රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW:
යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්තා වේ.
මෙම අභියාචනා කැඳවනු ලැබුවේ, ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.
මෙම නඩුකරයට අදාල දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන් බව පැවසේ.
ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවයි.
ඒ අනුව අදාල අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කර ඇති අතර, 2015 වසරේ මාර්තු මස 3 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබීය.
විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.