වසර නවයකට පසු සැබෑ වන නිවාස සිහිනය!

කොළඹ LNW:කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෝගන් වතුයායේ දීගල්ල කොටසේ රතු නිවේදන නිකුත් කළ අවදානම් කලාපයේ පවුල් 16කගේ දිගුකාලීන නිවාස සිහිනය යථාර්ථයක් කරමින් අංග සම්පූර්ණ ස්ථීර නිවාස 16ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) වෝගන් වතුයායේ දී පැවැත්විය.

2017 වර්ෂයේ ඇති වූ ස්වාභාවික නායයෑම් ව්‍යසනයෙන් පසු වසර නවයකට ආසන්න කාලයක් වරින්වර අවතැන් කඳවුරුවල සහ තාවකාලික නවාතැන්වල අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඔවුන් ජීවත් තිබුණි.

වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.6ක මුදලක් වෙන් කර ඇති අතර, නිවාස ඉදිකිරීමට අමතරව මාර්ග පද්ධතිය, විදුලිය, පානීය ජලය ඇතුළු සියලු මූලික යටිතල පහසුකම් සංවර්ධනය කර ප්‍රතිලාභීන්ට සුරක්ෂිත හා තිරසාර ජීවන පරිසරයක් උදාකර දීමට සැලසුම් කර තිබේ.

ඉදිකිරීමට නියමිත සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින්, නාන කාමරයකින් සහ වැසිකිළියකින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් වන අතර මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට නිවාස ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභී පවුල් වෙත භාරදීමට නියමිතයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනතාව මුහුණ දෙන නිවාස ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම වත්මන් රජයේ ප්‍රමුඛ සංවර්ධන අරමුණක් බවයි. ඒ සඳහා නිවාස අමාත්‍යාංශය ප්‍රමුඛව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව පසුගිය වසර තුළ පමණක් කළුතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් මූල්‍ය ආධාර ලබාදී නිවාස 136ක ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට හැකි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වසරේදී ද තවත් නව නිවාස 200කට අධික සංඛ්‍යාවක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට හැකියාව පවතින බව ප්‍රකාශ කළේය.

එමෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ආවරණය වන පරිදි නව නිවාස 175ක් ඉදිකිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව මෙම සියලු වැඩසටහන්වල මූලික අපේක්ෂාව වන්නේ නිවසක් නොමැති පවුල්වලට සුරක්ෂිත නිවසක අයිතිය තහවුරු කිරීමයි.

නිවසක් යනු හුදෙක් ගල්, වැලි, ගඩොල් සහ උළු එකතුවක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, එය පවුලක අනාගතය ගොඩනැගෙන පදනම බවත්, නිවසක් හිමිවීමත් සමඟ ජීවිතයට ස්ථාවරත්වයක්, සුරක්ෂිතභාවයක් සහ හෙට දවස පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන බවත් සඳහන් කළේය.

නව රජය බලයට පත්ව වසර දෙකකටත් අඩු කාලයක් ගතව තිබුණද, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රායෝගික සහන රැසක් ලබාදීමට මේ වන විට හැකි වී ඇති බවද අමාත්‍යවරයා පැවසූ අතර වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය ආදායම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත්, ඒ සමඟම ජනතාව මත අමතර බදු බරක් පටවන්නේ නොමැතිව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් බවත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...