රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ LNW:
ඉකුත් 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ , නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදල් සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුවේ ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම මෙම නඩුවට අදාල ලේඛන මෙම සිද්ධියට අදාළව විභාග වූ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවතින නඩුවේ තිබේ නම් එම ලේඛන ද අද සිට සතියක් තුළ තම අධිකරණය රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරියට නියම කෙරුණ අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව පැවසේ. මෙම නඩුව අද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් මත කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන වලින් කොටසක් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් මෙම සිද්ධියට හා සමාන නඩුවකට අදාළ ගොනුවක පවතින බව ප්‍රකාශ කළ බව පැවසේ.
එම ලේඛන නිසියාකාරව සොයා බලා මෙම අධිකරණයට ගෙන්වා ගැනීම අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා. එම ඉල්ලීමට විත්තිකාර මහින්දානන්ද අලුත් ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විරෝධය පළ කර සිටියා. නඩුවක් පවත්වාගෙන හැම සඳහා අවශ්‍ය කරන ලේඛන 43 ක් නොමැතිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කළේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළා. ඒ අනුව අදාළ ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥ ලද්දුවේට්ටි මහතා සඳහන් කර සිටියා. එම ඉල්ලීමට විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා ද විරෝධය පළ කර සිටි බව සඳහන් වේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලපා බැලූ විනිසුරුවරයා විත්තියට සහ පැමිණිල්ලට සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් ලබාදීමේ වගකීම අධිකරණය වෙත පැවරී තිබෙන බව පැවසුවා. ඒ අනුව අදාල ලේඛන අධිකරණය වෙත කැඳවීමට තීන්දු කළ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කල බව සඳහන් වේ. එසේ කැඳවනු ලබන ලේඛනගොනු විත්තියට භාරදීම සඳහා මෙම නඩුව ක් සැප්තැම්බර් මස 4 වන දා කැඳවන ලෙසත් නියෝග කෙරුණ අතර, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ , නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදල් සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත.
