ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාසියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. නමුත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ එය බෙදා ගන්නා ආකාරය සම්බන්ධව ක්‍රීඩකයින් දෙදෙනා එකඟ වීම. එවැනි එකඟත්වයක් නැත්නම් කාසිය කාටවත් ලැබෙන්නේ නැහැ.
මේ ක්‍රීඩාවේ ආකෘතියට සමාන ආකෘතියක් තිබෙන කතාවක් මම ගොඩක් පොඩි කාලේ අහලා තියෙනවා. ඔය කතාවේ පූසෝ දෙන්නෙක්ට කැවුමක් හම්බ වෙනවා. නමුත් පූසෝ දෙන්නාට කැවුම බෙදාගන්න බැහැ. පූසෝ දෙන්නා කැවුම බෙදාගන්න ආකාරය ගැන වාද කර කර ඉන්න තැනට වඳුරෙක් එනවා. ඔන්න දැන් වඳුරා මේ කැවුම පූසෝ දෙන්නාට බෙදා දෙන්න ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙලා කැවුම කොටස් දෙකකට කඩනවා.
“එක කෑල්ලක් ලොකු වැඩියි!”
පූසෝ දෙන්නාගෙන් එක පූසෙක්වත් පොඩි කෑල්ල ගන්න කැමති වෙන්නේ නැහැ. වඳුරා කරන්නේ ලොකු කෑල්ලෙන් කොටසක් කඩා ගෙන ඒ කෑල්ල කුඩා කරන එක. කඩා ගත්ත කෑල්ල වඳුරාගේ බඩට.
“දැන් අනික් කෑල්ල ලොකු වැඩියි!”
දැන් මොකද කරන්නේ? වඳුරා කරන්නේ අනෙක් කෑල්ලෙනුත් කොටසක් කඩා ගෙන ඒ කෑල්ලත් කුඩා කරන එක. ඒ කඩා ගත්ත කෑල්ලත් වඳුරාගේ බඩට.
“දැන් ආයෙම අනික් කෑල්ල ලොකු වැඩියි!”
කතාවේ විදිහට කැවුම වඳුරාගේ බඩට යනකල්ම පූසෝ දෙන්නාට එකඟ වෙන්න බැරි වෙනවා.
කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවේ ප්‍රතිඵලයත් ඔය වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ක්‍රීඩකයින්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රීඩකයෝ තර්කානුකූලව හිතනවා කියලා උපකල්පනය කළොත්, අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ දෙන්නා කාසිය බෙදා ගන්න විදිහ ගැන එකඟ විය යුතුයි.
ක්‍රීඩකයෝ දෙන්නා කාසිය බෙදා ගන්න එකඟ වියහැක්කේ මොන විදිහටද? එක පාරටම ඔළුවට එන්නේ පණහට පණහ වගේ දෙයක්. නමුත් ඔය ක්‍රීඩාවේදී අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ දෙන්නා පණහට පණහ බෙදා ගන්න එකඟ වෙන්න කිසිම හේතුවක් නැහැ. එය (1, 99) සිට (99, 1) දක්වා ඕනෑම සමතුලිතතාවයක් වෙන්න පුළුවන්. ඒ ඇයි?
“අපි පණහට පණහ බෙදා ගම්මු!”
එක ක්‍රීඩකයෙක් ඔහොම යෝජනාවක් කළා කියලා හිතමු.
“නෑ. මට අඩු ගානේ හැටක් ඕනෑ. ඔයාට ඕනෑනම් හතළිහක් දෙන්නම්!”
දෙවන ක්‍රීඩකයා ඔය වගේ දෙයක් කිවුවොත් මොකද වෙන්නේ?
“ඒක අසාධාරණයිනේ! පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මම කිවුවේ සාධාරණ විදිහ.”
“මට ඔය සාධාරණ අසාධාරනකම් වැඩක් නැහැ. මට හැටක් දෙනවානම් මම වැඩේට කැමතියි. නැත්නම් නැහැ. එච්චරයි!”
දැන් පළමු ක්‍රීඩකයාට කළ හැක්කේ කුමක්ද? එක්කෝ මේ ගනුදෙනුවට කැමති වෙලා හතළිහක් ගන්න පුළුවන්. නැත්නම් ඒකත් නැහැ. ඔය තර්කය අනුව, දෙවන ක්‍රීඩකයා හැටක් වෙනුවට 99ක්ම ඉල්ලුවත්, ඉතිරි තනි කොටස භාර ගන්න වෙනවා. නැත්නම් ඒකත් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව (1, 99) සිට (99, 1) දක්වා ඕනෑම සමතුලිතතාවයක් පවතින්න පුළුවන්.
ප්‍රායෝගිකව සමතුලිතතාවය තීරණය වෙන්නේ ක්‍රීඩකයින්ගේ සාපේක්ෂ හෙට්ටු කිරීමේ දක්ෂතාවය මත. මේ ක්‍රීඩාවේදී අනෙක් ක්‍රීඩකයාව නම්මා ගන්න වෙන්නේ තමන් කිසිසේත්ම නැමෙන්නේ නැති බව අනෙක් ක්‍රීඩකයාට ඒත්තු ගැන්වීමෙන් පමණයි.
සැබෑ ලෝකයේදී තරඟකාරීත්වයක් නැති වෙළඳපොළක ගනුදෙනු සිදු වෙන්නේ ඔය විදිහට. අපි හිතමු ශ්‍රම වෙළඳපොළක් ගැන. කිසියම් කුසලතාවයක් තියෙන ශ්‍රමිකයෝ ඉන්නේ එක්කෙනෙක් පමණයි. අනෙක් අතට ඒ කුසලතාව අවශ්‍ය වෙන පාරිභෝගිකයෝ ඉන්නෙත් එක්කෙනෙක් පමණයි. ගනුදෙනුවක් සිදු නොවුනොත් දෙන්නාටම වෙන්නේ පාඩුවක්. ඔය වගේ වෙලාවක පවතින තත්ත්වය කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවකට සමානයි.
විද්‍යාගාර තත්ත්වයන් යටතේ ඔය කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව කළාම බොහෝ විට පණහට පණහට ආසන්න බෙදා ගැනීමක් සිදු වෙනවා. ඒ ගොඩක් අය තීරණ ගන්නේ තමන්ගේ වාසිය ගැන වගේම සාධාරණත්වය ගැනත් හිතලා නිසා. එක් ක්‍රීඩකයෙක් දැඩි දෙස අනූවක්ම ඉල්ලා සිටියොත් අනෙක් ක්‍රීඩකයා තමන්ට වෙන පාඩුව නොසලකා දහයත් අත හැරලා කැමති නොවී ඉන්න එක සුලබ සිදු වීමක්. ඒ විදිහේම ක්‍රීඩකයෝ දෙන්නෙක් තරඟ කරද්දී එකඟතාවයක් ඇති නොවන තරම්.
මම සිද්ධි විශ්ලේෂණය කරන විදිහට රනිල් හා පොහොට්ටුව අතර සිදු වුනු හෙට්ටු කිරීම් මට පෙනුනෙත් කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවක් විදිහටයි. මේ ක්‍රීඩාවට සහභාගී වූ ක්‍රීඩකයින් හිටපු තත්ත්වයන් එක්ක එක ක්‍රීඩකයෙක්ටවත් අනෙක් ක්‍රීඩකයාගේ පැත්තෙන් හිතන්න පුළුවන්කමක් තිබුණු බව මට පෙනුණේ නැහැ.
මම මේ තත්ත්වය විග්‍රහ කර ගත්තේ ඔය විදිහට වුනත් දේශපාලනයේදී කටයුතු සිදු වෙන්නේ අපට පහසුවෙන් විග්‍රහ කරගන්න පුළුවන් විදිහටම නොවන නිසා, මම මේ හා අදාළව කළින්ම ලිපියක් ලිවුවත් එය පළ නොකර ඉන්න තීරණය කළා. මට පෙනුණු විදිහට පොහොට්ටුව පැත්තෙන් කළ හැකිව තිබුණු වඩාත්ම තාර්කික දෙය නාමල්ව තරඟයට ඉදිරිපත් කරන එක. ඒ වෙනුවට ධම්මික පෙරේරාව ඉදිරිපත් කරන එකෙන් කාටවත්ම ලබා ගත හැකි දෙයක් පෙනෙන්න තිබුණේ නැහැ. කාටවත්ම කිවුවේ ධම්මික පෙරේරාට හෝ පොහොට්ටුවට.
ජනාධිපතිවරණ තරඟය ඇතුළේ සිටින මේ ක්‍රීඩාවට සෘජු සම්බන්ධයක් නැති සජිත් කඳවුර හා මාලිමා කඳවුර පැත්තකින් තිබ්බට පස්සේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව එජාප-පොහොට්ටු කඳවුර ඇතුළේ සිදු වෙන දෙයක්. නමුත් පැහැදිලි ලෙසම මේ කඳවුර කඳවුරු දෙකක්. රනිල් තරඟයට එන්නේ දිනන්න බලාගෙන. නමුත් පොහොට්ටු කඳවුරට මේ තරඟය ජයගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි තිබුණේ නාමල් ප්‍රධාන රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන අනාගතය නැවත ගොඩ නගා ගැනීමේ අභිප්‍රාය.
රනිල්ට දිනන එක ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වුනේ පොහොට්ටුව ඉනිමගක් ලෙස යොදා ගැනීමෙන් පමණයි. එහෙම කරන්නත් කාසිය තනිකරම රනිල්ගේ අතට ගන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා, එය පණහට පණහ බෙදන්න පුළුවන්කමක් රනිල්ට තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් රාජපක්ෂ කඳවුරට කාසියෙන් තමන්ගේ කොටස කලින්ම වෙන් කර ගත්තේ නැත්නම්, පස්සේ හෙට්ටු කරලා එයින් කොටසක් ලබා ගැනීම පිළිබඳව විශ්වාසය තියන්න පුළුවන් වුනේ නැහැ.
මෙතැන බෙදා ගන්න තිබෙන කාසිය කලින් පොහොට්ටුව සතුව තිබුණු, මේ වන විට අතීරක, ඡන්ද ප්‍රමාණය. මේ ප්‍රමාණය ගැන කාටවත්ම හරියටම කියන්න බැහැ. කොයි තරම් අඩුපාඩු තිබුනත්, දැනට තිබෙන විශ්වාසනීයම ඇස්තමේන්තු වන IHP ඇස්තමේන්තු අනුව, පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 16%ක් හා එජාප ඡන්ද ප්‍රමාණය 7%ක්. නමුත් රනිල්ගේ ප්‍රමාණය 20%ක් හා පොහොට්ටු අපේක්ෂකයාගේ ප්‍රමාණය 7%ක්. කිසිසේත්ම නිවැරදි තක්සේරුවක් කරන්න අමාරු වුනත්, අවම වශයෙන් 10%-15%ක පමණවත් අතීරක ඡන්ද ප්‍රමාණයක් තිබිය යුතුයි.
මේ තත්ත්වය එක්ක, නාමල් වෙනුවට “නයිට් වොච්මන්” කෙනෙක් විදිහට ධම්මික පෙරේරාව දැම්මා කියලා හිතමු. අනුර, සජිත් හා රනිල් විකල්ප ලෙස ඉඳිද්දී ඡන්දදායකයෙකුට ධම්මික පෙරේරාව ආකර්ශනීය වෙන්නේ ඇයි?
අනුර, සජිත් හා රනිල් තුන් දෙනාටම අකැමැති පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ කඳවුරු තුනෙන්ම පිට වාමාංශික අන්තයේ ඉන්න කොටස පැත්තකින් තියමු. ලංකාවේ ජාතිකවාදී කඳවුර එකට එකතු වෙලා ඉන්නේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වෙනත් විවිධ හේතු මත රාජපක්ෂලා එක්ක එකතු වුනත්, ඒ කඳවුර ගොඩක් විෂමජාතීය කඳවුරක්. ඒ කඳවුරේ සමහර කොටස් වලට අනුර, සජිත් හා රනිල් තුන් දෙනාම හරියන්නේ නැහැ. විශේෂයන්ම ජාතික සමාජවාදයට වඩා බර අයට. නමුත් ඒ අයට ධම්මික පෙරේරාව සෙට් වෙන්නෙත් නැහැ. විශාල ප්‍රතිශයක් නොවුනත්, මේ ඡන්ද ප්‍රමාණය දිලිත්ට ලබා ගත හැකිව තිබුණා. ඒ ටික දිලිත්ට ගියා කියලා රනිල්ට පාඩුවක් වෙන්නේ නැහැ. දිලිත් වගේ විකල්පයක් නැත්නම් ඒ ඡන්ද බොහෝ විට හැරෙන්නේ මාලිමාව පැත්තට.
නමුත් රාජපක්ෂලා එක්ක තව දුරටත් ඉන්න මුළු පිරිසම ඉන්නේ ඔය ගොඩේ නෙමෙයි. ධම්මික පෙරේරාට ලබා ගත හැකිව තිබුණේ ඔය ගොඩෙන් වඩා දක්ෂිණාංශයට බර ඡන්ද කොටස. ඔය ගොඩවල් දෙක අතර බෙදී යා හැකිව තිබුණේ පොහොට්ටු ඡන්ද වලින් රනිල්ට නොගිය 7%. විකල්පයක් ලෙස රනිල් ඉඳිද්දීත් පොහොට්ටු අපේක්ෂකයෙක්ව තෝරා ගන්නවා කියන්නේ ඒවා සොලිඩ් පොහොට්ටු ඡන්ද. රනිල්ට පොහොට්ටුවේ සහයෝගය ලැබුණානම් ඔය ඡන්ද වලින් වැඩි කොටසක් රනිල්ට ලැබෙනවා. ඉතිරි ටික දිලිත්ට යනවා. දිලිත් හා ධම්මික දෙන්නාම ආවානම් ඔය 7%ත් දෙකට බෙදෙනවා.
හැබැයි ඔය 7%ට අමතරව සහ රනිල් විසින් ආකර්ශනය කරගෙන තිබෙන 9%ක පමණ පොහොට්ටු ඡන්ද ප්‍රමාණය හැර තවත් අතීරක පොහොට්ටු ඡන්ද 10%-15%ක පමණවත් තියෙන්න පුළුවන්. නමුත් අභියෝගය ඔය ඡන්ද ඡන්ද පොළට ගේන එක. ධම්මික පෙරේරා වගේ අපේක්ෂයෙක්ට ඒ වැඩේ කරන්න බැහැ. ඒ වැඩේ කළ හැක්කේ දිනන එක පිළිබඳ බලාපොරොත්තුවක් දිය හැකි අපේක්ෂයෙකුට පමණයි. ඒ කාරණයේදී අලි-පොහොට්ටු කඳවුර ඇතුළේ රනිල්ට වඩා ඉදිරියෙන් කවුරුවත් හිටියේ නැහැ.
ඒ නිසා, ධම්මික පෙරේරා ආවානම් අවසාන වශයෙන් රනිල්ට විශාල අවාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම, පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ධම්මික පෙරේරාට ලබා ගන්න වෙන්නේ ඉතාම ලජ්ජා සහගත ඡන්ද ප්‍රතිශතයක්. ඒක ඒ කඳවුර එක්ක ඉන්න අයගේ මහ මැතිවරණ ප්‍රතිඵලයට වගේම නාමල්ගේ දේශපාලන අනාගතයටත් සෘජුව බලපානවා. ඒ නිසා, ධම්මික තරඟයට ආවානම් වෙන්නේ පොහොට්ටුවම වගේ රනිල් වෙන එක.
මේ ප්‍රායෝගික තත්ත්වයන් එක්ක තමන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා නාමල්ට කළ හැකිව තිබුණු දෙය තමන්ම පිට්ටනියට බහින එක. ඒක ගොඩක් අවදානම් වැඩක්. මොකද නාමල්ට වුනත් මේ තරඟය දිනන්න බැරි බව පාක්ෂිකයෝ දන්නවා. ඒ නිසා, පරදින අපේක්ෂයෙක්ට ඔට්ටු දමන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. තවත් විශාල පිරිසක් රනිල්ගේ පැත්තට හැරෙන නිසා පොහොට්ටුවේ ඇත්ත ශක්තිය මේ ජනාධිපතිවරණයේදී පෙනෙන්නේ නැහැ. ඒක ලොකු අවාසියක්. හැබැයි ගෙදරට වෙලා නිදාගෙන හිටියොත් වෙන්නේ ඊටත් වඩා අවාසියක්. ඒ නිසා, නාමල්ගේ පැත්තෙන් බැලුවහම මේක තමයි හොඳම තීරණය.
නාමල් පිට්ටනියට බැස්ස එකෙන් ලොකුවටම බඩට වදින්නේ දිලිත් ඇතුළු සර්වජන කණ්ඩායමට. යම් හෙයකින් ධම්මික පෙරේරා තරඟයට ආවානම් දිලිත්ට ධම්මික එක්ක සෑහෙන තරඟයක් දෙන්න තිබුණා. ඒ හරහා පොහොට්ටු කඳවුර ඇතුළේ සැලකිය යුතු හෙට්ටු කිරීමේ බලයක් හදා ගන්න තිබුණා. මොකද 7%කින් 2%ක් ගත්තත්, ඒක තුනෙන් පංගුවකට කිට්ටුයි. නමුත් නාමල් පිට්ටනියට බැස්සට පස්සේ දිලිත්ට තවදුරටත් දේශපාලන රික්තකයක් ඉතිරි වෙලා නැහැ.
රනිල්ව තේරීම නොවුණු පොහොට්ටු ඡන්ද ටික නාමල්ට පහසුවෙන්ම ගන්න පුළුවන්. අතීරක ඡන්ද වලින් කොටසක් ගන්නත් පුළුවන්. රනිල්ගේ ඡන්ද වලින් යම් ප්‍රමාණයක් වුනත් නැවත ආකර්ෂණය කරගන්න බැරිකමක්ම නැහැ. ඒක තීරණය වෙන්නේ පොහොට්ටු දේශපාලනඥයෝ පෙළ ගැසෙන ආකාරය එක්ක.
යම් හෙයකින් රනිල් විසින් නාමල් තරඟයට පැමිණීමේ හැකියාව ගැන කලින් හිතලා තිබුණා වුනත්, රනිල්ට මීට වඩා නම්‍යශීලී වෙන්න ඉඩක් ඉතුරු වෙලා තිබුණෙත් නැහැ. ඒ පැත්තෙන් ඉදිරිපත් කරපු කොන්දේසි ඔක්කොටම කැමති වුනානම් රනිල්ට තරඟයට එන්න වෙන්නේ රාජපක්ෂලාගේ නියෝජිතයෙක් විදිහටයි. ඒ නිසා, රනිල්ටත් කරන්න ඉතුරු වෙලා තිබුණේ කාසියෙන් ගොඩක් ලොකු කෑල්ලක් ඉල්ලමින් නොනැමී ඉන්න එක පමණයි. ඔය තත්ත්වයන් එක්ක වෙලා තියෙන්නේ තාර්කිකව වෙන්න වඩාත්ම ඉඩ තිබුණු දේ.
දැන් පැහැදිලි කඳවුරු හතරක් තිබෙනවා. ඉතිරිය තීරණය වෙන්නේ කොයි තරම් ආක්‍රමණශීලී විදිහට මැතිවරණ ප්‍රචාරණය සිදු වෙනවද කියන එක මත සහ සුළු ජාතික ඡන්ද වල හැසිරීම මත.
~ ඉකොනොමැට්ටා
RN