චීනය ටිබෙට් කලාපයේ ජාතික විද්‍යාල ප්‍රවේශ විභාගයේ දී ටිබෙට් භාෂාව සීමා කිරීමට යයි!

0
139

කොළඹ LNW:ටිබෙටයේ සිසුන් පෙනී සිටින ජාතික විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් ටිබෙට් භාෂාව මූලික විෂයක් ලෙස බැහැර කිරීමට චීනය සැලසුම් කරන බව ටිබෙට් ස්වයං පාලන කලාපයේ සභාපති ගාමා සෙඩේන් මේ සතියේ පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇතැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරයි.

එමඟින් ලෝකයේ එකම රටක් පමණක් භාවිතා කරන දුර්ලභ ගණයේ අති පැරණි සම්භාව්‍ය භාෂාවක් වන ටිබෙට් භාෂාවේ අනාගතය පිළිබඳව බරපතල තර්ජනයක් මතු වී ඇතැයි වාර්තාවේ. විශේෂයෙන් බෞද්ධ ධර්මය ආශ්‍රිත අතිශය දුර්ලභ ග්‍රන්ථ ලියැවි ඇති ටිබෙට් භාෂාව දැනට ලෝකය හදාරන්නේ සහ භාවිතා කරන්නේ මිලියන හයකට (06) ආසන්න ටිබෙට් ජනතාව පමණි.ඔවුන් ගෙන් සමහරු රටින් බැහැරව ජීවත් වෙති.

මෙම වෙනස ජාතික විභාගයේ ප්‍රතිසංස්කරණවල කොටසක් බවත් එය ටිබෙට් ජාතිකයින්ගේ වෘත්තීය අපේක්ෂාවන් වැඩිදියුණු කරන බවත්,චීනයේ අනෙකුත් පළාත් සහ කලාප මෙන් ටිබෙට්හි ද චීන භාෂාව සහ ගණිතය වැනි “ඒකාබද්ධ විභාග විෂයයන්” සහ ඉංග්‍රීසි, රුසියානු, ජපන්, ප්‍රංශ, ජර්මානු සහ ස්පාඤ්ඤ ඇතුළු විදේශීය භාෂා තිබිය යුතුය. නමුත් ටිබෙට් තවදුරටත් ජාතික විභාගයේ මූලික විෂයයක් නොවනු ඇතැයි ගාමා සෙඩේන් මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇත.

සෑම වසරකම චීනය පුරා උසස් පාසල් සිසුන් ගඔකාඕ ලෙස හඳුන්වන දුෂ්කර, බහු-දින විද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දෙති. නමුත් සමහර කලාපවල, වාර්ගික සුළුතර සිසුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් විෂය පරීක්ෂණ කිරීමට අවසර දී ඇත.

ටිබෙටයේ මෙම විභාගයෙන් ටිබෙට් භාෂාව බැහැර කිරීම ටිබෙට් සංස්කෘතියේ අනිවාර්යය අංග මර්දනය කිරීම සඳහා ගෙන යන ව්‍යාපාරයක් බව විදේශයන් හි ජීවත්වන ටිබෙට් ජාතිකයෝ පෙන්වා දෙති. එසේම ඉන්දියාවේ ධර්මශාලාහි ස්ථාපිත ටිබෙට් ඩයස්පෝරා රජයේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ,කලාපය තුළ ටිබෙට් භාෂාව භාවිතය මර්දනය කිරීමට චීනය උත්සාහ කරන බවය.නමුත් බීජිං පාලනය දැඩි ලෙස මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති.

2024 දී ටිබෙටය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළ බව පමණක් පවසන ගාමා සෙඩේන් මෙම වෙනස ක්‍රියාත්මක කිරීම සඳහා කාලරාමුවක් ලබා දී නැතත් ටිබෙට් ප්‍රාන්ත හයක නිලධාරීන් පවසන්නේ මෙම භාෂා යෝජනාව ලබන වසරේ සිට ක්‍රියාත්මක වන බවයි.

“ඔබේ ප්‍රවේශ විභාගයේ දී ටිබෙට් භාෂාව තවදුරටත් ඉගෙන ගැනීමට නොහැකි වූ පසු, එය තවදුරටත් සන්නිවේදන මාධ්‍යයක් හෝ රැකියාවක් ලබා ගැනීමට ප්‍රයෝජනවත් නොවේ,” යැයි ටිබෙට් රජයට අනුබද්ධ ධර්මශාලාවේ ටිබෙට් ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂිකා ඩාවා ට්සෙරිං පැවසුවාය.අධ්‍යාපනය, ව්‍යාපාර, සංචාරක සහ කාර්යාල කටයුතු සඳහා ටිබෙට් භාෂාව භාවිතය “සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමට” රජය සූදානම් වන බවට ද ඇය චෝදනා කළාය.

නමුත් 2026 සිට,ටිබෙට් සිසුන් ගෙන් සුළු කොටසක් ඇතුළත් වන ටිබෙට් භාෂාව අවශ්‍ය වන විශේෂිත අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා අයදුම් කරන ටිබෙට් සිසුන්ට පමණක්,ටිබෙට් භාෂා විෂය පරීක්ෂණයකට පෙනී සිටීමට හැකි වනු ඇතැයි ටිබෙට් ස්වයං පාලන කලාපයේ ප්‍රාදේශීය නිලධාරීහු පවසති.

කලාපයේ සහ සැලකිය යුතු ටිබෙට් ජනගහනයක් සිටින අනෙකුත් ප්‍රදේශවල ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ටිබෙට් භාෂාව මූලික විෂයයක් ලෙස පවතිනු ඇතැයි ගාමා සෙඩෙන් පැවසීය.

මේ තීරණය තුළින් ටිබෙට් ජනතාවට සහ ටිබෙට් සංස්කෘතියට සිදුවන බරපතල හානිය පිළිබඳ අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ටිබෙට් ස්වයං පාලන කලාපයේ රජය ප්‍රතිචාර දැක්වා නැත.

“සියලු ජනවාර්ගික කණ්ඩායම්වල සිරිත් විරිත් සහ පුරුදුවලට සම්පූර්ණයෙන්ම ගරු කරමින්, ටිබෙටයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම සහ ටිබෙට් සංස්කෘතික කටයුතුවල සමෘද්ධිය ඇති කිරීම සඳහා චීන රජය විශාල වැදගත්කමක් ලබා දෙයි,” යනුවෙන් විදේශ අමාත්‍යාංශය අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පවසා ඇතැයි ද වාර්තා වේ.

උපුල් ජනක ජයසිංහ