකර ඇති අතර, ලිංගිකත්වය කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ශවයේ ම කැමැත්ත, අවබෝධය සහ සමානාත්මතාවය අරමුණුකරගත් දෙයක් බවට ඉගැන්වීමක් සිදුවන්නේ නැත.
මෙවන් වටපිටාවක් තුළ ලිංගික අධ්‍යාපනයේ ඇති වැදගත්කම මතු කිරීම සඳහා සිහු (Zhihu) වැනි මාර්ගගත සංවාද මණ්ඩපයන් චීනයේ පැවතිය ද, ඒවා තුළ හුදෙක් සාකච්ඡාවට බඳුන් වන්නේ අතිශෝක්තිය මතුකළ කරුණු හෝ සාපරාධී කරුණු මිස, වැඩිහිටියන් අතර පවතින චිත්තවේගීය සමීපතාව (Emotional Intimacy), සමාජභාවී අනන්‍යතාව (Gender Identity), සම්මුතිය (Consent) වැනි කරුණු මත ඔවුන්ගේ ලිංගිකත්වය ගොඩනැඟීම හා අදාළ කරුණු නොවේ.

නිවැරදිකර ගත යුත්තේ කුමක් ද?
සමාජභාවය පිළිබඳ ඒකාකෘතීන්, ඩිජිටල් නිර්නාමිකභාවය සහ ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොමැතිවීම හමුවේ ඇතිවිය හැකි භයානක ප්‍රතිඵලවලට “සිස්ටර් හොංග්” සිදුවීම කදිම නිදසුනකි. මෙම සමස්ත සිදුවීම පුරා වින්දිතයන් ව්‍යාජ මවාපෑම්වලට රැවටුණා පමණක් නොව ඔවුන්ගේ වේදනාව සමාජ මාධ්‍යවලට සමච්චල් සහගත සිදුවීමක් විය. මෙම මාර්ගගත ජාවාරමට හසු වූ බොහෝ පිරිමින් විෂමරිසි පිරිමින් යැයි පවසා, පුරුෂත්වය සහ ලිංගිකත්වය පිළිබඳ හානිකර මතවාදයන් ප්‍රවර්ධනය කිරීමට බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් කටයුතුකර තිබිණි. එතැනින් ද නොනැවතී, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ ලිංගික චර්යා සම්බන්ධ අපකීර්තිය ප්‍රවර්ධනය කරන මතවාදයන් සමාජගත කිරීමට ද මෙම සිදුවීම යොදාගෙන තිබිණි.
වඩාත්ම කණස්සල්ල දනවන කරුණ වන්නේ, මෙම ජාවාරමට හසු වූ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමට සැකකාර තැනැත්තා කටයුතුකර ඇති අයුරු අවබෝධකර ගැනීමට ජනතාව අසමත් වී තිබීමයි. ඒ වෙනුවට වින්දිතයන් තමා ලිංගිකව හැසිරෙන්නේ කවුරුන් සමඟ ද යන්න පිළිබඳව වඩා අවබෝධයෙන් පසුවිය යුතු ය යන ආකාරයේ අදහසක් ඔවුන් විසින් ප්‍රවර්ධනයකර ඇත. මෙය සමාජභාවය, ලිංගිකත්වය සහ පෞද්ගලික වගකීම පිළිබඳ අඛණ්ඩ වැරදි වැටහීම් සමාජගත කරනු ලබයි.
මෙම පුවතේ පවතින හුදෙක් ප්‍රවෘත්ති රසය අභිබවා ගිය බරපතල කරුණු රැසක් කෙරේ ජනතා අවධානය යොමුවිය යුතු ය. ඩිජිටල් අවකාශය තුළ සිදුවන රැවටීම් හරහා විශ්වාසය සූරාකෑමට ලක්වීම, ශාරීරික ස්වාධීනත්වයට හානි පැමිණවීම, සහ සමාජ ආකල්පවල පවතින කෘෘරත්වය මෙවන් සිදුවීම් හරහා අවබෝධකර ගත යුතු අතර, පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය (Comprehensive Sexuality Education) සහ සමාජභාවී අනන්‍යතාවය සම්බන්ධ දැනුම්වත්භාවය ඉහළ නංවාගත යුතු ය. එමෙන්ම, ප්‍රතිපත්තිමය සහ සංස්කෘතික ආකල්ප දෙකෙහි ම වෙනසක් නොමැතිව, මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම යතාර්ථයක් නොවනු ඇති අතර, එය එසේ පවතින තුරාවට මීළඟ අපකීර්තිමත් සිදුවීම හටගැනීම වැඩි ඈතක නොතිබෙනු ඇත.
මූලාශ්‍ර:
https://www.indiatimes.com/trending/sister-hong-scandal-breaks-the-internet-as-explicit-videos-of-over-1000-men-get-leaked-reddit-users-call-out-online-response-china-red-uncle-664738.html
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC9139772/
https://www.proquest.com/docview/2670126171/fulltext
https://www.the-generation.net/tag/china/page/2/
https://www.eyeopeningtruth.com/gender-neutrality

