BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබාගෙන සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අවධානය යොමුව තිබූ බව ඊයේ (30) දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ BYD ATTO 3 මෝටර් රථ චීනයෙන් මෙරටට ආනයනය කිරීමේදී බදු අයකිරීම පිළිබඳ ගැටලුවක් පවතින බව පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී. එහිදී ඔහු පැවසුවේ BYD ATTO 3 බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් මෙරටට ආනයනය කරන රථ සඳහා රුපියල් ලක්ෂ 55ක පමණ බද්දක් අය කෙරෙද්දී ඒ වර්ගයේම පාවිච්චි කරන ලද (reconditioned) රථ සඳහා රුපියල් ලක්ෂ 100ක පමණ බද්දක් අය කෙරෙන බවත් එය සිදුවන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයේ මෝටර් ධාරිතාව 100kW වශයෙනුත් රීකන්ඩිෂන් වාහනයේ මෝටර් ධාරිතාව 150kW වශයෙනුත් පෙන්වා බදු අයකිරීම නිසා බවත් ය. මේ එකම වාහනය බවත් මෙහි මෝටරයේ වෙනසක් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා BYD වාහන මෙරටට ගෙන්වන සමාගම අඩුවෙන් බදුගෙවා වාහන නිදහස් කරගනිමින් කිසියම් වංචනික ක්‍රියාවක නිරත වී ඇතැයි බරපතළ සැකයක් උපදින බවත් සඳහන් කළේය. එකම මාදිලියේ රීකන්ඩිෂන් වාහනයට ගෙවන බදු මුදලට වඩා ඒ මාදිලියේම බ්‍රෑන්ඩ් නිව් වාහනයට ගෙවන බදු මුදල රුපියල් ලක්ෂ 45 කින් පමණ අඩුවීම කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
මේ තත්වය මත BYD ATTO 3 වාහන 1100ක් පමණ රේගුව හම්බන්තොට වරායේ රඳවාගෙන සිටින අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ යම් සංවාදයක් ද මතුව තිබේ.
එහිදී මෙම මෝටර් රථ මෙරටට ගෙන්වන සමාගම පැත්තෙන් කියැවෙන්නේ BYD ATTO 3 මෝටර් රථය නිෂ්පාදනය කෙරෙන්නේ 150kW මෝටරයක් සහිතව වුවත් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෝටර් රථ එහි නිෂ්පාදක සමාගම විසින්ම මෘදුකාංගයක් (software) භාවිතයෙන් මෝටර් බලය 100kW දක්වා අඩුකර ඇති බවකි. එමෙන්ම මෙසේ සොෆට්වෙයා එකක් මගින් 100kW වශයෙන් සකස් කර ඇති BYD ATTO 3 මෝටර් රථ සිංගප්පූරුවේත් අලෙවි කෙරෙන බව සඳහන් කෙරෙන අතර ඒ අනුව නිෂ්පාදකයා විසින්ම 100kW යැයි ප්‍රකාශ කරන බැවින් මෙය 100kW වශයෙන් සලකා බදු අය කළ යුතු බවක් සමාගමේ පැත්තෙන් කියැවේ.
ඉහත තර්කය හමුවේ අපට ප්‍රශ්න කිහිපයක්ම මතුවේ. ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවට වාහනයක් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් බදු අයකරන්නේ වාහනයේ භෞතිකව ඇති මෝටරයේ බලය මත පදනම්වද, එසේ නොමැති නම් එම මෝටරයේ බලය පාලනය කරන සොෆ්ට්වෙයා එක මත පදනම්වද යන්නයි.
විදුලි වාහන නිෂ්පාදනයේදී 100kW මෝටරයක් සහිත වාහනයකට වඩා 150kW මෝටරයක් සහිත වාහනයක් ප්‍රමාණයෙන් විශාලවත් වැඩි පහසුකම් සහිතවත් වඩාත් සුඛෝපභෝගී ලෙසත් නිෂ්පාදනය කෙරේ. එසේ නිෂ්පාදනය කෙරෙන වාහන මාදිලියක් සොෆ්ට්වෙයා එකක් මගින් මෝටරයේ බලය 100kW දක්වා අඩුකර හෝ ලොක්කර ඇති බව පවසමින් අඩුවෙන් බදුගෙවා රේගුවෙන් නිදහස් කරගන්නේ නම් එය රජයේ ආදායම් අහිමි කිරීමකි. පැහැදිලිවම රජයට පාඩුවක් සිදුකිරීමකි. එසේම එම වාහන ආනයන කරන සමාගම අයුතු ලාභයක් ලැබීමකි. මේ නිශ්චිතව කියන වාහනයේදී එය රුපියල් ලක්ෂ 45ක් පමණ වන බව කියැවේ. ඒ මුදල නිවැරදි නම් දැනට රේගුවේ සිරවී ඇති වාහන 1100ත් මෙතෙක් අලෙවි කර ඇති වාහන 1000ත් සැලකූ විට සමාගම රුපියල් බිලියන 10ක පමණ අයුතු ලාභයක් ලබාගැනීමට තැත්කර, එයින් කොටසක් ලබාගෙන ඇතැයි සැක කළ හැකිය.
එසේම මේ සොෆ්ට්වෙයා එක මත බදු ගැසීමේ ක්‍රමය නීත්‍යානුකූල යැයි පිළිගන්නේ නම් තවත් වාහන ද විවිධ උපාංග, පහසුකම් භෞතිකව වාහනයට සවිකර ඒවා වෙනත් ක්‍රමයකින් ලොක්කර මෙරටට ගෙන්වීමට පටන් ගත්තොත් ඊටත් රේගුව ඉඩදෙන්නේද යන ප්‍රශ්නයත් මතුවේ. ඉතාම සරල උදාහරණයකින් පවසන්නේ නම් රෝද 6ක් සහිත වාහනයක් මෙරටට ගෙන්වා එහි රෝද 2ක් කිසියම් ක්‍රමයකින් ලොක්කර ඇතැයි නිෂ්පාදකයා පවසන බැවින් එය රෝද 4 වාහනයක් වශයෙන් සලකා අඩුවෙන් බදු කරන ලෙස ඉල්ලුවොත් රජය ඊටත් ඉඩ දෙනවාද ?
මේ තත්වය සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ සොයාබැලීමකදී මීටත් වඩා දරුණු තත්වයක් ද අනාවරණය විය. ඒ, මෙකී BYD ATTO 3 මෝටර් රථයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව චීනයේ තවත් විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක් අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකා රජය ඉහත කී “සොෆ්ට්වෙයා ක්‍රමයට” බදු ගැසීම පිළිගන්නේ නම් ඒ සමාගම් ද තමන්ගේ 150kW මෝටර් රථ ද සොෆ්ට්වෙයා එකක් මගින් 100kW දක්වා අඩුකර පෙන්වා මෙරටට එවීමට සූදානමින් සිටින බවත් ය. විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා පවා දැනටමත් සිදුව ඇති බවකි. එවැන්නක් සිදුවුවහොත් රජයට රුපියල් බිලියන සිය ගණනක අලාභයක් ඉදිරියේදී දරාගැනීමට සිදුවනු නියතය. එය ද යනු ඇත්තේ මහජනතාවගේ කර පිටිනි.

මීට අමතරව මේ සොෆ්ට්වෙයා ක්‍රමයට බදු ගැසීමේ තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් මෙය 150kW මෝටර් රථය 100kW දක්වා අඩුකිරීමට පමණක් සීමාවෙයිද යන්නයි. ඉහත කී BYD සමාගමම 390kW මෝටර් බලයකින් යුතු අධිසුඛෝපභෝගී මෝටර් රථයක් ද නිෂ්පාදනය කරනු ලබයි. ඔවුන් ඒ මෝටර් රථයත් සොෆ්ට්වෙයා එක මගින් 100kW ට ලොක්කළ බව පවසා මෙරටට එවුවහොත් එය ද මිලියන 2.5ක වැනි අඩු බද්දක් මත නිදහස් කරන්නේද යන ප්‍රශ්නයත් මතුවීම සාධාරණ ය.
ශ්‍රී ලාංකික අපේ අයියලාගේ හැටි දන්නේ අප ය. මේ ආකාරයෙන් 150kW මෝටර් රථය 100kW දක්වා අඩුකෙරෙන චීන සොෆ්ට්වෙයා ලොක් එක කැඩීමේ ක්‍රමයක් අපේ අයියලා සොයා නොගනු ඇතැයි සහතික විය හැකිද ? රේගුවෙන් අඩුවෙන් බදු අයකර 100kW වශයෙන් නිදහස් කෙරෙන මෝටර් රථය ඊළඟ නගරයේදීම 150kW දක්වා වැඩිකර දෙන ආයතන ලංකාවේ බිහි නොවනු ඇතැයි කිවහැක්කේ කාටද ?
BYD රථවාහන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය John Keels CG Auto පුද්ගලික සමාගමයි. එය ජෝන් කීල්ස් සමූහය යටතේ පවතින්නකි. ජෝන් කීල්ස්ලාගේ අතීතය පිරික්සීමේදී මේ ආකාරයෙන් රජයට කොකා පෙන්වමින් බදු දැලෙන් රිංගා ගොස් අයුතු ලාභ ලැබීමේ සිද්ධි එකකට වඩා දැකගැනීමට හැකිවන බවත් සිහිපත් කළ යුතුය.
අප දශක දෙකක් අතීතයට යොමුවන්නේ නම් 2002 වසරේදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම (Public Enterprise Reform Commission – PERC) හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත්ව තිබූ Lanka Marine Services Ltd (LMSL) නම් ඉන්ධන බංකරින් (තොග ගබඩා කිරීමේ) ව්‍යාපාරය පෞද්ගලීකරණය කෙරිණි. එහි බහුතර කොටස් මිලදී ගන්නා ලද්දේ ජෝන් කීල්ස් සමාගම විසිනි. මේ ගනුදෙනුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරූ අතර එහිදී PERC සභාපති පී.බී. ජයසුන්දර විසින් කැබිනට් අනුමැතියකින් තොරව මෙකී රාජ්‍ය ව්‍යාපාරය ජෝන් කීල්ස් සමාගමට විකුණා ඇති බවටත් ජෝන් කීල්ස් සමාගම අයුතු බදු සහනයක් ලබා ඇති බවටත් චෝදනා එල්ල විය. 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුව අනුව ජෝන් කීල්ස් සමාගම මෙම නඩුවෙන් වැරදිකරු වී තිබුණු අතර ඉන්ධන බංකරින් ව්‍යාපාරය යළි රජයට පවරා දීමට නියම කෙරිණි. ජෝන් කීල්ස් සමාගම මෙහිදී අයුතු ලාභ උපයා ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේදී තීරණය කර තිබිණි.
අප වර්තමානයට පැමිණියහොත් ජෝන් කීල්ස් සමාගම විසින් අගෝස්තු 02 වනදා විවෘත කිරීමට නියමිත “සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ ආරම්භ කෙරෙන කැසිනෝ ශාලාවට ද අයුතු බදු විරාමයක් ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. මෙම පරිශ්‍රයෙහි කැසිනෝ ශාලාවක් විවෘත කිරීම 2015 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් තීරණයක් අනුව තහනම් කර ඇත. ඒ, උපායමාර්ගික සංවර්ධන පනත යටතේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් බදු සහන ලබමින් ආරම්භ කර ඇති මෙම හෝටල් පරිශ්‍රය තුළ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන ගියහොත් එයට ද බදු සහන ලැබෙන බැවිනි. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව කැසිනෝ ව්‍යාපාරවලට බදු සහන හෝ බදු විරාම ලබාගැනීමේ හැකියාවක් නැත. එහෙත් ජෝන් කීල්ස් සමාගමේ හෝටල් පරිශ්‍රය තුළ Lawrence Ho Yau Lung නමැති ව්‍යාපාරිකයකුට අයත් හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන Melco Resorts & Entertainment Ltd විසින් ආරම්භ කිරීමට නියමිත කැසිනෝ ශාලාව අයුතු ලෙස බදු විරාමයක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ බදු දැලෙන් රිංගා ගොස් අයුතු ලාබ ඉපයීමේ ඉතිහාසයක් ජෝන් කීල්ස් සමාගමට තිබෙන බවයි. එහෙයින් මේ BYD මෝටර් රථ පිළිබඳ ප්‍රශ්නය රේගුව විසින් මෙතැනම තබා, දැන්ම විසඳාගත යුතුව ඇත.
දැවැන්ත ව්‍යාපාරිකයින් යනු රටකට සම්පතකි. එහෙත් එය එසේ වන්නේ ඔවුන් රටේ නීතියට අනුව ක්‍රියාත්මක වන තාක් පමණකි. යම් දැවැන්ත ව්‍යාපාරිකයකු රටේ බදු දැලෙන් රිංගා ගොස් රජයටත් ජනතාවටත් කොකා පෙන්වීමට සැරසෙන්නේ නම් ඔහු රටට සම්පතක් නොව විපතකි. ශ්‍රී ලංකාව මේ සිටින්නේ දැවැන්ත ආර්ථික කඩාවැටීමකට රටක් වශයෙන්ම මුහුණ දී අසීරුවෙන් යළි නැගිටිමිනි. ඒ මොහොතේදී කිසියම් හෝ දැවැන්ත ව්‍යාපාරිකයකු තමන්ගේ තනි ලාබය පතා මහා පරිමාණ බදු වංචාවකට පෙළඹෙන්නේ නම් අවසානයේ සිදුවනු ඇත්තේ සමස්ත රටම යළි කඩාවැටී සමස්ත ජනතාවටම දුක් විඳින්නට සිදුවීමයි. සරලව කිවහොත් මේවා අයත් වන්නේ රන් බිජු දමන කිකිළියගේ බඩ පළන්නා හා සමාන ව්‍යාපාරික ගනුදෙනු ගණයට ය.
~ විශේෂ ලියුම්කරුවකු විසිනි
සබැඳි පුවත් –
