පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් ඊයේ (10) දිනයේදී අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් සඳහන් කළේ ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නොවන බවයි.
“ස්වාමීනි, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ කිසිදු පුද්ගලයෙකු ආගමික හෝ ජාතික පදනම යටතේ වෙනස්කම්වලට භාජනය නොකළ යුතු බව දක්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙනවා, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න එම තනතුරුවලට පත්කරන ලෙස ඉල්ලා සිටියේ, කාදිනල් තුමා බවට. ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නෑ. ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අය බව ඔවුන් විසින් ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම්වල සඳහන් කර තිබෙනවා. ඔවුන් එම දිවුරුම් පෙත්සම්වල සඳහන් කර තිබෙනවා, තමන් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයට සම්බන්ධව කටයුතු කළ බවට. මෙවැනි පුද්ගලයින් මේ විමර්ශනය සිදු කරන්නේ කොහොම ද? ජනක් ද සිල්වා කොමිසම නිර්දේශ කර තිබෙනවා, අපරාධ විමර්ශන කටයුතුවලට දේශපාලන මැදිහත් වීම් සිදුකිරීම නුසුදුසු බවට. අධිකරණයේ ස්වාධීනත්වය මෙන් ම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් සිදු නොවීය යුතු බවත් එම කොමිසම සඳහන් කර තිබුණා. එය නිවැරදි යි. අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවුණා. දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේදී මහා නායක හිමිවරු රජයෙන් ඉල්ලා සිටියේ නෑ, තමන් කැමති විමර්ශකයන් එම විමර්ශනය සඳහා පත් කරන ලෙසට. මම කාදිනල්තුමාගේ අතරමැදි පෙත්සමට විරෝධය පළකරන්නේ නෑ”
“පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල වීමට පෙර ඒ පිළිබඳව කලින් ම තොරතුරු ලැබී තිබුණා. ඒත් එය වළක්වා ගැනීමට වගඋත්තරකරුවන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නෑ.. මාවනැල්ල බුදුපිළිමවලට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගන්නා ලෙස විමර්ශකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ඉල්ලා තිබුණා. නමුත් ඊට අවශ්‍ය පියවර ගත්තේ නැහැ”
මෙහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි. කාදිනල් හිමියන් හැර අනෙකුත් අතරමැදි පෙත්සම්කරුවන් සියලු දෙනා පැමිණ තිබෙන්නේ සුරෙෂ් සලේට සහාය පළකිරීම සඳහා බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් සිය නීතිමය ස්ථාවරය මීළඟ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කළාය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම සහ ඊට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල නැවත සලකා බැලීම සඳහා ලබන 25 වන දා කැඳවන ලෙසයි නියම කළේ.


