කොළඹ LNW:ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ රුපියල් මිලියන 1,700ක වියදමින් කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් භූගත රැහැන් පද්ධතියක් ඉදිකිරීම සඳහා මෙම වසරේදී වැඩ ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ලෙකෝ (LECO) ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිබත්ගොඩ නගරය ආශ්‍රිත අධිබලැති විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමත්, ඒ සමඟම විදුලි කණු ඉවත් කිරීමටත් හැකියාව ලැබෙන බවයි.
එමඟින් කොළඹ–නුවර ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට අවස්ථාව සැලසෙන අතර, නගරය ආශ්‍රිත මාර්ග තදබදය අවම කිරීමට ද හැකියාව ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, විමධ්‍යගත අයවැය සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන අරමුදල් යටතේ රුපියල් මිලියන 860කට ආසන්න සංවර්ධන ව්‍යාපෘති කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන බව ද ඒ මහතා අවධාරණය කළේය.
සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම කැලණිය ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයසංක රත්නායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මේ වන විට කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ඩෙංගු වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.
ඒ සඳහා සහයෝගය ලබාදුන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව, කැලණිය හා පෑලියගොඩ පොලිස් ස්ථානවල නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට සිය ස්තූතිය පළ කළ ඒ මහතා, ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ජනතාවගෙන් ලැබෙන සහයෝගය තවදුරටත් ඉතා අවම මට්ටමක පවතින බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනී රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති සඳුන් යාපා මහතා, උප සභාපති ලක්ෂිකා සුභාෂිණී මහත්මිය, පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති මහතා, උප සභාපති අරුණ ශාන්ත මහතා, කැලණිය හා පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්, කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


