කොළඹ LNW:දේශපාලන පිටිය නිශ්චිතව ජනාධිපතිවරණය සඳහා ඉලක්ක කරමින් එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ මතු වූ දේශපාලන අස්ථාවරභාවය සමඟ රට තුළ පැවති දේශපාලන කැළඹීම දැන් ජනාධිපතිවරණයට ඉලක්ක වී තිබෙන අතර දැන් පිටිය පැහැදිලිවම 2024 ජනාධිපතිවරණයට කේන්ද්‍ර ගත වී හමාරයි. 69 ලක්ෂයක ජනවරමකින් පත් වූ ජනාධිපතිවරයෙක් මහජන අරගලයකින් ධූරය හැර දමා යන තැන දක්වා ඉතා වේගයෙන් වෙනස් වූ දේශපාලන වටපිටාවක අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ වැල්පාලමකද ගමන් ගත් සමාජයක් දැන් නිශ්චිත තීරණාත්මක මොහොතකට එළඹ තිබේ. මෙකී දේශපාලන වටපිටාවන් තුළ ඉදිරි වසර පහක් සඳහා වූ විධායක බලය කුමන අතකට හුවමාරු වනු ඇතැයි නිශ්චිත නොමැති පසුබිමක එකී තීරණාත්මක ජන්දය වෙනුවෙන් මෙන්ම එකී තීරණාත්මක මැතිවරණයෙන් පසු ජාතික පැවැත්මක් සහිත වූ සමාජ පෙළගැස්මක් වෙනුවෙන් ආරම්භය ගැනීමට මෙලෙස සැලසුම් කොට තිබේ. මේ,එහි පළමු විද්‍යාත්මක විග්‍රහයයි.
(මෙම ලිපි පෙළ සකස් වන්නේ මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා සමඟ සිදුකරන සාකච්ජා ඇසුරිනි. මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා 36 වසරක යුද හමුදාවේ සේවය කර ඉන් වසර 20ක් යුද්ධය සමඟ යාවජීව සම්බන්ධයක් මෙන්ම සොල්දාදුවාගේ හදගැස්ම,මානව සම්පත් කළමනාකරණය පිළිබඳව අත්දැකීම් සම්භාරයක් ලබා ඇත්තෙකි. ජාතික ආරක්ෂාව පිළිබඳ හසල දැනුමක් ඇති මොහු ලෝකයේ පළමු දස දෙනා අතරටද තේරී පත්වූ අයෙකි. ඉන් පරිබාහිරව ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත ලෝකයේ සිටින එකම සටන්කාමි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියාය. මේ වන විට ඔහු ජාත්‍යන්තර ලේඛකයෙක්,පර්යේෂකයෙක්, ආර්ථික/ දේශපාලන හා ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂකයෙක් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙක් හා ව්‍යවසයකයෙක් ලෙසද කටයුතු කරමින් සිටියි. මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා විසින් ලියා ඇති පර්යේෂණ කෘති 21 කි. විද්‍යාත්මක ලිපි ප්‍රමාණය 150 ඉක්මවයි.)
වසර 76ක් ශ්‍රී ලාංකේය දේශපාලනයේ දක්ෂකම අද අපි බුක්ති විදිනවා. රට බංකොලොත්. රටේ ආර්ථිකය කඩා වැටිලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහීගෙන යනවා. ණය ගෙවාගන්න බැහැ. රැකියා බිහිවෙන්නේ නැහැ. තරුණ තරුණියන් රට අතහැරලා යනවා. සියලුම අංශ කඩා වැටිලා. මේ තත්ත්වය ආර්ථික විශේෂඥයෙක් ලෙස ඔබ දකින්නේ කොහොමද?
අපට නිදහස ලැබිල අවුරුදු 76ක්. අවුරුදු 76ක මිනිහෙක් පැරලයිස් වෙලා ඉන්නවා වගේ තමයි මම ලංකාවේ ආර්ථිකය දකින්නේ. ඒක කොහොමද කියන්නේ කිව්වොත් පැරලයිස් වුණ කෙනෙක්ගේ හාට් එක යහපත් නැහැ. එයාගේ කිඩ්නි හොඳ තත්ත්වෙන් නැහැ. ඇස් පෙනීම දුර්වලයි. කන් ඇහීම දුර්වලයි. අතපය හරියට වැඩකරන්නේ නැහැ. ඒවගේ තත්ත්වෙක තමයි රටේ ආර්ථිකය ඇත්තටම දැන් තියෙන්නේ. මේ දුර්වල පුද්ගලයා අපේ ආර්ථිකයට සංසදනය කළොත් බුද්ධිමතුන් රට යනවා,තරුණයෝ පන්ලක්ෂ තිස් හය දහසක් පසුගිය අවුරුදු දෙකට රට ගිහින් තියෙනවා. දේශපාලන නායකයින් පිළිබඳ බලාපොරොත්තු නැතුව ගිහින් තියෙනවා. දෙමව්පියන්ට ළයින්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ලක්ෂ තුනක් කඩන් වැටිලා. ව්‍යවසායකයෝ කඩන් වැටෙනවා කියන්නේ රැකියා නැති වෙන වෙන එකයි. මොකද රැකියා බිහිකරන්නේ ආණ්ඩු නෙවෙයි ව්‍යවසායකයෝ. මේ ආණ්ඩුවේ මුල් කාලයේ රැකියා ලක්ෂයක් දෙද්දී රජයේ කාර්යාලවල පියන්ල එක්ලක්ෂ හැටතුන්දහසක් වැඩියෙන් හිටියා. ඩ්‍රයිවර්ලා ලක්ෂයක් වැඩියෙන් හිටියා. එහෙම බලද්දී දෙලක්ෂ හැටතුන්දාහක් රජයේ සේවකයින් වැඩියෙන් ඉදිද්දී තව ලක්ෂයක් බඳවා ගත්තා. ආර්ථිකය ගැන කිසිම දනුමක් නැතුව කරපු දේවල්වලින් තමයි රට මේ තත්ත්වෙට පත් වුණේ. පඩි නඩි ටිකයි පෙන්ෂන් එකයි ගෙව්වම ඉතුරු වෙන්නේ ඉතාම සුළු මුදලක් රජයට. එතකොට කොහොමද අපි රෝහල පද්ධතිය පවත්වාගෙන යන්නේ? කොහොමද සුභසාධන කටයුතු කරන්නේ? කොහොමද දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ?කොහොමද රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සඳහා මුදල් වෙන් කරන්නේ? කොහොමද යටිතල පහසුකම් දියුණු කරන්නේ? රජයක් කළයුතු අනෙක් සියලුම කටයුතු කරන්නේ කොහොමද? ඒක බරපතල ප්‍රශ්නයක්. මේ නිසා නොනවතින ණය ගන්න සිදුවෙනවා. ඒ අනුව ආර්ථිකය පැරලයිස් වීමක් වෙලා තමයි පේන්න තියෙන්නේ. මේකට විසඳුමක් විදිහට අවංක හා දුරදක්නා දේශපාලන නායකත්වයක් වගේම ඒ ඒ අංශයන්හි ප්‍රායෝගික දැනුමක් ඇති අවංක බුද්ධිමතුන් ගණනාවක් අවශ්‍යයි. මේක බරපතල තත්ත්වයක්. ජාතියම අවිනිශ්චිතව බලාගෙන ඉන්නවා වෙන්නේ මොනවද කියල. මම කියපු අංශභාග රෝගියා සුවකරනවා වගේ සුක්ෂමව හා උපක්‍රමිකව තමයි අපේ පැවැත්ම ගොඩනගන්න වෙන්නේ.
මෙතැනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ආර්ථිකය දියුණු කරන්න තනි ක්‍රමයක් නැහැ. ආර්ථිකයට අදාළ සියලු ප්‍රධාන අංශ සමඟ සම්බන්ධ කළ යුතු වෙනවා. තනියෙන් ක්‍රියාකරන්න බැහැ. මේ ඔක්කොම එකට ජාලයක් විදිහට එකිනෙකට ඒකාබද්ධ කරන්න ඕනේ. එහෙම කරලා ඉතාම පැහැදිලි වැඩපිළිවෙලක් යටතේ රට ගොඩගන්න පුළුවන්. ඒකට අවංක,බුද්ධිමත් මෙන්ම දුරදක්නා දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. විශේෂයෙන් දේශපාලන නායකත්වයට පුළුවන් වෙන්න ඕනේ ඒ ඒ ප්‍රවීණයන් විසින් සකසා දෙන මාර්ග සිතියම් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න. මේ දක්වා දේශපාලකයින් දුන්නේ පොරොන්දු විතරයි. ක්‍රියාව හා අවංකභාවය ඉතා දුර්වලයි. එහි ප්‍රතිඵලය තමයි රට බංකොලොත් වීම.
ඔබගේ මෙම යෝජනාවට අදාළව ව්‍යුහයක් යෝජනා කරලා තියෙනවද?
මෙතන තියෙන ප්‍රශ්නය තමයි ලංකාවේ හැම එකක්ම තියෙන්නේ තනි තනියෙන්. ආර්ථිකය ගත්තොත් වෙනම තියෙන්නේ. ආරක්ෂාව ගත්තොත් ඒකත් වෙනම. සංස්කෘතියත් වෙනම අරන් කතා කරන්නේ. මේ එකක්වත් එක තැනකදීවත් එකට එකතු වෙන තැනක් අපි දකින්නේ නැහැ. විදේශ ප්‍රතිපත්තිය ගත්තොත් ඒකත් තනියෙන්. එහෙම බැහැ. මොකද ශක්තිමත් ආර්ථිකයක් නැතුව ශක්තිමත් ජාතික ආරක්ෂාවක් පවතින්න බැහැ. විද්‍යාව හා තාක්ෂණය නැතුව ආරක්ෂාවක් නැහැ. විද්‍යාව හා තාක්ෂණය නැතුව ආර්ථිකයකුත් නැහැ. අනික නවෝත්පාදන නැතුවත් ආර්ථිකයක් සහ ආරක්ෂාවක් පවත්වාගන්න බැහැනේ. දැන් කෘෂිකර්මය ගන්න ඒකට නව තාක්ෂණය ඕනේ. ඒ නිසා කොහෙන් ගත්තත් මේවා ඒකාබද්ධයි අපිට තනි තනියෙන් පෙනුනට. බොහෝ රටවල මේ අංශ එකිනෙකට ක්‍රමානුකූලව එකිනෙකට සම්බන්ධයි.
දැන් බලන්න හිටපු හමුදාපතිවරු කියල තිබුණා ආරක්ෂක හමුදාවල සාමාජිකයෝ වැඩිකරන්න කියල. කොහොමද කරන්නේ? කොහොමද පඩි ගෙවන්නේ? දැනට රාජ්‍ය ආදායම වැයවෙන්නේ පඩියි පන්ෂනුයි ගෙවන්න. ඒවා සියල්ල ආර්ථිකයට ගැළපෙන විදිහට ඕනේ කරන්න. හමුදාව බිංදුවට බස්සන්න ඕනේ කියල නෙවෙයි මම කියන්නේ. නැත්නම් ඒකත් වැරදි විදිහට වටහා ගන්න පුළුවන්. ඒකත් සිස්ටම් එකකට ආර්ථිකයට දරාගන්න පුළුවන් විදිහට කරන්න ඕනේ. යුද්ධය වෙලාවේ හමුදාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කළා. යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු 15ක්. දැන් ලක්ෂ දෙකක හමුදාවක් අවශ්‍ය නැහැ. විශේෂ පුහුණු දීලා සෙබළු විදෙස් රැකියා සඳහා යොමුකරන්න පුළුවන්. ව්‍යවසායකත්වය හඳුන්වා දීලා ඔවුන් ව්‍යවසායකයින් කරන්න පුළුවන්. අවශ්‍ය නම් වන්දි මුදලක් ලබා දීල වෙනත් කර්මාන්තයක් සඳහා ඔවුන්ව යොමුකරන්න පුළුවන්. ආර්ථිකය තුළ මොවුන් සක්‍රියව යොදාගැනීමයි වැදගත් වෙන්නේ. මේක මේ හමුදාවට විතරක් නෙවෙයි සියලුම රජයේ සේවයට අදාළ කාරණයක්. හරියට කළමනාකරණය කරමින් දූෂණය,නාස්තිය නැති කළොත් රජයට ලැබෙන මුදල් ඉතිරි කරලා ඒවා අධ්‍යාපනයට,සෞඛ්‍යට, සුභාසාධනයට, යටිතල පහසුකම් සපයන්න යොමුකරවන්න පුළුවන්. වැදගත් දෙයක් තමයි මැනේජ්මන්ට් කියන දේ.
මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් බලන්න අපේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇවිල්ල පාර හදනවා. ඒ හදල ගියහම විදුලි බල මණ්ඩලය ඇවිල්ල කඩනවා. ඒක අපහු හදනවා. ඊට පසේ වෝටර් බෝඩ් එකෙන් එනවා. එයාල පාර කඩනවා. ආයෙත් හදනවා. ඊට පස්සේ ටෙලිකොම් එකෙන් එනවා. එයාලත් කඩනවා. අපහු හදනවා. හරි නම් මේ හතර ඒකාබද්ධ කරන්න ඕනෙනේ. මේක මම මීට වසර 30කට පෙර ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේදී කියපු දෙයක්. දැන් වසර 30ක්. අපි 2024ත් අපි ඒ වරදම කරනවා. ඉතින් රටක් දියුණු කරන්නේ කොහොමද? මේක අමාරු දෙයක් නෙවෙයි. සරළයි. මහා ලොකු සංකීර්ණ දෙයක් මෙතන නැහැ. කරන්න ඕන දේ ඒ නිවැරදි සිස්ටම් එක හඳුනාගෙන ඒක ඇප්ලයි කරන්න තියෙන්නේ. එහෙම ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න පුළුවන් නම් ධනය ශ්‍රමය කාලය මේ සියල්ල ඉතුරු වෙනවා. හිතන්න අපි මොනතරම් විනාශයක්ද මේ ගෙවුණු කාලය තුළ කරගෙන තියෙන්නේ කියල අපිට දැන් වැටහෙන්න ඕනේ කිසිම සැලස්මක් නැතුව අතිශය භයානක පාරක ගිය රටක් ලංකාව. මේ විදිහට ඇවිල්ල බංකොලොත් වෙනවා කියන එකත් පුදුමයක් නෙවෙයි. මේක මම අවුරුදු හතරකට ඉස්සර වෙලා දැක්කා. සිරිසේන ජනධිපති රනිල් අගමැති වෙලා ඉන්න කාලේ මම ඩේලි මිරර් පත්තරේට ලිව්වා ”SRI LANKA IS HEADING TOWARDS BECOMING A FAILED STATE” කියල. ආදායමට වඩා වියදම වැඩි නම් පවුලක් වුණත් කඩාගෙන වැටෙනවා. ඕනෑම කොම්පැණියක් වුණත් කඩන් වැටෙනවා. අපේ රටට වෙලා තියෙන්නේ ආදායමට වඩා වියදම වැඩිවීම. දැන් නොර්වේ බලන්න. එයාලට හම්බවුණා තෙල්. ඔවුන් එය ඒ මොහොතේම ජනතාවට දැනුම දීලා ජනගත කළා. සල්ලිවලින් රට දියුණු කළා. විශාල වශයෙන් තෙල් හම්බවුනාම එම මුදල් පිටරට පවා ආයෝජනය කළා. අද නොර්වේ ලෝකයේ දියුණුම රටක්. දැන් බලන්න අපේ රටේ සුළං තියෙනවා. හිරු එළිය තියෙනවා. හොඳ වරායවල් තියෙනවා. වැඩක් ගන්නවද? ඔව් වැඩක් ගන්නවා. ඒවා සියල්ල පෞද්ගලික සැලසුම්වලට යටවෙලා තියෙන්නේ. මෙහෙ වෙන්නේ පුද්ගලික වාසියට,පවුලේ වාසියට විකුණන එක. මෙහෙ වුණේම තමතමන්ගේ පවුලේ වාසියට,හෙන්චයියන්ගේ වාසියට මේ සම්පත් විදේශ රටවලට විකුණා කොමිස් ගත්ත එක. වෙන රටවල් දියුණු වෙද්දී අපි බංකලොත්. අනිත් එක තමයි නාස්තිය හා දුෂණය. මේවා අනිවාර්යයෙන් නවත්වන්න ඕනේ. මේ අනුව නාස්තිය,දුෂණය,වැරදි කළමනාකරණය තියෙන අදායමට වඩා වැඩි වියදමක් තියෙන පවුලක්වත්, ආයතනයක්වත්, රටක්වත් ජීවිතේට දියුණුකරන්න බැහැ. ඒක තමයි අවුරුදු 76ක් මුළුල්ලේ ලංකාවේ සිද්ධ වුණේ.ලංකාවට සියලුම සම්පත් තියෙනවා. නමුත් නිසි කළමනාකරණයක් නැහැ. ඩුබායි රාජ්‍ය බලන්න. ඔවුන්ට වරාය විතරයි තියෙන්නේ. සම්පත් කිසිවක් නැහැ. නමුත් ඉතා බුද්ධිමත්,අවංක, දුරදක්නා නායකත්වයක් සහ කළමනාකරණයක් තියෙනවා. ඩුබායි රාජ්‍යයේ දියුණුවේ රහස එයයි.
ජාතික පැවැත්ම රටකට ඉතා වදගත්. නමුත් මේ වෙද්දී ජාතික පැවැත්මට බරපතල තර්ජන එල්ල වෙලා. සියලු දෙනාගේ බලාපොරොත්තු බිඳ වැටිලා. කොහොමද ජාතික පැවැත්ම ගොඩනගන්නේ? මොකක්ද ඔබේ යෝජනාව?
ජාතික පැවැත්මක් ගොඩනගා ගනිමින් ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට ජාතීන් අතර එකමුතුවක් ඇතිවෙන්න ඕනේ. ජාතීන් අතර බෙදීමක් ඇතිකරලා කවදාවත් ජාතික පැවැත්මක් බලාපොරොත්තු වෙන්න බැහැ. ජාතික ආරක්ෂාවක් වගේම දියුණු ආර්ථිකයක් බලාපොරොත්තු වෙන්න බැහැ. දේශපාලඥයෝ කරන්නේ එයාලගේ පුද්ගලික වාසිය උදෙසා සහ ජන්දය දිනා ගැනීමට ජාතීන් අතර භේද ඇතිකරන එක. වෛරී ප්‍රකාශ මඟින්,ඒවගේම ජාතීන් බෙදෙන විදිහේ අනවශ්‍ය කතා මාධ්‍ය යොදාගන ව්‍යාප්ත කරනවා. හැබැයි දියුණුවක් ලබපු කිසිම රටක් ජාතීන් අතර අසමඟිය ඇති කරලා නැහැ. ජාතික සමඟිය තහවුරු කරන්න බැරි නම් ජාතික පැවැත්ම තහවුරු වෙන්නෙත් නැහැ. ජාතික ආරක්ෂාවත් ජාතික ආර්ථිකයත් ජාතික සංස්කෘතියත් තර්ජනයට ලක්වෙනවා. මුලින්ම කරන්න ඕනේ ජාතික පැවැත්ම හරියට අරගෙනයන්න නම් ජාතික සමඟිය ඇතිකරන එකයි. ඒ වගේම තමයි දැන් ආර්ථිකය ප්‍රමුඛයි ආරක්ෂාවට වඩා. ආර්ථිකය ගොඩනැගීමට රජයේ,පෞද්ගලික අංශයේ මෙන්ම පොදු මහජනතාව සමඟ නිවැරදි දර්ශනයක් ඔස්සේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්‍යයි. මහජන සහයෝගය නැතුව ආර්ථිකයක් හෝ ආරක්ෂාවක් හෝ පැවැත්මක් නැහැ.
නමුත් මේ වෙද්දී මිනිස්සු විශාල ප්‍රමාණයකගේ ආර්ථිකය කඩන් වැටිලා. විශාල ප්‍රමාණයකට කන්න නැහැ. ඉතින් මේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ප්‍රමුඛ වශයෙන්ම ජාතික සමඟිය ඇතිකරලා ඒවගේම අනවශ්‍ය වියදම් කපා හැරලා,දුෂණය නවත්වල,නීති ස්ථාපිත කරලා, ඒ නීති හරියට ක්‍රියාත්මක ද කියල ජාතික නායකත්වය විසින් බලල ආර්ථික ඉලක්ක හදන්න ඕනේ. ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ ඉලක්ක දෙන්න ඕනේ. හිතන්න විදේශ රටවල්වලට තානාපතිවරු පත් කිරීමේදී, දැන් මොකද වෙන්නේ රට රටවලට ඔවුන් යනවා රජයේ වියදමින්. හොඳට කාලා බීලා ජොලිකරනවා. තානාපති සේවාවටත් ඉලක්ක දෙන්න ඕනේ. මාස හයක් දෙන්නම් අදාළ රටෙන් රැකියාවල් අහවල් ප්‍රමාණයක් හොයා ගන්න ඕනේ. ඒවගේම තමයි ලංකාවේ ව්‍යවසායකයන්ට භාණ්ඩ පිටරට යවන්න විදෙස් වෙළෙඳපොල හොයා ගන්න ඕනේ. ඒ වගේම රටේ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කරන්න ඕනේ. එහෙම ප්‍රගතියක් පෙන්වන්න බැරි නම් තානාපති සේවයෙන් ඉවත් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න තානාපති සේවයට මැදිහත් වෙන්න පුළුවන්. ඔය විදිහට තමයි ජාතික පැවැත්ම තහවුරු කරන්න පුළුවන් වෙන්නේ.
අනික තමයි විදේශ ප්‍රතිපත්තිය. එතැනදී අපිට පැත්තක් ගන්න බැහැ. අපේ රටේ මිනිස්සු බෞද්ධාගම ප්‍රමුඛ අගම ලෙස අදහන අය. අපි ප්‍රචණ්ඩ ජාතියක් නෙවෙයි. අපේ සංස්කෘතිය ගත්තොත් එය පදනම් වෙන්නේ අවිහිංසාව සහ මධ්‍යම ප්‍රතිපදාව එක්ක. ඒක තමයි අපේ සංස්කෘතියේ තේමාව. ඒ අනුව අපිට කිසිම පැත්තක් ගන්න බැහැ. නොබැඳිව ඉන්න ඕනේ. විදේශ ප්‍රතිපත්තිය ඒ වගේ යහපත් නම්, මිත්‍රශීලි නම් ජාතික ආරක්ෂාව සඳහා අධික මුදලක් යොදවන්න අවශ්‍ය නැහැ. මොකද අපිත් එක්ක තරහට කවුරුත්වත් නැති නිසා. තරහකාරයෙක් ඉන්නවා නම්නෙ තුවක්කු ගන්න ඕනේ. බෝම්බ ගන්න වෙන්නේ. හමුදාව වැඩි කරන්න ඕන වෙන්නේ. විදේශ ප්‍රතිපත්තිය ඔය විදිහට ගියොත් ආරක්ෂාවට යන වියදම් සෑහෙන්න අඩුකරගන්න පුළුවන්. එතකොට විදේශ ප්‍රතිපත්තියයි ජාතික ආරක්ෂාවයි එකට සම්බන්ධ වෙනවා. විදේශ ප්‍රතිපත්තිය හොඳ නම් ආර්ථිකයටත් එය හොඳ විදිහට බලපානවා. මෙතැනදී කලාපීය සහ ගෝලීය වශයෙන් අපිට ගොඩක් අය හමුවෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ජාතික පැවැත්මට තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණයත් එක්ක ලෝකය කුඩා ඒකකයක් වෙලා තියෙන්නේ. ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා. ඉන්දියාවට ගිහින් උදේ කෑම කාලා හවසට මෙහෙට එන්න පුළුවන්. සිංගප්පුරුවට උදේ ගිහින් හවස නැවත එන අයත් ඉන්නවා. ඒ අනුව විද්‍යාව හා තාක්ෂණය ජාතික පැවැත්මට අනිවාර්ය අවශ්‍ය දෙයක්. මේ නිසා තමයි මම කියන්නේ මේ හැම එක්කම එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ කියල.
අනිත් පැත්තෙන් ජාතික පැවැත්ම තහවුරු කරන්න බැහැ කඳුළු ගෑස් ගහල. අධි පීඩන වතුර ගහල. ජාතික සම්පත් පෞද්ගලික අවශ්‍යතාවට යොදාගෙන ජාතික පැවැත්ම තහවුරු කරගන්න බැහැ. දේශපාලන හැකියාව බලපාන්නේ මෙතැනදී . මේ දේශපාලන හැකියාව කියන කාරණය ගත්තොත් මේ වෙද්දී මිනිස්සුන්ට මේ රටේ දේශපාලන හැකියාව සහ දේශපාලකයෝ ගැන කලකිරීමෙන් ඉන්නේ. 225ම එපා කියන තැනට පත්වෙලා ඉන්නේ. මොකද දේශපාලනය තුළ තමයි මේ හැම දෙයකම පැවැත්ම තියෙන්නේ. ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වෙනවා නම් ඒ දේශපාලනය නිසා. ආර්ථිකය කඩා වැටෙන්නේ දේශපාලනය නිසා. රටේ ප්‍රතිපත්ති විකෘති වෙන්නේ දේශපාලනය නිසා. ජාතික සම්පත් නිසි විදිහට යොදවනවද නැත්නම් එය යෙදවෙන්නේ පෞද්ගලික වාසියටද කියන දේ තීරණය වෙන්නේ දේශපාලනය මත. ඉතින් මෙතැනදී දේශපාලනිකව නිසි නායකත්වය අතිශය වැදගත් කාර
රටකට ආර්ථිකය වගේම ආරක්ෂාවත් වැදගත්. අවශ්‍ය දෙයක්. පසුගිය රජයන් ජාතික ආරක්ෂාව මාර්කට් කරලා බලයට ආපු හැටි අපි දුටුවා. හැබැයි දැන් ආර්ථිකයත් අනතුරේ. රටකට වඩා වැදගත් වන්නේ ජාතික ආර්ථිකයද? ජාතික ආරක්ෂාවද?
ජාතික ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් විග්‍රහ කරන්න ගත්තහම එය විග්‍රහ කර ගත හැකියි වම් අතයි දකුණු අතයි කියල. ඕකෙන් මොකක්ද වැදගත් කියල ඇහුවොත් දෙකම අවශ්‍යයි. නමුත් කෙනෙකුට කියන පුළුවන් දකුණු අත ටිකක් වැඩියෙන් අවශ්‍යයි කියල. ජාතික තලයේදී ඕක කාලසීමාව අනුව වෙනස් වෙනවා. මොකද පහුගිය කාලය ගත්තොත් ඒ කියන්නේ යුද්ධය පැවති සමය තුළ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන්න වුණා. ඊටපස්සේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක ආපහු ජාතික ආරක්ෂාව ගැන කතා බහ, අවධානය ඉහළට ආවා. නමුත් දැන් ජාතික ආර්ථිකය කඩන් වැටිලා තියෙන මොහොතක මිනිස්සුන්ට කන්නත් නැහැ. බෙහෙතුත් නැහැ. රැකියා නැහැ. අනාගතය ගැන බලාපොරොත්තු නැතිවෙලා තියෙනවා. බලාපොරොත්තුවක් ඇති වෙන්න නම් ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. මේ මොහොත ගත්තොත් ජාතික ආර්ථිකයට ප්‍රමුඛ තැනක තියෙන්නේ. මොකද ආර්ථිකය ශක්තිමත් නැත්නම් ආරක්ෂාවත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාවට වඩා තැනක් මේ මොහොතේ ආර්ථිකයට දෙන්න ඕනේ. මොකද ආර්ථිකය පිරිහෙනවා කියන්නේ ප්‍රශ්න වැලක් එන්නේ. මිනිස්සුන්ට ඉවසන්න පුළුවන් ඕන දෙයක්. හැබැයි දරුවෝ බඩගින්නේ නම් ඒක තමයි ඉවසන්නම බැරි දේ. ඒක මිනිසුන්ට විතරක් නෙවෙයි සත්ව ලෝකයටත් පොදු දෙයක්. දරුවෝ බඩගින්නේ අඩද්දී ඒක ඉවසන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එහෙම තත්ත්වෙකට රටක් පත්වෙන්න බැහැ. ඒ නිසා දුෂණය නැති කරලා ජාතික සම්පත් ආරක්ෂා කරලා ආර්ථිකය උස්සන්න වෙනවා. මූලික අවශ්‍යතා ඉටුකරගන්න සමාජයකට බැරි වුණොත් එතන විශාල ගැටුමක්, ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එතනට මිනිස්සු සමාජයක් විදිහටයි තල්ලු වෙන්නේ. මේ කියන තත්ත්වයන් සලකල බලල තමයි මේ මොහොතේ ජාතික ආර්ථිකය ප්‍රමුඛත්වයක් ගන්නේ.
ඔබ පසුගියදා ඔබගේ ලියවිල්ලක් මඟින් මූලධර්ම 12ක් ඉදිරිපත් කරලා තිබුණා. මේ මූලධර්ම ක්‍රියාවට නංවන බවට සහතික වෙන පුද්ගලයා ජනාධිපති තරඟයෙන් දිනන බවටත් පුරෝකථනයක් කරලා තිබුණා. ඇයි ඔබ මෙවැනි නිශ්චිත රාමුවක් ඉදිරිපත් කළේ?
දැන් අපි ඉන්නේ ජනාධිපතිවරණයක් අභියස. බංකොලොත් ආර්ථිකයක් ගොඩගන්න තමයි මේ හැම කෙනාම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ. මම මෙතැනදී ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉටු කළ යුතු මූලික කරුණු 12ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා මූලධර්ම විදිහට ගත්තත් ගැටළුවක් නැහැ. මෙම කරුණු 12 ඉටුකරන්න පුළුවන් නම් ඒ අපේක්ෂකයාට බහුතර විශ්වාසය දිනාගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වසය.
- දූෂණ වැළැක්වීම, ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු දූෂිත දේශපාලනඥයන් හෙළිදරව් කිරීම.
- අධිකරණය, පොලීසිය, මැතිවරණ කොමිෂන් සභාව සහ අනෙකුත් කොමිෂන් සභාවලට ක්‍රියා කිරීමේ නිදහස පිළිගෙන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් වළකින්න ඕනේ.
- රාජ්‍ය නාස්තිය වැළැක්වීමට සහ නැවත එවැනි දෙයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගන්න වෙනවා. මේ සම්බන්ධයෙන් මාඕ සේතුං (චීනය) සහ ඇන්ජෙලා මර්කල් (ජර්මනිය) යන අයගේ අඩිපාරේ යන බවට ජනාධිපති අපේක්ෂකයින්ට පොරොන්දු විය හැකියි. මේ අතර මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා දුම්රියෙන් ගමන් කරන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් V8, Benz, BMW වැනි අධි සුඛෝපභෝගී වාහනවලින් ගමන් කරන්නේ අසරණ බදු ගෙවන්නන්ගේ වියදමෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිල අඩු ඉන්දියානු, මැලේසියානු හෝ ජපන් වාහන භාවිතා කළ හැකියි. සුඛෝපභෝගි වාහන පාවිච්චි කරන්න ඕන නම් තමන්ගේ මුදලින් කරන්න පුළුවන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පාලන කාලය තුළ බදු ගෙවන්නන්ගේ වියදමින් සහෝදරයන්, හිතවතුන්, හෙංචයියන් සමඟ 33 වතාවක් විදේශ ගත වූ අතර ඒ සඳහා ශත 33ක ප්‍රතිලාභයක් අපේ රටට ගෙන ඒමට ඔහුට හැකි වුණාද කියන එක මට ප්‍රශ්නයක් තිබෙනවා. අනෙක් දේශපාලන නායකයනුත් ක්‍රියාකර ඇත්තේ ඉතාම අශෝභන හා රට ගැන, මහජනයා ගැන,රාජ්‍ය වියදම් ගැන හැඟීමක් නැතුව. නමුත් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය අවුරුදු 05ටම විදෙස් සංචාර ගිය බවට වාර්තා වෙලා නැහැ. දේශපාලන භේදයකින් තොරව ඒ හොඳ දේවල් සඳහන් කරන්න ඕනේ.
- රජයේ උසස් හා වගකිව යුතු තනතුරු සඳහා දේශපාලන මිතුරන්,පාවුලේ සාමාජිකයින්,හෙන්චයියන් සහ නුසුදුසු පුද්ගලයින් වෙනුවට සුදුස්සන් පත්කිරීම.
- දූෂණ, මිනීමැරුම්, අල්ලස්, ස්ත්‍රී දූෂණ, නාස්තිය සහ දැනටමත් වරදකරුවන් වූ අපරාධකරුවන් යන චෝදනා ඇති කිසිවකුට නාමයෝජනා දීමෙන් වළකින්න ඕනේ. උපාධිය / ඩිප්ලෝමා / ජාතික මට්ටමේ ජයග්‍රහණ හෝ අවම වශයෙන් සදාචාරාත්මක හැසිරීමක් ඇති අයට තමයි නම යෝජනා දෙන්න ඕනේ.
- අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ටෙන්ඩර් තෝරා ප්‍රදානය කිරීමේ බලතල අහෝසි කිරීම කළ යුතු වෙනවා. සම්පූර්ණ ටෙන්ඩර් පටිපාටිය හැසිරවීම සඳහා අමාත්‍යාංශයෙන් පිටත සිටින ගෞරවනීය,උගත්,අවංක විශේෂඥයින් හත් දෙනෙකුගෙන් යුත් පිරිසක් පත් කිරීමට නිර්දේශ කරනවා. පුරවැසියන්ට ටෙන්ඩර් පිළිබඳ අප්‍රමාදව, විනිවිදභාවයෙන් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. මෙහෙම කළොත් දුෂිතයින් දේශපාලනයෙන් අතුගා දමන්න පුළුවන්.
7.ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය, ජාතික රාජ්‍ය තාන්ත්‍රිකත්වය,ජාතික විද්‍යාව සහ තාක්ෂණය, ජාතික බුද්ධිය සහ නවෝත්පාදනය මෙන්ම අවසාන වශයෙන් ජාතික දේශපාලන හැකියාව යන කරුණු ඒකාබද්ධ කළ යුතුයි. ජාතික පැවැත්ම තහවුරු කිරීමට ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය. ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය විසින් රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සහතික කළ යුතුයි. එය පුරවැසියන්ගේ සිතැඟි සහ උවමනාවන් අනුව සකස් විය යුතු අතර රටේ සංවර්ධනය සඳහා වන රජයේ සමස්ත උපාය මාර්ගයට ගැළපෙන එකක් විය යුතුයි. සමගිය ආරක්ෂා කිරීම සහ බෙදීමට විරුද්ධ වීම වඩා වැදගත් කරුණක්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ තේමාව ජාතික සමගියයි. “එක්සත්ව අපි හිටගනිමු, බෙදී විනාශ වෙමු ” යන පැරණි ප්‍රඥාවන්ත කියමනෙන් එය සනාථ වෙනවා. සියලුම පුරවැසියන්ගේ ජාතික අනන්‍යතාවය “ශ්‍රී ලංකන්” විය යුතුයි. මෙම මූලධර්ම මත පදනම්ව ජාතික ආරක්ෂාව සහතික කළ හැක්කේ කුමන අපේක්ෂකයාටද?
- දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පුරවැසියන් වාර්ගික, භාෂාව සහ ආගම අනුව බෙදීම නීතියෙන් වැළැක්විය යුතුයි.
- විදේශ සෘජු ආයෝජකයින්ට සහ දේශීය ආයෝජකයින්ට විනිවිදභාවය සහ අල්ලස් රහිත පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ඔවුන්ට ලංකාවේ දේශපාලන ඇඟිලි ගැසීම් හා ලබා දී ඇති පහසුකම් මෙන්ම බාධක පිළිබඳ ඔවුන්ගේ අදහස් ලෝකයට ප්‍රකාශ කිරීමට ඉඩ දිය යුතුයි.
- දේශපාලඥයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 75 ක් දක්වා සීමා කිරීම. කාර්යක්ෂමතාවය කෙරෙහි වයස බලපානවා. වයසට යාම නිසා ශරීරය මෙන්ම මනසද දුබල වෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේකට ජීවමාන උදාහරණයක්. ඔහු පාර්ලිමේන්තුවේ සෑම විටම පාහේ නිදා සිටින අයුරු ඔබට නිරීක්ෂණය කළ හැකියි. වයස අවුරුදු 75 වන විට, ශරීරයේ මේද ප්‍රතිශතය සාමාන්‍යයෙන් තරුණ වැඩිහිටි අවධියේ පැවති ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණ වෙනවා. ශරීරයේ මේදය අධික වීම දියවැඩියාව වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කරනවා. අවුරුදු 75ට වැඩි දේශපාලනඥයන්ට මානසික නිපුණතා පරීක්‍ෂණයක් අවශ්‍යයි. ඔවුන්ගේ සේවා කොන්දේසි තීරණය කරන්නේ දේශපාලඥයන්මයි. ඔවුන්ගේ බලතල නැති කර ගැනීමට ඔවුන් කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ බදු ගෙවන්නන්ගේ සහ පුරවැසියන්ගේ වියදමින් ප්‍රතිලාභ ජීවිත කාලය පුරා භුක්ති විඳීමට. ඒ නිසා දේශපාලකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 75ක් බවට නීති සම්පාදනය කළ යුතුයි.
- රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය ඩොලර් බිලියන කිහිපයක් වංචනිකව උපයාගත් බව පැවසෙනවා. බලතල අවභාවිතය, මිනීමැරුම් සහ මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ප්‍රකාශ කෙරෙනවා. මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් රාජ්‍ය සම්පත් අපයෝජන පිළිබඳ පැමිණිලි රාශියක් ලැබිල තියෙනවා. 2015 මැයි 7 වන දින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට විදේශ රටවල් හතරකින් බුද්ධි වාර්තා ලැබුණා රාජපක්ෂ පවුල විදේශ රටවල ඩොලර් බිලියන 18 ක වත්කම් ඇති බව සඳහන් කරමින්.. කිසියම් දේශපාලනඥයකුගේ හෝ රාජ්‍ය නිලධාරියකුගේ සබඳතා,දේශපාලන හිතවත්කම් සහ තනතුරු නොතකා සොරකම් කළ මුදල් ආපසු ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ජනතාවට අවංකව සහතික විය හැක්කේ කුමන ජනාධිපති අපේක්ෂකයාටද? මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු වෙනවා.
- රෝහල් සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම. මෙතැනදී අදහස් කරන්නේ රෝගී සත්කාර සේවයේදී එක් රෝගියෙකුට එක ඇදක් ලෙස පහසුකම් දියුණු කිරීමක්. අද රජයේ රෝහල්වල වාට්ටුවක එක ඇඳක ලෙඩ්ඩු තුනක් හෝ හතරක් ඉන්නවා. ඇඳේ දෙන්නෙක් සහ ඇඳ යට දෙන්නෙක් වශයෙන්. මෙය වහා විසඳිය යුතු ගිනිගන්නා ප්‍රශ්නයක්.
මේ කරුණු තමයි මම මෙතැනදී මූලිකවම ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට පුළුවන් මේ කරුණු 12 ඉටුකරනවා කියල සහතිකයක් දෙන්න. රට ගොඩනැගීම වෙනුවෙන් තමයි මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් ඔය අපේක්ෂකයෝ වුණත් රට පෙරට කියාගෙනනෙ එන්නේ. ඒ නිසා ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ මේ ගැන සහතික වෙන්න. අතීතයේ වුණත් පොරොන්දු දේශපාලනය ගැන අපට අත්දැකීම් තියෙනවා පොරොන්දු ඉටු නොකිරීම ගැන. මෑතකදීත් එක්කෙනෙක් ඇවිල්ලා පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියලනේ පටන් ගත්තේ. එහෙම කියල රටටම දුන්නනේ වැඩේ. කොහොමත් මේ රටට අවංක දර්ශනයක් තියෙන නායකත්වයක් ලැබුණේ නැහැ. විශේෂයෙන් 1977න් පස්සේ. බුද්ධිමතුන්ට වැඩකරන්න පුළුවන් මට්ටමේ දේශපාලන නායකත්වයක් මේ රටට ලැබුණේ නැහැ. එහෙම වුණා නම් මේ රටට මෙහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා තමයි මේ පාර ජනාධිපතිවරණයට ඉදරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට මම මේ මුලධර්ම 12 ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මුලධර්ම 12 ඉටුකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් රටම එතනට ඒකරාශී වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට කළොත් තමයි මේ රට ගොඩගන්න පුළුවන්. අඩුම තරමේ කරුණු 12න් කිහිපයක් හෝ ඉටුකරන්න පුළුවන් ජනාධිපති තරඟකරුවෙකුට වැඩි වාසියක් ලබාගන්න පුළුවන්.
අපි දැන් ඉන්නේ ජනාධිපතිවරණ ජන්ද විමසීමේ අපේක්ෂාවෙන්. දැනටමත් අපේක්ෂකයින් කිහිපදෙනෙක් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙලා ඉන්නවා. මෙහිදී සමාජයේ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන ප්‍රධාන අපේක්ෂකයින් ගැන ඔබේ අදහස් පැහැදිලි කළ හැකිද?
රනිල් වික්‍රමසිංහ මහත්තය ගැන කිව්වොත් එයාට දේශපාලන තුළ අවුරුදු 40කට වැඩි පළපුරුදක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හොඳට දන්නවා. විදේශ රටවල් හැසිරවීමේ හොඳ දැනුමකුත් තිබෙනවා. උගතෙක්. එය අගය කළ යුතුයි. නමුත් එතුමා මේ දැනුමයි හැකියාවයි පාවිච්චි කරන්නේ පුද්ගලික වාසි තකා ඒගොල්ලන්ගේ බලය රඳවා ගන්න. ඒවගේම එයාගේ පිරිස ආරක්ෂා කරගන්න. එතුමා එතනින් මිදිලා ඒ පළපුරුද්දයි දැනුමයි,රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි රට සහ මහජනයාගේ යහපත සඳහා පාවිච්චි කළොත් එතුමාට ලොකු ගමනක් යන්න පුළුවන්. දැන් ඉන්න තත්ත්වේ හැටියටත් එතුමාට එහෙම කරන්න බැහැ. මොකද එතුමාව ආරක්ෂා කරන්නෙත් බහුතර ජනතාව විසින් ප්‍රත්ක්ෂේප කරපු පිරිසක්. එතුමා දුෂිත දේශපාලඥයින් ආරක්ෂා කරන කෙනෙක් බවට ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. එවැනි පසුබිමක එතුමාට මහජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි වෙනවා. තර්කයක් ගේන්න පුළුවන් තෙල් පෝලිම් නැති කළා, බෙහෙත් හිඟයට උත්තර දුන්න වගේ දේවල් කියල, හැබැයි ඒකේ යථාර්ත සත්‍ය තමයි තෙල් මිල අසීමිතව වැඩි කළා. එතැනදී මිනිස්සුන්ගේ පරිභෝජන රටාව වෙනස් වුණා. අනිත් පැත්තෙන් ගෑස් සහ ලයිට් බිල ගත්තත් අසීමිතව වැඩි කිරීම තුළින් දුගී දුප්පත් ජනතාව අසීමිතව පීඩාවට පත් වුණා. දැනට තියෙන දත්ත සහ වාර්තා අනුව දුප්පත් පවුල් ලක්ෂ 11ක ලයිට් කපල තියෙනවා. ලයිට් කපනවා කියන්නේ එතනින් එහාට කතා කරන්න දෙයක් නැනේ. සම්පූර්ණ ජන ජීවිතය වෙනස් වෙනවනේ. ඒක අන්තිමට දරුවන්ගේ අධ්‍යපනයට පවා බලපානවා. ඒ විදිහට ලයිට් කපල බදු වැඩි කරලා,දුගී දුපත් ජනතාවට ඔහු ගැන විශ්වාසය හීන වෙලා තිබෙනවා. ඔහුට ග්‍රාමීය ජනතාව ජන්දය දෙයි කියල විශ්වාස කරන්න බැහැ.අනෙක් අතට ජන්දය කල්දාන්න යොදන උපක්‍රම පිළිබඳව සමස්ත මහජනයා පසුවෙන්නේ මහත්වූ අවිනිශ්චිතභාවයකින්. මෙවැනි මහජන විශ්වසය බිඳගැනීමකින් ඔහුට ජයග්‍රහණය ලබාගැනීම දුෂ්කර වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඔවුන්ට දුෂණ චෝදනා නැහැ. එහෙම දුෂණ චෝදනා එල්ල නොවෙන්නේ බලයක් අරගෙන රටක් පාලනය කරන්න අවස්ථාවක් මීට පෙර ලැබුණේ නැති නිසා. ඒගොල්ලන්ගේ පැත්තට තරුණයෝ විශාල වශයෙන් නැඹුරු වෙනවා. ඊට හේතුව විශේෂයෙන් මෑත කාලයේ රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද අසීමිත වංචා,දුෂණ නිසා රට වැටුනා. අනාගත සිහින ඔවුන් විනාශ කළා. ඒ නිසා ඔවුන්ට දඬුවම් කරන්න ඕනේ කියන අදහසේ සිටින තරුණයින් JVP එකට සහය දක්වනවා. ඒ නිසා වංචා දුෂණ නතර කරනවා කියන ජවිපෙ ස්ලෝගන් එකට තරුණ ප්‍රජාවේ ආකර්ෂණයක් තිබෙනවා. හැබැයි ඔවුන්ගේ ජනප්‍රියභාවය දැන් අඩුවීමකුත් තියෙනවා. විදේශගත අය ගත්තොත් JVP පැත්තට ඔවුන්ගේත් යම් නැඹුරුවක් තියෙනවා. ඉගෙනගත්ත අයගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනව ජවිපෙ ගැන. දැන් මේ වෙද්දී ආරක්ෂක හමුදා ගත්තත් විශාල වශයෙන් ජවිපෙට කැමැත්තෙන් පසුවෙනවා. මොකද ඔවුන්ට මෙතෙක් පාලකයින්ගෙන් වෙච්ච සෙතක් ශාන්තියක් නැති නිසා. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙච්චර කාලයක් සෙබළුන්ව රැවටීමට ලක් කරමින්, සෙබළුන්ව අපයෝජනය කරමින් ඔවුන් රජයේ පත්වීම් තානාන්තර ලබාගත්තා. සෙබළුන්ව අමතක කළා. ඒ ප්‍රශ්නය ඔතන තියෙනවා. ඇතැමුන් හමුදාපතිවෙලා ඉන්න කාලේ සෙබළුන්ව බලාගත්තේ නැති අය දැන් කියනවා සෙබළුන්ව බලාගන්නවා කියල. ඒක වලංගු නැහැ. ඒ නිසා සෙබළුන්ගේ වැඩි නැඹුරුවක් තියෙනවා ජවිපෙ දිහාවට. නමුත් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන බහුතර ජනතාව තුළ එහෙමටම පැහැදීමක් නැහැ,. ඒ වගේම තමයි ඔවුන්ට ප්‍රායෝගික ආර්ථික සැලැස්මකුත් නැති බව නිරීක්ෂණය වෙනවා. නාස්තිය, දුෂණය නැති කළ පමණින් රට ගොඩගන්නත් බැහැ. ඒකට ආර්ථික දැක්මක්, සැලැස්මක්, ඉලක්ක හඹා යාමේ හැකියාව ඕනේ. ආර්ථිකය ගත්තම මහ බැංකුව කියන විදිහට විදේශ මුදල් එක්රැස් කිරීම, ආනයන නැවත්වීම,මුදල් අච්චු ගැසීම් නෙවයි ආර්ථිකය කියන්නේ. මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ ජන ජීවිතය ගෙනයාම සඳහා කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් ආර්ථිකය කියන්නේ. ඇත්තටම ආර්ථිකය දේශපාලකයින්ට විතරක් හසුරුවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අනුව ජවිපෙට ආර්ථිකය ගොඩගැනීමට ,රාජ්‍යතන්ත්‍රභාවය සහ රට මේ අගාධයෙන් ගොඩගැනීමට තරම් දේශපාලන පරිණතභාවයක් සහ ක්‍රමෝපායක් නැති බව නිරීක්ෂණය වෙනවා.
සජිත් ප්‍රේමදාස ගත්තොත් ඔහු වටා බුද්ධිමතුන් රාශියක්,කීර්තිමත් ආර්ථික විශේෂඥයෝ පිරිසක් ඉන්නවා. ඔහුට එම ආකර්ෂණය තිබෙන බව පෙනෙන්ට තිබෙනවා. එතුමාගේ පියා දුප්පතාගේ හිතවතා වශයෙන් ප්‍රසිද්ධියක් ලබල තියෙනවා. ඒ එක්කම සජිත් ප්‍රේමදාසත් දුප්පත් ජනතාවට සහනයක් දෙයි කියල අපේක්ෂාවක් බලපොරෝත්තුවක් තිබෙනවා. බස්නාහිර පළාත ගත්තොත් ජවිපෙට වැඩි නැඹුරුවක් වෙද්දී රටේම තිබෙන ගම් පනස්දාහ ගත්තොත් 70%ක් විතර දුප්පත්. තුන්වේල කන්නත් බැරි මට්ටමේ ඉන්නේ. ඒ ජනතාව බලාපොරොත්තු වෙනවා යම් සහනයක්. ඔවුන් දන්නවා ඒ සහනය රනිල්ගෙන් ලැබෙන්නේ නැහැ කියල. මොකද රනිල් මිනිස්සු එක්ක යාළු නැහැ. ජවිපෙ ගැන තියෙන්නේ දුෂණය, හොරකම් නතර කලත් සහනයක් දෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය. ජනතාවට සහනයක් ලැබෙයි කියන වැඩි විශ්වාසයක් සජිත් සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ඉදිරි කාලය තුළ මේ තත්ත්වයන් වේගයෙන් වෙනස්වෙන්න පුළුවන්. දේශපාලනයේ හැටි එහෙම තමයි. හැබැයි මේ සබුද්ධිකම විය යුතු මොහොතක්. මොකද අපිට සදහටම පැරලයිස් වෙන්න බැහැ. අපි රටක් විදිහට නැගිටින්න ඕනේ. ඒ අනුව එක්කෝටි හැත්තෑ ලක්ෂයක් වෙන ජන්ද දායකයින්ගෙන් වැඩි පිරිස ඉන්නේ කොයි පැත්තේද කියන එක පාඨකයාට භාර කරනවා. ඕක තමයි මට තියෙන නිරීක්ෂණය.
ආශිකා බ්‍රාහ්මණ