රෂිකා හෙන්නායක ජූලි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බලුචිස්තාන පළාතේ ක්වෙටා (Quetta) නගරය ආසන්නයේ පිහිටි ගල් අඟුරු පතලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පතල් කම්කරුවන් 32 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 10 දෙනෙකු ජීවිත අවදානමකට ලක්ව පතල තුළ සිරවී සිටින බව නිලධාරීහු පවසති.
රජයේ පතල් පරීක්ෂක ගානි බලෝච් (Ghani Baloch) උපුටා දක්වමින් ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ (AP) පුවත් සේවය වාර්තා කළේ, පතල තුළ මීතේන් වායුව එක්රැස් වීම හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවයි.
නිලධාරීන් සහ පළාත් ආපදා කළමනාකරණ ඒජන්සිය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, පිපිරීමෙන් පැය කිහිපයකට පසු මළ සිරුරු 7ක් සොයාගත් අතර, පසුව හදිසි ආපදා සහන කණ්ඩායම් විසින් තවත් මළ සිරුරු 25ක් සොයා ගන්නා ලදී. සිරවී සිටින පතල් කම්කරුවන් සොයා ගැනීම සහ ඔවුන් පිටතට ගෙන ඒම සඳහා සහන කණ්ඩායම්වල මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
සියලුම මළ සිරුරු සොයා ගන්නා තෙක් සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව පතල් පරීක්ෂක ගානි බලෝච් පැවසූ නමුත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේය.
“මීතේන් වායු පිපිරීම්වලින් පසු ඔක්සිජන් මට්ටම ශුන්‍යය දක්වා පහත වැටෙන බැවින් කිසිවෙකු ජීවතුන් අතර සිටීමේ අවස්ථාව අඩු වන අතර, සහන කණ්ඩායම් ද පතල තුළ ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරමින් සිටී,” යනුවෙන් බලෝච් පැවසූ බව AP වාර්තා කරයි.
බලූචිස්තානයේ පතල් හා ඛනිජ සම්පත් අමාත්‍ය ෂොයිබ් නොෂර්වානි (Shoaib Nosherwani) පැවසුවේ සහන කණ්ඩායම් අතිශය දුෂ්කර තත්වයන් යටතේ කටයුතු කරන බවයි. මෙම ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට ඔහු සිය ශෝකය ද පළ කළේය.
පිපිරීමෙන් ජීවිත අහිමි වූ සෑම පතල් කම්කරුවෙකුගේම පවුලකට පාකිස්තාන රුපියල් 500,000ක (ඇමරිකානු ඩොලර් 1,800ක් පමණ) වන්දි මුදලක් පළාත් රජය විසින් ගෙවනු ඇති බව ද ඔහු පැවසීය.
පිපිරීමට හේතුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ද සිදු කරනු ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ගල් අඟුරු පතල් කම්කරු සංගමයක් ප්‍රකාශ කර ඇත්තේ නොසැලකිල්ල හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇතැයි තමන් සැක කරන බවත්, ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්ය. පාකිස්තාන මධ්‍යම පතල් කම්කරු සම්මේලනය (Pakistan Central Mines Labour Federation) මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, පතල් ආරක්ෂණ නීති උල්ලංඝනය කරන සමාගම්වලට එරෙහිව පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
පාකිස්තානයේ, විශේෂයෙන්ම බලූචිස්තානයේ ගල් අඟුරු පතල් කර්මාන්තය තුළ මෙවැනි මාරාන්තික අනතුරු සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවන බව AP වාර්තා කරයි. මෙම කලාපයේ පතල්වල බොහෝ විට මූලික වාතාශ්‍රය පහසුක දිගු කලක් තිස්සේ කම්කරු සංගම් සහ පතල් සේවකයින් විසින් මෙම පතල් හිමිකරුවන් වෙත චෝදනා එල්ල කරනු ලබන්නේ, ඔවුන් ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව කටයුතු නොකරන බවටත් සේවකයින්ට ආරක්ෂිත උපකරණ ලබා නොදෙන බවටත්ය.
පාකිස්තානයේ විශාලතම පළාත වන බලුචිස්තානය, එරට පවතින අඩුම සංවර්ධනයක් සහිත පළාත ද වේ. දරිද්‍රතාව සහ විරැකියාව හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව සිටින අතර, ඒ නිසාම පවතින අවදානම් සහ අඩු වැටුප් නොතකා ඔවුහු දිගටම පතල්වල සේවය කරමින් ගල් අඟුරු කර්මාන්තය මත යැපෙති.


