Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය

සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි එහෙම කරන්නේ සාක්ෂි මත පදනම් වූ විනිශ්චයන් අනුව මිසක් ඇදහීමක් විදිහට නෙමෙයි.

ලංකාවේ ආර්ථිකය හා සම්බන්ධ බොහොමයක් ප්‍රශ්න වලට හේතුව නිදහස් වෙළඳපොළට බාධා කිරීම බව ඉතා පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. හැබැයි නිදහස් වෙළඳපොළ කියා කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දෙන කෝකටත් තෛලයක් නෙමෙයි. නිදහස් වෙළඳපොළ විසඳුම හොඳම විසඳුම නොවන අවස්ථා හා තත්ත්වයන් ඕනෑ තරම් තිබෙනවා. මේවා ගැන කතා කරන්න මම වැඩි බරක් නොතියන්නේ ලංකාවේ පවතින සන්දර්භය තුළ බොහෝ විට එහෙම කරන එක වෙළඳපොළ විරෝධීන්ට පනින්න ඉනි මං බැඳීමක් පමණක්ම වන නිසා.

ඉකොනොමැට්ටා නමින් වියුණු පටන් ගත් තැන් සිට බොහෝ විට සිදු වුනේ වෙළඳපොළ විරෝධීන් සමඟ ගැටෙමින් ඔවුන්ට පිළිතුරු දෙන්නයි. අන්තවාදී ලෙස වෙළඳපොළ අදහන අය කවුරු හෝ හමු වුනානම් මම ඒ අයටත් පිළිතුරු දෙනවා. ඇමරිකාව වැනි රටක එවැනි අය අඩු නැතිව හිටියත්, ලංකාවේ එහෙම අය නැති තරම්. ලංකාවෙන් හැම විටම වගේ හමු වුනේ සමාජවාදීන් විසින් කාලයක් තිස්සේ ඔලු සේදීම නිසා වෙළඳපොළ විරෝධීන් වූ අයයි.

හැබැයි මේ වෙද්දී මෙය කියවන බොහෝ දෙනෙකුට වෙළඳපොළ ගැන යම් විශ්වාසයක් තියෙනවා. ඇතැම් අයට දැඩි විශ්වාසයක් තියෙනවා. මෙවැනි ඇතැම් අයෙකු විශ්වාස කරන්නේ විණිමය අනුපාතය පා කිරීම මේ මොහොතේ ලංකාව මුහුණ දෙන විදේශ විණිමය හිඟයට විසඳුමක් බවයි. මේ ලිපියේ අරමුණ එය එසේ නොවන්නේ ඇයි කියන එක පහදා දීමයි.

වැඩිදුර යන්න කලින් මේ ටික නැවත මතක් කළ යුතුයි. මා විසින් හඳුනා ගන්නා පරිදි, ලංකාවේ ආර්ථික අර්බුදයට මූල හේතුවක් වන්නේ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය නොකිරීමයි. රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ ඇතැම් වකවානු වල පවා මගේ අදහස වූයේ එය තව දුරටත් අවප්‍රමාණය විය යුතු බවයි. අනාගතයේ සිදු විය යුතු දේ සේ මා දකින්නේද රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වීමට ඉඩ හැරීමයි.

එහෙත් මේ මොහොතේ මහ බැංකුවේ උපාය මාර්ගය වී තිබෙන ඩොලරයක මිල පාලනය කිරීම හා එයට අනුපූරක ලෙස ආනයන පාලනය කිරීම වෙනුවෙන් මා පෙනී සිටිනවා. පවතින තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වන තුරු විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ හැරීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්.

මා මේ අදහස පළ කරන්නේ වෙළඳපොළ විරෝධියෙකු ලෙස නොව ඉල්ලුම් සැපයුම් ආකෘතිය තුළම සිටිමිනුයි. ඉල්ලුම් සැපයුම් ආකෘතිය අවබෝධ කර ගැනීම යනු එය කට පාඩමින් මතක තබා ගැනීම නෙමෙයි. අදාළ යාන්ත්‍රනය තේරුම් ගැනීමයි. දැන් මම මේ මොහොතේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොහැරිය යුතු ඇයි කියන එක ඉල්ලුම් සැපයුම් ආකෘතිය මගින්ම පැහැදිලි කරන්නම්.

කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල නිදහසේ තීරණය වීමට ඉඩ දීම මගින් එම පරතරය නැති කළ හැකියි. එය එසේ වන්නේ මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වීමත්, මිල ඉහළ යද්දී සැපයුම වැඩි වීමත් යන දෙකෙන් අඩු වශයෙන් එකක් හෝ සිදු වන නිසයි. බොහෝ විට ඔය දෙකම සිදු වෙනවා.

නමුත් අප මෙහිදී කතා කරන්නේ කිසියම් උපයෝගීතාවයක් තිබෙන පාරිභෝගික භාණ්ඩයක් ගැන නෙමෙයි. රුපියල් නෝට්ටු වලින් කිසිවෙකුට වැඩක් නැහැ. රුපියල් නෝට්ටු වලට ඉල්ලුමක් ඇති වන්නේ රුපියල් නෝට්ටු සමඟ හුවමාරු කර උපයෝගීතාවයක් තිබෙන පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් ලබා ගත හැකි නිසයි. මේ කතාවම ඩොලර් ඇතුළු අනෙක් විදේශ ව්‍යවහාර මුදල් වලටත් අදාළයි.

රුපියල් සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගත හැක්කේ ලංකාව ඇතුළේදී පමණයි. එහෙත් ලෝකයේ බොහෝ රටවල් වලදී ඩොලර් සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගත හැකියි. මේ හේතුව නිසා ඩොලර් ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන එක තරමක් සංකීර්ණයි. නමුත්, ප්‍රශ්නයේ අනෙක් අන්තයෙන් අල්ලා ගත් විට එය වඩා සරල වෙනවා.

අපේ මුල් ප්‍රශ්නය රුපියලට සාපේක්ෂව ඩොලරයක මිල ඉහළ යන්න දීමෙන් ඩොලර් හිඟය මග ඇරෙයිද කියන එකයි. මේ ප්‍රශ්නයම අපට ඩොලරයට සාපේක්ෂව රුපියලක මිල පහළ යන්න දීමෙන් ඩොලර් හිඟය මග ඇරෙයිද කියා අහන්නත් පුළුවන්. දැන් අප කතා කරන්නේ රුපියලක මිල ගැන නිසා අදාළ වන්නේ රුපියල් ඉල්ලුම හා සැපයුමයි. කිසියම් මිලකදී රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වේනම් ඩොලර් හිඟයක් නැහැ.

සාමාන්‍යයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලක මිල පහළ යද්දී (රුපියලට සාපේක්ෂව ඩොලරයක මිල ඉහළ යද්දී) රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. රුපියල් සැපයුම තීරණය කරන්නේ බොහෝ දුරටම මහ බැංකුව විසින් නිසා, මේ වැඩේ වෙන්නනම් සැපයුම හා ගැලපෙන තරමට ඉල්ලුම ඉහළ යා යුතුයි.

දැන් තියෙන්නේ රුපියල් කොයි තරම් ලාබෙට විකිණුවත් මේ වැඩේ නොවෙන තත්ත්වයක්. රුපියල් සැපයුම ඒ තරම්ම වැඩියි. නමුත්, රුපියල් නිකම්ම වගේ දුන්නත් ඉල්ලුම මීට වඩා ගොඩක් වැඩි වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයකට කියන්නේ “මුල්ලේ විසඳුමක් (corner solution)” නැත්නම් “මුල්ලේ සමතුලිතතාවක්” කියලා. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය එකිනෙක හරහා යන්නේ බිංදුවට පහළින්. නමුත්, මිල බිංදුවට වඩා අඩු වෙනවා කියන්නේ රුපියලට කිසිම වටිනාකමක් නැති වෙලා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් භාණ්ඩ වෙළඳපොලක වුනත් ඇති වෙන්න පුළුවන්. දැන්නම් එළවලු ගිණි ගණන්. හැබැයි සමහර කාල වකවානු වල දඹුල්ල පැත්තේ ගොවියෝ තක්කාලි, වට්ටක්කා වගේ දේවල් විකුණගන්න බැරුව ගෝනි පිටින් විසි කරනවා. හේන් වල වට්ටක්කා කුණු වෙන්න අරිනවා. ඒ වෙන්නෙත් ඔය කියන කතාවමයි. තක්කාලි කිලෝවක මිල රුපියල් පහක් පමණ දක්වා අඩු කළාට පස්සෙත් තක්කාලි විකිණෙන්නේ නැත්නම්, මිල රුපියල් දෙකක් කරලා වැඩක් නැහැ. රුපියල් දෙක කළා කියලත් ඔය මුළු තොගයම විකිණෙන්නේ නැහැ.

ආර්ථික විද්‍යා උපාධි නැතත්, පිටකොටුවේ වෙළෙන්දෝ ඔය ටික දන්නවා. දඹුල්ලේ තක්කාලි කුණු වෙද්දී වුනත් පිටකොටුවේ තක්කාලි මිල ලොකුවට අඩු නොවෙන්නේ ඔය හේතුව නිසා. එහෙම නැතුව පිටකොටුවේ තොග වෙළෙන්දන්ගේ මාෆියාවක් නිසා නෙමෙයි. ගාණ අඩු කළා කියලා වැඩියෙන් තක්කාලි විකිණෙන්නේ නැති බව (ඉල්ලුම වැඩි වෙන්නේ ඉතා සුළු වශයෙන් පමණක් බව) පිටකොටුවේ වෙළෙන්දෝ පළපුරුද්දෙන් දන්නවා. ඔවුන් කරන්නේ දැන් මහ බැංකුව කරන වැඩේම තමයි. ලාබ කළා කියලත් වැඩියෙන් විකුණන්න බැරි බව පැහැදිලි නිසා මිල තියෙන මට්ටමේම තියා ගෙන ඉන්නවා.

කලාතුරකින් වෙන දෙයක් වුනත්, මේ වගේ වෙලාවක වෙන්නේ පවතින මිල තුළ පාරිභෝගික ඉල්ලුම සංතෘප්ත වීමක්. එතැනින් එහාට මිල අඩු කළා කියලා ඉල්ලුම ඉහළ යන්නේ නැහැ. ඉල්ලුම නොවෙනස්ව තියෙද්දී සැපයුම වැඩි වීමෙන් අතිරික්තයක් ඇති වෙන එක විතරයි වෙන්නේ. රුපියල් වෙළඳපොළේ දැන් වෙලා තියෙන්නෙත් ටිකක් ඔය වගේ වැඩක්.

තක්කාලි වලටම ගියොත්, රටේ තක්කාලි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය විසින් ගොවීන් විසින් නිපදවන හැම තක්කාලි කිලෝවකටම රුපියල් සීයක සුබසාධනයක් කළා කියලා හිතමු. දැන් ගොවියෙක් තක්කාලි කිලෝ පහක් නිපදවලා රජයට වාර්තා කළ ගමන්ම රජයෙන් රුපියල් පන්සීයක් දෙනවා. ඔය වගේ සහනයක් දුන්නොත් ගොඩක් ගොවීන් අනිවාර්යයයෙන්ම තක්කාලි වවන්න පෙළඹෙනවා. තක්කාලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ යනවා. පාරිභෝගිකයන්ට ලාබෙට තක්කාලිත් ලැබෙනවා. තක්කාලි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් තුන්සීයනම් ඔය මිල දෙසිය පනහක් පමණ දක්වා අඩු වෙනවා.

දැන් ඔය සහනාධාරය රුපියල් තුන්සීයක් කළොත් මොකද වෙන්නේ? හැම ගොවියෙක්ම වගේ අනෙක් වගා අත ඇරලා තක්කාලි වවන්න පටන් ගන්නවා. තක්කාලි නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යනවා. බැලූ බැලූ අත තක්කාලි. මිල හොඳටම අඩු වෙනවා. රජයෙන් කිලෝවකට රුපියල් තුන්සීයක් ලැබෙන නිසා ගොවීන්ට තක්කාලි වවලා නිකම් දුන්නත් ලාබයි. ඔය වගේ තත්ත්වයක් යටතේ, තක්කාලි කිලෝවක මිල රුපියල් විස්සක් දක්වා අඩු වුනාට පස්සේ රටේ පාරිභෝගිකයින්ගේ තක්කාලි ඉල්ලුම මුළුමනින්ම සංතෘප්ත වෙන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි තැන් තැන් වල කුණු වෙන්න පටන් ගන්නවා. මිල රුපියල් දහය කළා කියලා ඔය ඉතිරි තක්කාලි ටික විකිණෙන්නේ නැහැ. අර සහනාධාරය තිබෙන තුරු තක්කාලි සැපයුම අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා තක්කාලි විකුණගන්න බැරි ප්‍රශ්නයත් එහෙම්මම තියෙනවා. මිල යාන්ත්‍රණයට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

තක්කාලි මල්ලක් වෙනුවට අපි රුපියලේ කාසි දාහක් දමපු මල්ලක් ගැන හිතමු. නිදහස ලබන කළේ ලංකාවට ඔය මල්ල ඩොලර් 210කට වගේ විකුණන්න පුළුවන්කම තිබුණා. මහ බැංකුව ඔය වගේ මලු හද හදා විදේශිකයින්ට විකිනුවා. කාලයක් යද්දී ඔය රුපියල් මල්ලක් ඔය ගානට විකුණන්න බැරි වුනා. ටිකක් විකිණෙනවා. හදන තරමට විකිණෙන්නේ නැහැ.

ඔය වගේ වෙලාවක වෙළෙන්දෙක් කරන සාමාන්‍ය දෙය මිල අඩු කරන එකනේ. මහ බැංකුවත් ඒක කළා. ඩොලර් 210ට විකුණන්න බැරි මල්ල මිල අඩු කළාම විකුණන්න පුළුවන් වුනා. හැබැයි ඒ අඩු කළ මිලට වුනත් විකුණන්න පුළුවන් රුපියල් මලු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා රුපියල් මලු වෙළඳපොළට දමන හැම වෙලාවකම රුපියල් මල්ලේ මිලත් අඩු කරන්න වුනා. නැත්නම් විකුණගන්න බැහැ.

පහුගිය මාර්තු මාසේ වෙනකම් ඔය මල්ලක් ඩොලර් පහ ගානෙනේ විකිණුවේ. රුපියල් දෙසීයක් ඩොලර් එකයි. දාහක් ඩොලර් පහයි. හැබැයි හදපු මලු ප්‍රමාණය ඒ ගාණට විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් මිල දෙකයි හැත්තෑ පහකට විතර බස්සලා විකුණනවා. ඒත් ගන්න කෙනෙක් නැහැ. ඕනෑ කරන කෙනෙකුට ඔය මල්ලක් පිටින් දෙකයි පණහට ගන්නත් පුළුවන්.

කඩේ රුපියල් මලු ගොඩ ගැහිලා. “රුපියල් ගොවියා” ගොඩට තව තව රුපියල් මලු එකතු කරනවා. මිල තවත් පහත වැටෙන බව හොඳටම පේන නිසා හදිස්සියක් නැත්නම් ඕනෑ කරන කෙනෙක් වුනත් ඔය මල්ලක් ගන්නේ දෙපාරක් හිතලා. දෙකයි හැත්තෑ පහට විකුණ ගන්න බැරි ඉතිරි වෙලා තියෙන ඔය රුපියල් මලු ටික සත පණහ ගානේ දුන්නත් විකුණන්න බැහැ. ඉල්ලුම සංතෘප්ත වෙලා ඉවරයි.

මේ කතාව රූප සටහන් ඇසුරෙන් තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්. 1A රූප සටහනේ තියෙන්නේ සාමාන්‍ය ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව පෙන්වන ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. රුපියල් 1000ක මිල ඩොලර් 2.77ක් ලෙස (ඩොලරයක් රුපියල් 360 ලෙස) තියෙද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ. ඉල්ලුම අඩුයි. සැපයුම වැඩියි. මේ දෙක අතර පරතරයක් තිබෙනවා. ඒ කියන්නේ වෙළඳපොළේ රුපියල් අතිරික්තයක් තියෙනවා. කවුරුවත් මේ රුපියල් මලු ටික ඩොලර් දීලා මිල දී ගන්නේ නැහැ.

ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පිහිටා තියෙන්නේ 1A රූප සටහනේ පෙන්වන විදිහටනම් මිල බාගෙට බාගයක් අඩු කළාම ඔය නොවිකිණෙන රුපියල් ටිකත් විකුණා ගන්න පුළුවන්. ඒ කියන්නේ, රුපියල් 1000ක මිල ඩොලර් 1.38 දක්වා බහිද්දී (ඩොලරයක මිල රුපියල් 720 වෙද්දී) ඉල්ලුම හා සැපයුම සමාන වෙනවා. රුපියල් අතිරික්තය (ඩොලර් හිඟය) නැති වෙනවා. වෙළඳපොළ ගැන විශ්වාසය තියන ගොඩක් අය රුපියල පා කළ යුතුයි කියා කියන්නේ ඔය වැඩේ වෙයි කියා හිතාගෙන. මොකද ඕක තමයි ගොඩක් අයට හුරු පුරුදු සාමාන්‍ය පාඨ ග්‍රන්ථ ඉල්ලුම් සැපයුම් ආකෘතිය (text book model).

නමුත් කවර හෝ හේතුවක් නිසා 1B රූප සටහනේ පෙන්වන තරමට සැපයුම් වක්‍රය දකුණට විතැන් වුනොත් මොකද වෙන්නේ? දැන් රුපියල් 1000ක මිල ඩොලර් 0 දක්වා අඩු කළත් ඉල්ලුම හා සැපයුම අතර කිසියම් පරතරයක් තිබෙනවා. ඒ කියන්නේ, වෙළඳපොළ සමතුලිත වෙන්න කලින් රුපියලේ වටිනාකම ශුන්‍ය වෙලා යනවා.

රූප සටහනක් මගින් හරි, උදාහරණයක් මගින් හරි පැහැදිලි කළා කියලත් ඔය වගේ දෙයක් වෙනවාම කියලා කියන්න බැහැනේ. මෙහෙම දෙයක් වෙන බව පෙන්වන්න පුළුවන් මීට වඩා හොඳ විදිහක් නැද්ද?
රුපියල් ඉල්ලුම එන්නේ කොහෙන්ද? කාට හරි රුපියල් ඕනෑ වෙන්නේ ලංකාව ඇතුළෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න. දැන් අපි කතා කරන්නේ ඩොලර් (හෝ වෙනත් විදේශ මුදලක්) දීලා ඔය වැඩේට රුපියල් මිල දී ගන්න හොයන අය ගැන. ලංකාවෙන් භාණ්ඩ හා සේවා ආනයනය කරන විදේශිකයෝ මේ ගොඩේ ඉන්නවා. ඒ අයට අවශ්‍ය දේවල් ලංකාවේ හැදෙන තරමට මේ ඉල්ලුම ඉහළ යනවා. හැබැයි ඒ අයට ඔය භාණ්ඩ හා සේවා මිල දී ගන්න තියෙන එකම වෙළඳපොළ ලංකාව නෙමෙයි. ඒ නිසා, රුපියල් වලට ඉල්ලුමක් එන්නේ තරඟකාරී මිලකට ලංකාවේ හැදෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට පමණයි. ඒ නිසාම. මේ රුපියල් ඉල්ලුමේ උපරිම සීමාවක් තියෙනවා.

ඊළඟට ඉන්නවා ලංකාවට ප්‍රේෂණ එවන අය. ඒ අයගේ පවුල් වල අයට ලංකාව ඇතුළෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න රුපියල් අවශ්‍යයි. ඒ නිසා, මේ අය ඩොලර් දීලා රුපියල් මිල දී ගන්නවා. මේකෙත් උපරිම සීමාවක් තිබෙනවා. මේ කොටස් දෙකම එකතු කළාම මාසයකට ඩොලර් මිලියන 1,500ක පමණ මුදලක් ගෙවා රුපියල් මිල දී ගැනීම සඳහා ඉල්ලුමක් තියෙනවා. රුපියලක මිල පහළ යද්දී විකිණෙන රුපියල් ප්‍රමාණයත් වැඩි වන නමුත් රුපියල් ගන්න එන්නේ ඔය කියපු සීමිත පාරිභෝගිකයෝ ටිකම තමයි. රටේ මූර්ත ආර්ථිකයේ වෙනසක් වෙන්නේ නැතිව ඊට වඩා රුපියල් විකුණන්න බැහැ. මිල අඩු වෙද්දී පිටින් එන ඉල්ලුම යම් තරමකින් ඉහළ යා හැකි වුවත් රටේ අපනයන භාණ්ඩ නිෂ්පාදනය ක්ෂණිකව විශාල ලෙස ඉහළ යන්නේ නැහැ.

දැන් ඔය විදිහට රුපියල් ඉල්ලන අයට රුපියල් සපයන්නේ කවුද? ලංකාව ඇතුළේ ඉන්න විදේශ වල නිපදවන භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය අය. මෙහෙම අය ඕනෑ තරම් ඉන්නවා. මොකද ලංකාවේ අය මිල දී ගන්න කැමති විදේශ වල නිපදවන භාණ්ඩ හා සේවා කිවුවහම ඕකේ සීමාවක් නැහැ. අතේ ඩොලර් තියෙනවානම් ගන්න බඩු ඕනෑ තරම් රටින් පිට තියෙනවා. අතේ රුපියල් තියෙන තරමට සහ ඩොලර් එකේ මිල අනුව ඩොලර් මිල දී ගැනීම සඳහා වන රුපියල් සැපයුමත් ඕනෑ තරම් ඉහළ යන්න පුළුවන්.

විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙන්න ඉඩ ඇරියහම වෙන්නේ රුපියල් ඉල්ලුමට සමාන වෙන විදිහට රුපියල් සැපයුම සීමා වෙන එක. ඩොලරයක මිල ඉහළ ගිහින්, ඩොලර් ගන්නවට වඩා රටේ හදන බඩු ගන්න එක ලාබ වෙද්දී ඩොලර් ගන්න රුපියල් විකුණන එක නවතිනවා. ඒ වගේ සමතුලිතතාවයකදී රුපියල් දී ඩොලර් ගන්න අවශ්‍ය තරමටම රුපියල් වලට ඉල්ලුමක් තියෙනවා. ඒ නිසාම, රට ඇතුළේ තියෙන ඩොලර් ඉල්ලුමට සමාන ඩොලර් සැපයුමකුත් තියෙනවා.

මේක ඩොලර් වලින් කිවුවොත් ඩොලරයක මිල කීය වුවත් රටට එන අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ නිසා ඩොලර් ප්‍රමාණය එක්තරා සීමාවකින් එහාට යන්නේ නැහැ. ඩොලරයක මිල ඉහළ ගිහින් ආනයන ඉල්ලුම ඒ මට්ටමේ නවතිනවා. වැඩේ ගොඩ!

දැන් මේ වෙලාවේ මේ වැඩේ නොවෙන්නේ ඇයි?

අපි නිකමට හිතමු ඩොලරයක් රුපියල් 3,600 දක්වා දහ ගුණයකින් ඉහළ ගියා කියලා. ඒ එක්කම රටේ ආනයනික භාණ්ඩ හැම එකකම මිලත් දහ ගුණයකින් ඉහළ ගිහින් ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. හැබැයි ඒ කියලා ලංකාවේ මිනිස්සු ආනයනික භාණ්ඩ ගන්නෙම නැතුව ඉඳියිද?

ඒක වෙන්නේ නැහැ. මිල කීය වුනත් ගන්න අතේ සල්ලි තිබෙන යම් පිරිසක් ඉන්නවා. ඒ වගේම දුප්පතෙකුට වුනත් ඉන්න ගේ දොර විකුණලා හරි මිල දී ගන්න වෙන දේවලුත් තියෙනවා. ඒ නිසා, ඩොලරයක මිල දහ ගුණයකින් ඉහළ ගියත් යම් ආනයන ඉල්ලුමක් රට ඇතුළේ තියෙනවා. ඒ සඳහා ඩොලර් මිල දී ගැනීමට රුපියල් විකුණන පිරිසකුත් ඉන්නවා.

දැන් මාසෙක ආනයන ඉල්ලුම ඩොලර් 1,200 පමණ මට්ටමට අඩු වෙලානේ. ඕකෙන් බාගයක්වත් අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය විය යුතුයි. ඒ ආනයන ටික කොහොමටත් අඩු වෙන්නේ නැහැ. ඉතිරි අත්‍යවශ්‍ය ආනයනය ටික ඩොලර් 400 දක්වා අඩු වුනා කියා අපි හිතමු. ඒත් මාසයකට ඩොලර් බිලියනයක්. අනෙක් පැත්තෙන් අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් 1,500ක් ආවොත් ඩොලර් 500ක් වැඩිපුරත් තියෙනවා.

කතාව මෙතැනින් ඉවරනම් 1A රූප සටහනේ ආකෘතිය ගැලපෙනවා. ඩොලරයක මිල ඔය තරම්ම ඉහළ යන්න කලින් වැඩේ නවතිනවා. නමුත්, මේ අවස්ථාවේ තිබෙන තත්ත්වය අනුව රුපියල් සැපයුම එන්නේ ආනයන ඉල්ලුමෙන් විතරක් නෙමෙයි.

ලංකාව ණය ගෙවන එක අත් හිටවලා කියලා කාටත් මතකයිනේ. ඩොලර් බිලියන පණහක හැටක ණය ආපහු ගෙවන්න තියෙනවා. ඔය ණය ටික ඔක්කොම කොහොම වෙතත් සැලකිය යුතු කොටසක් සාමාන්‍ය මිනිස්සු දුන්න වාණිජ ණය. එහෙම නැත්නම් බැංකු තැන්පතු. අපි බිලියන පණහෙන් විසිපහක් අයින් කරලා විසි පහක් ඔය ගොඩට දමමු. ඔය ණයකාරයෝ ටික බලා ඉන්නේ තමන්ගේ සල්ලි ආපහු ගන්නේ කොයි වෙලාවෙද කොහොමද කියලා.

ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම අත් හිටෙවුවත්, ඩොලර් වලින් නැතුව රුපියල් වලින් ගන්නවනම් ණය ආපහු ගෙවනවා කියලයි කියල තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය ජූලි 25 ගෙවන්න තිබුණු ඩොලර් බිලියනය සහ එහි පොලිය ඩොලර් වලින් නැතුව රුපියල් වලින් ගන්නවානම් රජය එම මුදල ගෙවන්න සූදානම්. ඔය වගේ තව ණය තිබෙනවා. ඔහොම කිවුවට කවුරුවත් රුපියල් නොගන්නේ ඒ රුපියල් ඩොලර් වලට මාරු කරලා රටින් ගෙනියන්න විදිහක් නැති නිසා. එහෙම පුලුවන්නම් කවුද රුපියල් නොගන්නේ?

දැන් අපි හිතමු රුපියල පා කළා කියලා. ඩොලර් ගෙවලා රුපියල් මිල දී ගන්න ඉන්නේ අපනයනකරුවෝ ටික සහ ශ්‍රමික ප්‍රේෂණ එවන අය විතරයි. රුපියල් විකුණලා ඩොලර් ගන්න බලාගෙන ආනයනකරුවන්ට අමතරව ණයකාරයෝ ටික ඉන්නවා. ඒ අය කාක්කෝ වගේ බලාගෙන ඉන්නේ තමන් අතේ තිබෙන හෝ ඉදිරියේදී ලැබෙන්නට නියමිත රුපියල් ටික දීලා ඩොලර් ගන්න. යම් හෙයකින් ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගිහින් ආනයන ආදායම් + ශ්‍රමික ප්‍රේෂණ සහ අපනයන වියදම් අතර ගනුදෙනු වලින් යම් ඩොලර් අතිරික්තයක් ආවත් ණයකාරයින්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඊට වඩා වැඩියි.

ඩොලරයක මිල අහස උසට නැගලා රටේ ආනයන මුළුමනින්ම නැවතුනත් අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ විදිහට මාසයකට ඩොලර් බිලියනයකට වඩා රටට එන්නේ නැහැ. මොකද අපනයන ටික කරන්නම යම් ආනයන ප්‍රමාණයක් කරන්නත් වෙනවනේ. ඒ ඩොලර් ටික කොහොමටත් නැවත රටින් එළියට යනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඩොලරයක මිල රුපියල් ලක්ෂයට ගියත් අවුරුද්දකට ඩොලර් බිලියන දොළොස්දාහකට වඩා විණිමය වෙළඳපොළට එන්නේ නැහැ. නමුත් ආපහු ගන්න බලාගෙන ඉන්න ණය ටික ඒ වගේ කිහිප ගුණයක්. ඒ නිසා ඩොලර් එක කීයට ගියත් ඩොලර් හිඟය නැති කරන්න බැහැ.

මේක IMF එකෙන් ඩොලර් බිලියන තුන හතරක් අරගෙන ගොඩදාන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. එහෙම කරලා ණයකාරයෝ ටික පැත්තකට කරන්න වෙනවා. රුපියල පා කිරීමක් ගැන හිතන්නවත් පුළුවන් ඒක කළාට පස්සේ විතරයි.

මේ විදිහට මේ කතාව කිවුවත්, නොකියපු කොටසක් තිබෙනවා. ඒ මූර්ත වත්කම් වල බලපෑම. රටේ මූර්ත වත්කම් විදේශිකයින්ට මිල දී ගන්න බාධාවක් නැත්නම් ඒ හරහා මේ වෙළඳපොළ සමතුලිත වෙන්න පුළුවන්. ඒ ගැන වෙන ලිපියකින් කතා කරමු.

ඉකොනොමැට්ටා

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.