Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

සුබ උපන්දිනයක් ස්වර්ණා

“මාලිනී ට පෙම් නොකළ පිරිමියෙක් ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ. පිරිමි දකින්න විඳින්න ආශා කල ‘ස්ත්‍රීත්වය’ වෙන කිසිම නිලියකට වඩා තිබුනේ මාලිනී ළඟ යි. ඊට ප්‍රතිපක්ෂව ස්වර්ණා ( මල්ලවාරච්චි ) මැවුවේ පුරුෂ සිහිනය පුපුරා හරින, ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා දක්වන ස්ත්‍රීත්වය ක්. ( භව දුක, භව කර්ම, දඩයම ). ස්වර්ණා මැවූ ප්‍රචණ්ඩ ස්ත්‍රී රූපය පිරිමි ඔලු තුල ඇති කලේ ක්ෂතිමය කම්පනයකි. ඒ ස්ත්‍රීත්වය පිරිමින්ට යට නොවෙයි. ඒ වෙනුවට පිරිමි පීඩකත්වයට එරෙහිව සටන් වදීයි. ඒ ස්ත්‍රීත්වය ට කිසි පිරිමියෙකුට ප්‍රේම කල නොහැකිය.”
ස්වර්ණා මාලිනී ට වඩා සරාගික වුවද, ලංකාවේ පිරිමින්ගේ ප්‍රේමයේ ෆැන්ටසිය ගොඩනගන්නට සිනමා අධ්‍යක්ෂවරුන් යොදාගත්තේ මාලිනි ය. එයට හේතුව අපේ ප්‍රේක්ෂකාගාරය ගැමි පිරිමින් ගෙන් සැදුම්ලත් එකක් නිසා ය. ස්වර්ණා ද, ඇගේ රංගන දිවියේ මතක සිටින රංගනයන් ඉදිරිපත් කලේ ගැමි ගැහැනියක ලෙසය. සාගර ජලය, සුද්දීලාගේ කතාව, බව දුක, බව කර්ම, අයෝමා, දඩයම, අනන්ත රාත්‍රිය ඊට උදාහරණය. මාලිනී නාගරික චරිතයක් නිරූපණය කලද, ඈ තුලින් වහනය වුනේ ගැමි සුන්දරියකගේ ගුණ සුවඳය. ලාංකීය පිරිමින් මනසින් පෙම් බැන්දේ මේ ගැමි සුරූපියටයි. ස්වර්ණා ගැමි චරිතයක ට පන පෙවුවද, ඇගේ නාගරිකත්වය ඇය ඇඳසිටි රෙද්ද හැට්ටය ද, ලමා සාරිය හෝ රැළි ගවුම ද විනිවිද දිස්වෙයි. උදාහරණයකට දඩයම චිත්‍රපටයේ ස්වර්ණා නිරූපණය කරන්නේ ගමේ තරුණියක/ගැහැනියක ( රත්මලී) ගේ භූමිකාවයි. එහෙත් ස්වර්ණා ගේ සිරුර ( මාලිනී ගේ ) මෙන් ගැමි නොවෙයි. ඇයගේ බැල්මද, ගමනද කටහඬ ද නාගරිකය. නාගරික ස්ත්‍රී ශරීරය ලාංකේය පිරිමියා ට ක්ෂතිමය අත්දැකීමක්.

කොළඹ ගම ආක්‍රමණය කරනු වෙනුවට, ගම කොළඹ ආක්‍රමණය කරන සංස්කෘතික යතාර්ථයක් තුල අපි අනාගතය වෙත පිය මනිනවා වෙනුවට අතීතය දෙසට හැල්මේ දුවමින් සිටිමු. පනහ හැට දශක වල ලංකාවේ විශ්විද්‍යාල යනු සාපේක්ෂ වශයෙන් නාගරික ශික්ෂණය පුරුදු පුහුණු කෙරුණු තැන්ය. නාගරික විලාසිතා ගමට ආවේ ගම් වලින් විශ්ව විද්‍යාල වලට පැමිණි තරුණ තරුණියන් හරහාය. ( ස්වර්ණාගේ මුල් චිත්‍රපටයක් වූ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ සමකාලීන විශ්විද්‍යාල වල ඇඳුම් සහ කොන්ඩා විලාසිතා දැකගත හැකිය). එහෙත් අද ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඩෙනිම් කලිසම්, කොට ගවුම් ඇඳගන එන තරුණියන් ට නවක වදයට ලක්වන්නට සිදුවෙයි. එම ඇඳුම් ඇඳීම තහනම් කෙරෙන නීති, සිසුන් විසින් ම පනවයි. කාලය මවා ඇති වෙනස අරුමැසිය.
නාගරික ස්ත්‍රී සිරුරේ ශෘංගාරය විඳින්නට විනයක් අවශ්‍යය. එසේ නොමැති වූ විට නාගරික ස්ත්‍රී සිරුර යනු ගැමි පිරිමි ඔලුවට මහා අවුලකි. ලංකාවේ සිනමාව තුල ෆෙලිනි ගේ La Dolce Vita චිත්‍රපටයේ සිල්වියා හෝ, Pretty Woman හි එන ජුලියා රොබර්ට්ස් හෝ හමු නොවන්නේ එබැවිනි.

හන්තානේ කතාවේ කෙසඟ, එතරම් ආකර්ශනීය පෙනුමක් නොතිබුණු ස්වර්ණා ගේ සිරුර 70 දශකයේ අගභාගය වන විට අතිශය සරාගී රංග ශරීරයක් බවට රූපාන්තරණය වී තිබුණි. මේ පරිවර්තනය ශාරීරිකව පමණක් වූවක් නොවේ. හැත්තෑව දශකයේ මුල් භාගයේ (1972) ලන්ඩන් නුවරට යන තරුණ ස්වර්ණා යලි අපට සැලකිය යුතු චරිතයක හමුවන්නේ හැත්තෑව දශකයේ අග රූගත කෙරුණු හංස විලක් චිත්‍රපටයෙන්. එතෙක් ඇය රඟපෑ වේ ද්විතීක චරිත මිස ප්‍රධාන භූමිකාවන් නොවේ. හංස විලක් ස්වර්ණාගේ රංගන දිවියේ හැරුම් ලක්ෂයක් සටහන් කරන චිත්‍රපටය යි. එතැන් පටන්, ස්වර්ණා රිදී තිරයේ රංගන ආධිපත්‍යය තමා සතු කරගන්නීය. සිංහල සිනමාවේ යකඩ ගැහැණිය ලෙස විරුධාවලි ලබන්නීය. ස්ත්‍රී වාදීන් ගේ සම්භාවනාවට පාත්‍ර වන්නීය. ඇගේ සිනමා දිවියට 50 ස් වසරක් සැපිරෙන මොහොතේ ද ඇයව ඇගයෙන්නේ තාරකාවක් ලෙස නොව ( සිනමාවේ ) ‘ගැහැණිය’ ලෙසය.
ස්වර්ණා ගේ රංගන ශෛලිය වෙනස් ය. රංගනයේදී ඇය තමා චරිතය බවට රූපාවතරණය වනවා වෙනුවට තම රංග පෞරුෂය අදාළ චරිතය තුල ආයෝජනය කර යි. පුවත් පත් වලත් මුහුණු පොතෙත් ‘ස්වර්ණා ලාංකේය මෙරිල් ස්ට්‍රීප්’ යනුවෙන් හඳුන්වනු නිතර කියවන්නට ලැබෙයි. මේ සංසන්දනාත්මක සම කිරීම කොතරම් යුක්ති යුක්තදැයි අවබෝධවන්නේ, මෙරිල් ස්ට්‍රීප් රංගනය පිළිඹඳ දරන සමහර අදහස් සලකා බැලීමේදී යි.

“No one has ever asked an actor, ‘You’re playing a strong-minded man…’ We assume that men are strong-minded, or have opinions. But a strong-minded woman is a different animal.”
― Meryl Streep
( “කිසිවෙකු නළුවෙකු ගෙන් අසන්නේ නැහැ, ඔබ මානසිකව ශක්තිමත් චරිතයක් රඟපානවා නේද කියා. මිනිසුන් මානසිකව ශක්තිමත් බවත් දැඩි අදහස් දරන බවත් අප උපකල්පනය කරනවා. එත් සවිමත් මානසිකත්වයක් ඇති ගැහැනියක් යනු අමුතු සතෙක්” ) යයි මෙරිල් ස්ට්‍රීප් පවසනවා.

ස්වර්ණා සිංහල සිනමාවේ අමුතු සතෙක්. ඇය රඟපෑවේ යකඩ ගැහැනියක ගේ චරිතයයි.

– අශෝක හඳගම

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.