සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) : හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් මහතා දැයෙන් සමුගෙන (12)අදට වසර විස්සක් ගතවෙයි. ආරක්‍ෂක හමුදාව ගොඩබිම සටන් කර එල්.ටී.ටී.ඊ පරාජය කරන විට කදිරගාමර් මහතා ජාත්‍යන්තරය සමග සටන් කොට එල්.ටී.ටී.ඊ සංවිධානය බටහිර ලෝකයේ තහනම් සංවිධානයක් ලෙසට ප්‍රකාශයට පත්කරවා ගත්තේය. එනිසා ලක්‍ෂමන් කදිරගාමර් මහතා ශ්‍රී ලංකික ජාතියට ණය නැති අනුපමේය සේවයක් කළ දේශපාලන නායකයෙකි. වර්ථමානයේ නොයෙක් චෝදනා වලට හිරේ විලංගුවේ වැටෙන මැති ඇමතිවරුන් දුටු විට ලක්‍ෂමන් කදිරගාමර් මහතා සුපිරිසිදු චරිතයක් ලෙස කට පුරා කිවහැකිය.
1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ පළමු කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කල හෙතෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත්විය.
1932 යාපනයේ මානිපායි හිදී උපත ලැබූ ලක්‍ෂමන් කදිරගාමර්ට අවුරුදු 7 දී සිය මව අහිමිවිය. එතැන් පටන් ඔහු හැදී වැඩුනේ මවගේ වැඩිමහල් සොයුරිය ඊස්වරී සමගය. කොළඹ ටික කලක් ජීවත් වීමෙන් පසු සිය ලොකු අම්මාගේ ස්වාමීපුරුෂයාට මාතලේ ස්ථාන මාරුවක් ලැබීම නිසා පුංචි කදිරගාමර් ප්‍රාථමික අධ්‍යාපනය ලැබෙන්නේ මාතලේ සී.එම්.එස්. විදුහලෙන්ය. ඉන්පසු ද්වීතීය අධ්‍යාපනය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ලබා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා ද වෙයි.
දක්ෂ මලල ක්‍රීඩකයෙකු රගර් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කදිරගාමර් මහතා විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ඉසිලීය. අනතුරුව පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් නීතිය පිලිබඳ ගෞරව උපාධිය ලබා නීති විද්‍යාලයට ඇතුලු වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය. අනතුරුව නීතීඥයෙකු ලෙස කටයුතු කරමින් දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලැබුණු ශිෂ්‍යත්වක් මත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුලුවෙයි. එහිදී 1958 ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට පත්වෙන හෙතෙම ශ්‍රී ලංකාවට පැමිණ නීතීඥ වෘත්තියේ යෙදුනි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 බලයට පත්වීමත් සමග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වී මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී චන්ද්‍රිකා රජයේ පළමු කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍යවරයා ලෙස පත්විය. වර්ෂ 2001 මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජය බිද වැටීමෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලක්‍ෂමන් කදිරගාමර් මහතාගේ ආරක්ෂාව සදහා දී තිබූ නිල නිවාස යාන වාහන ආරක්ෂක හමුදා භට සංඛ්‍යාව බිදකින් හෝ අඩු නොකලේ ඔහුට එල්.ටී.ටී.ඊ යෙන් තිබූ තර්ජන හේතුවෙනි. මියයන තුරුම විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කල හෙතෙම 2005 අගෝස්තු 12 වෙනිදා සිය පෞද්ගලික නිවාසයේ පිහිනුම් තටාකයට පැමිණ පිහිනුම් කටයුතු වල යෙදී ගොඩට පැමිණි මොහොතේ යාබද නිවසේ උඩු මහලේ සැඟවී සිටි එල්.ටී.ටී.ඊ ස්නයිපර් ප්‍රහාරකයෙකුගේ වෙඩි පහරවල් වලට ගොදුරු විය. ඉන් බරපතල තුවාල ලැබූ හෙතෙම එදිනම රාත්‍රියේ දැයෙන් සමුගත්තේය.
පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ගේ සිත් දිනා සිටි ඒ මහතා රටට ණය නැති දේශපාලඥයෙකි. වරක ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් කෙනඩි මෙසේ පවසා තිබුනි. “රටෙන් යමක් ගන්නට පෙර රටට යමක් දෙන්න“. මේ අනුව කදිරගාමර් මහතා රටට දී ඇති දේ බෙහෙවින් ප්‍රමාණවත්ය. අද ශෝකීවන එතුමාගේ බිරිඳ සහ දූ දරුවන් සමග අපිත් ශෝකවෙමු.