අනේ මගෙ සාදු
දෙන්න මගෙ දුවට හාදු
නොකර අරියාදු
දුව නැතොත් පුතු එවමි සාදු
ඔස්ට්‍රේලියාවේ උත්තරීතර සිංහල බෞද්ධ ජන පිරිසක් උසාවියක් දොරකඩ කරන සමූහ ගායනයක්.ළමා අපචාර චෝදනාවලට ලක් වූ නායක හාමුදුරුනමක් වෙනුවෙන් ශාසනාලයෙන් ඔද වැඩුණු උපාසක උපාසිකාවන් ගයන උපහාර ගීතය ද සහිත සත්‍යග්‍රහ ව්‍යාපාරය නැගලා යනවා.
ඔන්න ඔය අස්සෙ ඕස්ට්‍රේලියාවේ මනුස්සෙක් ළමයින්ව අපචාර කරපු කෙනෙක් ආරක්ෂා කරන්න පෙළ ගැහෙන්නෙ ඇයි වගෙ නොසණ්ඩාල කතාවක් අර නෝනා කෙනෙක්ගෙන් ඇහැව්වා.නෝනා දාපු ඇස් පිහාටු ගැලවෙන්න හැඬුවා.මූණ රැලි මතුවෙන්න මේකප් තට්ටුව හේදෙන්නම ඇඬුවා.
“බෞද්ධ චීවරයට ගරු කරන්න ඉගෙන ගන්න,මොනව හරි දේවල් වෙනවනම් වෙන්නෙ එක එක්කෙනාගේ කරුමයට අනුව.මේ සාදුගෙන් එහෙම දෙයක් වෙලානම් සාදුට එහෙම අදහසක් එන්න ඇත්තෙත් අර ළමයින්ගෙ කරුමයකට”
ඕස්ට්‍රේලියන්කාරයාට කන් අඩි පුපුරන්න තරමට සද්දෙ දාලා කෑ ගැහැව්වා.
මනුස්සයා නිවිච්ච ස්වරයෙන් අර නෝනාගෙ කණටම ළං කරලා කිව්වා නෝනා ගරු කරන්න ඉස්සෙල්ලා සිවුර හෝදල වඳින්න කියලා.
ගැහැණු කෙනාට මේ අමුතු කතාව තේරුණේ නැහැ.හැබැයි තේරුම දැන ගන්නකම් ඉවසිල්ලකුත් නැහැ.මහා දුරක් එලවලා එලවලා අර සුද්දව අල්ලගෙන හේතුව ඇහැව්වා.
“නැහැ අර දරුවන්ගෙ කර්ම එයාලගෙ ඇගවල්වල ගෑවිලා.බැරි වෙලාවත් ඒවා අර සිවුරුවලත් ගෑවුණොත්.ඒව අපවිත්‍ර වෙනවා නේද?
නෝනාට මේක තේරුම් ගන්නම බැරි තැන උසාවිය ළඟ රැස් වෙලා හටිපු මහා සෙනඟ අස්සෙ හිටපු හාමුදුරුවන්ට කෝල් එකක් ගත්තා.හාමුදුරුවන්ගෙ පෝන් එක සෙනඟ අස්සෙ ලස්සන නාදයක් නැං වූවා.චුට්ටක් අහගෙන හිටියම තමයි තේරුණෙ ඒකෙ රින්ග් ටෝන් එකෙන් එන්නෙ පිංවන්තියෙ මාගෙ ප්‍රේම පුරාණ කියන සිංදුවෙ අනුවාදනයක් බව.
පිංවතිය
හාමුදරුරුවො පෝන් එක කණට තියාගෙන ටිකක් පැත්තකට වැඩියා.පෞද්ගලික දුරකතන සංවාද අපිට මොකටද?අපි ඇහුං කං දුන්නෙ නැහැ.
ඊට පස්සෙ රූප රාමුවෙ ලාල් සහෝදරය නානසාරු සාදුගෙ අතේ පිරිත් නූලක් ගැට ගහනවා කියලා කතාවක්.ඇත්තටම ඉතිං මට සාදු කියවුණා.එහෙම හරි සාදුව දමනය කරගන්න එක කොච්චර දෙයක්ද කියලා හිතලා.ඒත් ඉතිං පස්සෙ බලන කොට සාදුයි සහෝදරයගෙ නූල බදින්නෙ.
ඒ ගැන විස්සෝප වෙන්න එක තත්තපරයක් ගියේ නැහැ.කාඩරයෙ සහෝදරයෙක් ලිව්වා පත හෑල්ලක්.ඒකෙ තියෙන විදිහට හිතාගෙන මං ඉතිං පිංතූරය බැලුවා.
ඇත්තටම පේන්න ගත්තා ලාල් සහෝදරයාගෙ ඇඟ වෙන කාගෙ හරි කියලා.ඔළුව හයි කරලා.ඕනිනම් ඔළුවත් එයාගෙ නෙමෙයි කියලා හිතන්නත් පුළුවන්කම තියෙද්දි මම කලබල වෙලා කියලා.
තව විනාඩි ගාණක් යන කොට තව අය පැහැදිළි කරලා තිබුණා සාදුගෙ ඔළුවත් බට් කියලා.අම්මපා තමයි.මට ඒකත් ඒ විදිහට පේන්න ගත්තා.අන්තිමට මැරලින් මොන්රෝ ඒ ඉන්නෙ කහ රෙද්දක් පොරවගෙන කියන ගාණට ගියත් එහෙම හිතාගෙන සාධාරණ කරගන්න බැරිකමක් නැහැ කියලා මට ටික ටික තේරුම් යමින් හිටියෙ.ඊට පස්සෙ මං ඇමෙරිකානු ගැත්තෙක් නොවී ෂි ජින්පින්ග් හරි රාහුල් ක්‍රස්තෝ හරි ලාල් සහෝදරයි එක්ක ඉන්න පිංතූරයක් ගාණට ඒක පත් කරගෙන හිතන්න බැලුවා.අම්මපා කියන්නෙ පංති පහම නොකළත් ඒකත් පුළුවන් බව මට තේරුණා.
ඊට පස්සෙ ඉතිං ඒ තරමට හිතන්න මිනිස්සු ඉද්දිත් සහෝදරයට මතක් වෙලා තමන් ඉතිං රෙදි ඇඳගෙන ඉන්නෙ කියලා ඒ පිංතූරෙ ඉන්නෙ තමන්මයි කිව්වනෙ.එහෙම කියලා විනාඩි පහක් යන කොට ඒක නානාසාරු සාදුගේ පරණ පිංතූරයක් වුණා.
ඊට පස්සෙ ඉතිං මං කල්පනා කරන්න ඕනි හැටි හිතාගත්තා.ඒකත් ඉතිං තව කවුරුහරි කියලා පේන් හැටි හදාගන්නවට වැඩිය හොඳයිනෙ.
සාදු මහන වෙච්චි කාලෙ හරි හොදයි.මහා කාශ්‍යප හාමුදුරුවො ගාණට වැටෙයි කියලා හිතුණා.දෙතිස් පුරුෂ ලක්ෂණ සෑහෙන්න දකින්න තිබුණා.ඒ කාලෙ සිහල සත්වයෝ වෙනුවට උන් වහන්සෙ සියලු සත්වයෝ ගැන කරුණා පෙරදැරිව බැලුවා.මහාකරුණා සාර කියලා අන්‍ය ආගමිකයන් අතරත් නමක් හැදිලා තිබුණා.2004 දි සුනාමියට අහුවෙලා මහින්ද මහත්තයගෙ දූපතකට ලාල් සහෝදරයයි,නානසාරු සාදුයි එකට පීනලා ගොඩවෙලා බේරෙනවා.සුනාමි සහන මණ්ඩලයෙන් දෙයියන්ගෙ හාල් කාලා මත් වෙනවා.ලාල් සහෝදරයා ටික කාලෙකින් ඉඟුරුපියලිය කෑල්ලක් කාලා මත ඇර ගත්තට නානසාරු සාදු දිගටම ඒක කාලා පිත මේරුවම කරන වැඩ කරනවා.අම්මපා සුනාමිය නාවනම් මහින්ද මාත්තියත් බුදු වෙන්න තරම් සාධක තිබ්බ මනුස්සෙක්.සුනාමි කතා පැත්තක තියලා ඒ පිංකදට උදව් කරපු ලාල් සහෝදරයට හෙම තිබුණ බලාපොරොත්තු ගැන අපිට සිංදුවක් වුණත් ලියන්න බැරි නැහැ.එහෙම ගීත රචකයෙක් හොයාගන්න බැරිත් නැහැ.
අන්තිමට මං හොඳ දායකයෙක් වෙන්න පුළුවන් ඉහළම මට්ටම තේරුම් ගත්තම ඒක ලංකාවෙ නෙමෙයි කොහේ හිටියත් ලංකාවෙ දේශපාලන අනන්‍යතාවයයි ආගමික ලබැදියාවයි අතරෙ තියෙන්නෙ කෙස් ගහකටත් අඩු දායකකමේ වෙනසක් කියලා තේරුම් ගත්තා.ඒක ඉතිං ආකිමිඩස් වගෙ රෙදි නැතුව දුවන්න වැඩක් නොවුණට රෙද්ද ලිහාගෙන වැඩ කරන්න සුදුසුකමක් කියලනම් පැහැදිළි කර ගත්තා.
ද ක්ලීනර්