අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

Date:

“අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්.”

බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර කොළු නඩයක එකෙකු මා හා කියද්දී අපි දැළි රැවුලවත් වැවී නැත්තෝය. අපේ ආතාගේ බහට අනුව නම් ටික්කිරි කොල්ලෝය.

යොහාන් අයියා උසය හීන්දෑරීය. අක්බිඟු හිසකේ උර අසබඩට වැවී තිබුණි. ඇතැම් දවසක උරයේ එල්ලාගත් ගිතාරය බහා ලූ මල්ලකි.

අපි හන්දියේ ක්‍රිකට් ගහද්දී උගේ සිංදු කැසටයක් ළඟ ගෙදරක වාදනය විය. අපි ඒවා අසමින් බෝල ඇහින්දෙමු. මාළිගේ මා මැවූ, බන්දා කාට හෝ, නොසැලෙන්න කඳුළක් දෑසින්, වැනි මනරම් ගී ඒවා අතර විය.

මේ රස්තියාදුකාර ගායකයාගේ රුව දිස්වුණු පාරවල අලවා තිබු සංගීත සංදර්ශන පෝස්ටර්වල ඔහුගේ නමද නිතර දැක ගත්තෙමි. හැබැයි තමන්ගේ උන් වටින්නේ නැති ඌවට, බණ්ඩාරවෙලට, දියතලාවට යොහාන් අර්ජුනගේ අගයක් වීදැ’යි එදාද මට තිබුණේ පැණයකි. අහංකාරකමක් නැති හිත හොඳ යොහාන් නිකම් නිකම් ටොයිස් පොරක් කියා හිතපු මිනිස්සු ඒ දවස්වලද සිටියහ. එකල සංගීත සංදර්ශනවල යොහාන්ගේ නම දැක්කම මූ මොකෙක්ද බං කියන උන් සෑහෙන්න සිටියහ. ඒ ලස්සනයි සුන්දරයි මිනිස්සුන්ගේ පපු හොඳයි කියන අපේ ගම්වල ඇත්ත විදියය.

පස්සේ කාලෙක නරියාකන්දේ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් පටන් ගත්තම රූබර පයිනස් ගස් මැද්දේ යොහාන් පෙනී සිටියේය. තාවකාලිකව අටවාගත් කුඩාරම් රෙද්දක් යට බෑන්ඩ් කාරයින් දෙන්නෙක් තුන්දෙනෙක් එක්කහු කරගෙන සිංදු කියමින්ය. ඔහුට ඒවාට ගෙව්වේ කවුදැයි දන්නේ නැත. ඒවා උණට කළ අතින් කයිට් වැඩ වෙන්න ඇතිය. ඌ සිංදු කියන්නට ආසය, එච්චරය.

මං යොහාන් අයියා එක්ක කිට්ටුව කතා කළේ අපේ නලින් මියුසික් වැඩකට ඌව ගුවන්විදුලියට මෑන් අඬගහගෙන ආව දවසකය. ඒ බෑන්ඩ් එක බණ්ඩාරවෙල එකකි. ( Nalin Prasanga උඹට උන්ගේ නම් මතකද? )

පස්සේ යොහාන් අර්ජුන පෝනියෙක් මිලට ගත්තේය. එදා පටන් බණ්ඩාරවෙල ටවුමේ ඇවිද්දේ යොහාන් සහ ඒ පෝනියා එකටය. ඌ පෝනියෙක් සල්ලිවලට ගත්තේ ඇයිදැ’යි කියන්නට නම් මා අදටත් දන්නේ නැත. අන්තිමට පෝනියා ටවුමේ ඇවිද්දේ තනියෙනි. ඒ බොහෝම දුක්බර හේතුවක් නිසාය. බස් එකේ වලියක් බේරන්නට ගිහින් කවුරුහරි කුඩෙන් ඇහැට ඇනලා යොහාන් අයියා මැරුණු නිසාය. ඌ මැරුණු දවස මට මතක නැත. ඒත් අද ද ඒ සිංදු ඇහෙද්දී ඇත්තේ නොමැරුණු මතකයකි.

බණ්ඩාරවෙල මගේ මතක වපසරියෙන් සංගීත ලෝකයට ආව උන් කිහිප දෙනෙකි. ඒ නදීක ගුරුගේ, තිළිණ රුහුණගේ, සමන් ජයනාත් ජිනදාස, අමිල් තරංග, දමිත් අසංක සහ යොහාන් අර්ජුනය. දැන් යොහාන් අප අතර නැත. ඒත් බණ්ඩාරවෙල දියතලාව අපේ ගම්වල මිනිස්සු ඉස්සරට වඩා ඌට ආදරේ කරනු ඇත.

මාත් මේ සටහන ලිව්වේ වයිරල් වුණු යොහාන්ගේ පරණ වීඩියෝවක් දැකලාය. ඒ නොසැලෙන්න කඳුළක් දෑසින් සිංදුව එක්කය.

“මට ආයෙම එයාව පෙනුණා. ස්ටේෂම ඉස්සරහ. කාගිල්ස් එක ගාව, නගර සභාව ඉස්සරහ පාරේ, ඇංග්ලිකන් පල්ලිය ඉස්සරහ ඌ හිටපු තැන්වල. ඇයි අර පෝනියා තණකොළ කකා හිටපු ග්‍රවුන්ඩ් එක ගාව.”

දැන් බණ්ඩාරවෙල පට්ට පාලුය. මම ඉඳහිට කාර්ගීල්ස් එකේ උඩ කොෆී ෂොප් එකේ තනියම කෝපි බිබී ඈත බලාගෙන ඉන්නවා. මට හරි ඉඳුනිලයට හරි සල්ලි තිබ්බ දවසට සඳැල්ලට ගිහින් අඩියක් ගහනවා. සල්ලි අඩු දවසට ඉඳුනිලයයි මායි හපුතල පාරේ බාර් එකේ යට තට්ටුවට ගිහින් ගල් බාගයක් ගහනවා. (බණ්ඩාරවෙල අසංස්කෘතික බවේ එක කෑල්ලක් තමයි පිළිවෙලට බොන්ඩ තැන් හදලා නැති එක. BYOBවත්. Ravindra Bandara ඒයි, මන්ත්‍රීතුමා ලස්සනට බොන එකත් හරිම සංස්කෘතික වැඩක්. ඒ ගැනත් බලන්ඩ. බොන උන්ටත් ඡන්ද බලය තියෙනවා. චිත්‍ර කතාකරු ජනක රත්නායකට අවුරුදු විස්සකට කලින් ඩිල්කින් බාර් එක පෙන්නුවේ මම. දැන් ඒකත් වහලා.) මොක කළත් බණ්ඩාරවෙල මට දැනෙන පාළුව මකන්ඩ බෑ. සංස්කෘතිකමය හුදෙකලාවක්ද කොහෙද. බාගෙදා මට හිතෙනවා යොහාන්ටත් ඒක දැනිලා අර පෝනියා තනියට අඬගහගෙන ආවාවත්ද කියලා.

අපිට ඔයාව මතකයි යොහාන් අර්ජුන. අද ඔයා හිටියා නම් අපිට සෙට් වෙන්න තිබ්බා. එහෙනම් මං ඔයාට සිංදුවකුත් ලියනවා ….

~ ලසන්ත ද සිල්වා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...