රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ක්‍රීඩා ලොව කැළඹූ මාරුව
ලොස් ඇන්ජලීස් ඩොජර්ස් (Los Angeles Dodgers) කණ්ඩායම යනු වර්තමාන බේස්බෝල් පිටියේ පරාජය කළ නොහැකි මහා බලවන්තයෙකි. දැනටමත් ලීගයේ ප්‍රමුඛයා ලෙස වැජඹෙන ඔවුන්, ක්‍රීඩක හුවමාරු කවුළුව වැසීමට මොහොතකට පෙර බේස්බෝල් ලොවම මවිත කළ "මහා පිම්මක්" පැන්නාහ. ඒ, මෙවර වෙළඳපොළේ සිටි වටිනාම "නිධානය" ලෙස සැලකුණු Tarik Skubal තමන් සතු කර ගැනීමයි.

Tarik Skubal යනු වත්මන් ඇමරිකානු ලීගයේ අඛණ්ඩව දෙවරක්ම Cy Young සම්මානය දිනාගත්, ලොව දක්ෂතම වම් අතින් පන්දු යවන (Left-handed) ක්‍රීඩකයායි. ඔහුගේ පැමිණීමත් සමඟ ඩොජර්ස් පිළේ “ආරම්භක පන්දු යවන්නන්ගේ බලඇණිය” බියකරු සිහිනයක් බවට පත්ව ඇත.
දැනටමත් කණ්ඩායමේ සිටින Shohei Ohtani, Yoshinobu Yamamoto (පසුගිය ලෝක ශූරතාවලියේ වීරයා), මෙන්ම තවත් දෙවරක් Cy Young සම්මානය දිනූ Blake Snell සහ Tyler Glasnow සමඟ Skubal අත්වැල් බැඳගනී. මීට අමතරව Mookie Betts වැනි සුපිරි තරුද සමඟින් සැදුම්ලත් මෙම “Dream Team” එක සතු බලය අතිමහත්ය. දැනටමත් ඩොජර්ස් පිලේ ආරම්භක පන්දු යවන්නන් 3.36 ක ERA (පන්දු යැවීමේ සාමාන්‍යය) අගයක් පවත්වාගනිමින් සමස්ත ලීගයේම පෙරමුණේ පසුවන අතර, Skubal ගේ දක්ෂතාවය එම ආධිපත්‍යය තර්කයකින් තොරව තහවුරු කරයි.

Shohei Ohtani,
වසර දෙකේම (2024 සහ 2025) අඛණ්ඩව ලෝක ශූරයන් වූ ඩොජර්ස් කණ්ඩායමේ එකම අරමුණ දැන් ‘Three-Peat’ ජයග්‍රහණයයි. එනම් අඛණ්ඩව තෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමයි. මීට පෙර 1998-2000 කාලයේ නිව්යෝර්ක් යැන්කීස් කණ්ඩායම ලැබූ එම අසමසම ගෞරවය අත්පත් කර ගැනීමට ඩොජර්ස් පිළට ඇති හොඳම අවස්ථාව Skubal ගේ පැමිණීමයි.
තම නව අභියෝගය ගැන දැක්වූයේ මෙවැනි අදහසකි…..
“ඩොජර්ස් ක්‍රීඩකයෙකු වීමට ලැබීම ගැන මම ගොඩක් උද්යෝගිමත්. එහි ගොස් ඒ සියලු දක්ෂ ක්‍රීඩකයින් මුණගැසීමටත්, අඛණ්ඩව ශූරතාවලීන් තුනක් දිනාගැනීමේ ඓතිහාසික ගමනට එක්වීමටත් මම බලාපොරොත්තුවෙන් සිටිනවා. එය කිරීම ඉතා අපහසු කාර්යයක් වුවත්, එහි කොටස්කරුවෙකු වීමට ලැබීම භාග්‍යයක්.” Skubal
Emotion vs. Ambition
මෙම ක්‍රීඩක මාරුව Skubal හට අතිශය හැඟීම්බර අවස්ථාවක් විය. 2018 වසරේදී තමන්ව තෝරාගෙන , සුපිරි තරුවක් දක්වා ඔප මට්ටම් කළ ඩෙට්රොයිට් ටයිගර්ස් (Detroit Tigers) කණ්ඩායමෙන් සමුගැනීම ඔහුට ලෙහෙසි නොවීය. පසුගිය සෙනසුරාදා ඔක්ලන්ඩ් ඇත්ලටික්ස් (Athletics) පිළට එරෙහිව ටයිගර්ස් ලැබූ 8-6 ක ජයග්‍රහණයෙන් පසු ඔහු ඉතා සංවේදී වී සිටියේ එබැවිනි. 1984 න් පසු ටයිගර්ස් පිලට ලෝක ශූරතාවක් දිනා දීමට තිබූ කැමැත්ත අත්හැර යාම ඔහු හැඳින්වූයේ “හැඟීම්වල රෝලර් කෝස්ටරයක්” ලෙසයි.
29 හැවිරිදි Skubal ගේ වටිනාකම ඔහුගේ වැටුපෙන්ම මැනගත හැකිය. ඔහු වසරකට ඩොලර් මිලියන 32 ක වාර්තාගත වාර්ෂික වැටුපක් ලබන අතර, එළඹෙන ඔක්තෝබර් මාසයේ ලෝක ශූරතාවලියෙන් පසු ඔහු ‘Free Agent’ කෙනෙකු බවට පත්වනු ඇත. මෙය වෘත්තීයමය වශයෙන් ඔහුට දැවැන්ත කොන්ත්‍රාත්තුවක් කරා යාමට මග පාදන්නකි. මෙම හුවමාරුව වෙනුවෙන් ඩොජර්ස් පිලට තම දක්ෂ ක්‍රීඩකයින් තිදෙනෙකු (River Ryan, Brady Smith සහ Zyhir Hope) කැප කිරීමට සිදු විය.
Skubal 2026 මැයි 6 වන දින ඔහු සිය පන්දු යවන වැලමිටේ අස්ථි කැබැල්ලක් ඉවත් කිරීම සඳහා (minimally invasive surgery to remove a loose body) ශල්‍යකර්මයකට භාජනය වූ අතර, පුදුම සහගත ලෙස ජූනි 13 වන විට නැවතත් පිටියට පැමිණියේය.
ඔහුගේ ස්ථාවරත්වය සංඛ්‍යාලේඛන මගින් මැනවින් පැහැදිලි වේ…..
- මෙම වාරය: 7-5 ක වාර්තාවක්, 2.79 ERA සහ දැවීයාම් (Strikeouts) 116.
- වෘත්තීය ජීවිතය: ජයග්‍රහණ 61-42, ERA 3.04.
- පසුගිය තරඟ වාරවලදී: තරඟ 6කදී 2-1 ක වාර්තාවක් සහ 2.04 ක විශිෂ්ට ERA අගයක්.

