ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

Date:

ඉසුරු පරාක්‍රම

අගෝස්තු 05, කොළඹ (LNW): නිහඬතාවය බොහෝවිට ගුණධර්මයක් කරගත්, විද්‍යාත්මක අවබෝධය කුණුහරුපයක් කරගත්, ගතානුගතික සම්ප්‍රදායෙන් පිරුණු සමාජයක, ශ්‍රී ලාංකික ටෙලිවෘතාන්තයක්වන “වීදුරු තිර” එම තිරය පසෙකට ඇද විසිකර දැමීමට නිර්භීත ප්‍රයද්නයක් ගෙන තිබේ. 

බැලූ බැල්මට පරිපූර්ණ යැයි කියන ජීවිතවල මතුපිටට යටින් කැකෑරෙන සංකීර්ණ, පැටළුම්සහගත සහ තිත්ත යතාර්ථයක් දිගහරිනු ලබන මෙම ටෙලිවෘතාන්තය විකාශය වන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ වන අතර, සමරිසි අනන්‍යතාවයන් තේමාව කරගත් සිංහල කතාමාලාවක් රාජ්‍ය මාධ්‍යයක විකාශයවන ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. 

“වීදුරු තිර” යනු හුදෙක් ටෙලිවෘතාන්තයකට වඩා සංස්කෘතික දඬුවම් පැමිණවීමක් බව කිව යුතු ය.

සමරිසි අයිතීන් ගැන පැණනඟින ජාතික කතිකාවතෙහි අන්තර්ගත නීතිමය පසුබිම, ප්‍රතිපත්තිමය ගැටළු, අධිකරණ විනිශ්චයන්, ජාත්‍යන්තර ප්‍රඥප්ති වැනි කිසිඳු පැතිකඩක් මෙම ටෙලිවෘතාන්තයේ වස්තුවිෂයය වී නොමැත. “වීදුරු තිර”වල හෘදස්ඵන්දනය ක්‍රියාත්මක වන්නේ සමාජය සමඟම ඇතිවන නිර්භීත ගැටුමක් ලෙසිනි. එය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික විවාහය, එහි පවතින උජාරුව, මාපිය අපේක්ෂාවන් සහ ප්‍රජනන පරමාදර්ශ සමඟ ගොස්, ඊනියා “සංස්කෘතික පවුල” පිටුපස සැඟව ඇති දුඟඳ හමන හරය එළියට ඇද දැමීමට මාවත් විවරකර දෙයි. මෘදු ගතිපැවතුම් ඇති, යුතුකම් ඉටුකරන ආදරණීය ස්වාමිපුරුෂයකුගේ චරිතය නිරූපණය කරන සුලෝචනගේ චරිතය, සමාජ දෙබිඩිභාවයේ සංකේතයක් බවට ක්‍රමක්‍රමයෙන් නිරාවරණයවන අයුරු අපූරු ය. 

එනම්;

තම සැබෑ අනන්‍යතාවය කිසිවිටක හෙළිදරව් කිරීමට නොහැකි, දැවැන්ත අභ්‍යන්තර අරගලයක නිරතවන, හොරෙන් කෑම සැපයි න්‍යායට යටත් සමරිසි පිරිමියකුගේ කල්ක්‍රියාව සුලෝචන විදහා පායි. 

පවුලේ ගරුත්වය ඉදිරියට දමාගනිමින් හොරරහසේ වෙනත් පිරිමියකු සමඟ සුලෝචන පවත්වන සම්බන්ධතාවය නිසා, අලුත විවාහ වූ චේතිනීගේ ජීවිතය නාට්‍ය රචනයක් මෙන් මායාවකට හසු වී තිබේ. 

“වීදුරු තිර” ටෙලිවෘතාන්තයේ විශිෂ්ටත්වය ඇත්තේ මෙතැනයි. එය මානව හිමිකම් වෙනුවෙන් කෑ ගසන්නේ නැත; එය පෙන්වන්නේ බොහෝ දෙනෙකු මුමුණන්නටවත් එඩිතර නොවන යතාර්ථයකි. චේතිනීගේ කතාව හරහා ඇගේ ව්‍යාකූලත්වය, ඈ වැටී ඇති උගුල, සහ ඈ ඉදිරියට ගත යුත්තේ කුමන අන්දමේ ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව ප්‍රේක්ෂක කුතුහලය අවුලනු ලබයි. 

චේතිනී හෝමොෆෝබික් නැත, ඇගේ හොඳම මිතුරකුවන හිමාෂ සමරිසි පුද්ගලයෙකි. ඈ ඔහුට බෙහෙවින් ලෙන්ගතුය. සමරිසි ප්‍රජාව වෙනුවෙන් නිතර පෙනී සිටීමට චේතිය කැමති ය. නමුත් කාන්තාවක ලෙස ඈට සිදුවන මෙම අසාධාරණයට චේතිය පිළිතුරු සෙවිය යුත්තේ සමරිසි – විෂමරිසි දෙපිරිසගේ ම සිත් රිදවීමකින් තොරව ය. 

අප ජීවත්වන සමාජයේ කොපමණ විවාහයන් නිහඬතාවයේ උරුමයකට සේවය කිරීම සඳහා කාබන් පෑන් පහරින් සහතිකකර ඇති ද? 

ලැජ්ජාව සංස්කෘතිය ලෙසත්, කලඑළිභාවය අශීලාචාරකම ලෙසත් ප්‍රතිසන්නාමගත කිරීම ශ්‍රී ලාංකික ජන සමාජයේ ඉතාම සුලභ ය. කෙසේවෙතත්, මෙකී එකක්වත් දේශීය සම්ප්‍රදායන් හා ගැඹුරින් මුල්බැසගෙන තිබෙන සමාජීය කරුණු නොවන බව කිව යුතු ය. මේවා සංස්කෘතියට උරුම වූ විකෘතීන් ය; එනම් පුද්ගල අනන්‍යතා නියාමනය කරනු මැයෙන්, එමඟින් සමාජීය පාරිශුද්ධභාවය ඇතිකරලනු මැයෙන් පශ්චාත් යටත් විජිත සමයේ වික්ටෝරියානු ආභාෂයෙන් කඳු ගැසුණු රොඩු ගොඩවල් ය. රෝම ලන්දේසි නීතිය රටේ නීතිය වන්නට යුග ගණනාවකට පෙරාතුව පටන්ම විවිධ සමාජභාවී අනන්‍යතා, සමාජභාවී භූමිකාවන්, සහ සමාජභාවී ප්‍රකාශයන් ශ්‍රී ලාංකික ජන සමාජයේ තිබෙන්නට ඇත. යටත් විජිත සමයට පෙර පැවති කලා නිර්මාණ, ජන කතා, හෝ ස්වදේශික චාරිත්‍ර අධ්‍යයනය කළහොත් මෙය මැනවින් පසක්වනු ඇත. 

අද අප කතකරන සංස්කෘතියට පටහැනි මේ කුණුහරුපය, සුද්දගේ කාලෙට පෙර සංස්කෘතියේම වර්ණවත් හැඩතල ගොනුවක එක් පුරුකක් වන්නට ඇත. 

සැබෑ ඛේදවාචකය පවතින්නේ අප ඒ අතීතයෙන් කොතරම් දුරස් වී ඇති ද යන්න තුළ ය. මෙම නූතන යුගයේ දී, බොහෝ සමරිසි පුද්ගලයන්ට (විශේෂයෙන් පිරිමින්ට) ද්විත්ව ජීවිත ගත කිරීමට බල කෙරෙයි. ඔවුන් විවාහ වන්නේ පවුලේ අපේක්ෂාවන් සමනය කිරීමට, උරුමය ලබා ගැනීමට, සහ සමාජය සමඟ මුහුම් වීමට මිස, ජීවිතයේ සැබෑ සතුට භුක්ති විඳීමට නොවේ. සමරිසි කාන්තාවකගේ තත්ත්වය මීටත් වඩා දරුණු තත්ත්වයක පවතියි. 

නමුත් “වීදුරු තිර” මෙම වසා දැමූ මාතෘකාව, මෙම විද්‍යාත්මක යතාර්ථය විවෘත සංවාදයකට ලක්කිරීමට පුළුල් මාවතක් සපයා දී තිබේ. චේතිනී වැනි කාන්තාවන්, අභ්‍යන්තර ලැජ්ජාවෙන් දියත්කරන ලද රහස් යුද්ධයක කොලැටරල් ඩැමේජ් එක බවට පත්ව තිබේ. සුලෝචන සහ සචිත්‍රගේ රහසිගත සම්බන්ධයෙන් නිරූපණය කරන්නේ හුදෙක් අනියම් ප්‍රේම සබඳතාවයක් නොවේ – එය වරප්‍රසාද, බියගුලුකම සහ මවාපෑමේ ප්‍රතිවිපාක පිළිබඳ විශාල කියවීමක් සිදුකරනු ලබයි.    

සමරිසි තේමාවක් රැගෙන එන “වීදුරු තිර” ටෙලිවෘතාන්තය සමරිසි ප්‍රජාවට ජනතා ආදරය ලබා දෙන මෙන් ඉල්ලා නොසිටියි. එය ඉල්ලා සිටින්නේ මෙම සමාජ යතාර්ථයට සවන් දෙන ලෙස පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...