ඉසුරු පරාක්‍රම
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 70 දශකයේ ගීත අමන්දානන්දය ස්වීඩන් ජාතික ABBA සංගීත කණ්ඩායමේ ගායිකා ඇග්නේතා ෆෙල්ට්ස්කොග් (Agnetha Fältskog) ඉකුත් දින (අගෝස්තු 23) ඇගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල තැබූ කුතුහලය දනවන සටහනක් නිසා ලොව පුරා ABBA රසිකයන් අතර දැඩි කතාබහක් ඇති වූ අන්දම පිළිබඳව මීට ඉහත ලිපියකින් අපි ඔබ වෙත තොරතුරු රැගෙන ආවෙමු.
“+” ලකුණ ද සමඟ “Where Do We Go From Here?” යනුවෙන් ඈ විසින් අන්තර්ජාලය තුළ ඉතිරි කර ගිය කෙටි හා අභිරහස් සටහන පිළිබඳ නානාවිධ මත පළ වූ අතර, ඈ යළි ගීතයක් එළිදැක්වීමට යන්නේ, හෝ ගීත එතතුවක් එළිදැක්වීමට යන්නේ ද යන්න පිළිබඳ විවිධ අදහස් ABBA රසිකයන් විසින් සමාජ මාධ්‍යය තුළ පිහිටුවා ගත් විවිධ සංසද තුළ හා ඉන් පිටත ඇති වූ අන්දම දක්නට ලැබිණි.
එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ ගොසිප් පුවත්පතක් වන ද සන් (The Sun) වාර්තා කරන අන්දමට, මෙම පුවත පිළිබඳ යාවත්කාලීනයක් දැන් ලැබී තිබේ.
2013 වර්ෂයේ “A” නමින් අවසාන වරට ඈ විසින් නිකුත් කළ ගීත ඇල්බමයෙන් හරියටම දශකයකට පසු, 60 – 70 දශකයේ පොප් සංගීත රාජ්‍යය ආක්‍රමණය කළ ද බීට්ල්ස් (The Beatles) පවා ගීත ශ්‍රේණිගත කිරීම්වලින් පහතට ඇද දැමූ “Jag var så kär” නම් ගීතය ඇතුළත් ඇගේ කුළුඳුල් ස්වයං-නාමික ඇල්බමය “Agnetha Fältskog” නිකුත් කිරීමෙන් වසර 55 කට පසු, 73 හැවිරිදි ඇග්නේතා ඇගේ සෝලෝ ගමන යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ද සන් පුවත්පත වාර්තා කරන්නේ.
ඒ අනුව, ABBA සංගීතයේ කාන්තා හඬ සුසංයෝගයේ ඇසුවන් වසඟයට පත්කරන ඉහළ පරාසයේ හඬ හිමි ඇග්නේතා බීඑම්ජී රෙකෝඩ්ස් (BMG) සමඟ ගිවිසුම්ගත වී ඇති බව ද සන් පුවත්පත වාර්තා කරයි.
එමෙන්ම, ඇග්නේතා මෙම වර්ෂයේ අවසාන කාලසීමාව තුළ නව ගීත ඇල්බමයක් එළි දැක්වීමට සැලසුම් යොදා ඇති බව ද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
සබැඳි පුවත්: