උපාලි කොළඹගේ
රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක් බැස ගියා වැනි නිහඬතාවක් දේශපාලන කේෂ්ත්‍රය පුරා මෝදු වෙමින් පවතී. එහෙත් තැන් තැන්වල කෙරෙන කසු කුසු ගෑම්වලින් නම් අඩුවක් නැත. කෙසේ වුවත් විපක්ෂ කණ්ඩායම්වල දවසේ වීරයා බවට පත් වූයේ සජිත් ප්‍රේමදාසය. කවුරුන් කෙසේ කීවත් නාමල් රාජපක්ෂ සිටිනුයේ ටිකක් දුරිනි. ඒ අද තත්ත්වයයි. හෙට කුමක්වේදැ යි තවම කිවනොහැක .
මේ සියලු පෙර සූදානම් වීම් 2029 ජනාධිපති මැතිවරණය සඳහාය. ඊට පෙර යමක් වේ යැයි සිතිය නොහැක. එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ කල්ක්‍රියාව අනුව ඔහුට දෙවනවර ජනාධිපති පුටුවේ වාඩිවීමේ හැකියාව පවතී.
සජිත් ප්‍රේමදාස මේ දිනවල කරන්නේ බොරදියේ මාළු බෑමය. රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන ක්ෂේත්‍රය තුළ පොරක් වීමේ ඉඩක් නැති බවය මේ ලියුම්කරුගේ අදහස. වයෝවෘද්ධ වීම, අයහපත් සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ජහමනය අතර ආකර්ෂණීය චරිතයක් නොවීම මීට හේතු සාධක වශයෙන් දැක්විය හැක. බටහිර සංස්කෘතියට නැඹුරු පුද්ගල චරිතයක් ලෙසය ඔහු ලියැවෙනුයේ.
කෙසේ වුවත් රනිල් ගේ සුවිශේෂීතාවය වනුයේ රට ප්‍රපාතයට වැටුණු අවස්ථා වේ රට ඉන් ගොඩගත් පුද්ගලයා ලෙසය. නමුත් එපමණින් ඔහුට එරෙහිව නැගෙන චෝදනා අකර්මන්‍ය වන්නේ නැත. ගංවතුරේ ගසා ගෙන යන තරුණියක බේරා ගත් පමණින් ඇය දූෂ්‍ය කිරීමේ හැකියාවක් කිසිවෙකුට නැත.
කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා දැන් සිටිනුයේ ඇප පිටය. අධිකරණ ක්‍රියාමාර්ගය විසින් ඔහුට විරුද්ධව ඇතිචෝදනා කිසිදු අගතියකින් තොරව විභාග කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයකු නිසා ඔහු පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය යන දියාරු මතය කිසිසේත් පිළිගන්නේ නැත. නමුත් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තම පාක්ෂිකයන්ට හොඳ කටගැස්මකැයි සිතා එය සිදුකරන්නේ නම් එයද බරපතල වරදකි.
කෙසේ වුවත් රනිල් අත්අඩංගුවට ගැනීමට එරෙහි විපක්ෂයේ විරෝධය ද අධි දේශපාලනකරණය වූ ක්‍රියාන්විතයක්ය යන්න මගේ පෞද්ගලික අදහසයි. එහි සාන්ද්‍රණය අතිශය ඝනය. මෙය එකිනෙකාගේ දේශපාලන න්‍යාය පත්‍රවලට යට නොවුනා නම් රනිල්ට ද හොඳය. ගල උඩ සටනක් වූ පසු එකිනෙකාගේ ජය පතා මාරාන්තික සටනක් කළයුතු ය.
බලයේ සිටින ජනාධිපතිවරයකු ගේ පෞද්ගලික ගමන් කෙසේ සිදුවිය යුතුය යන්න විවාදා පන්නය. ඔහු හෝ ඇය අතින් ගෙවා එය සිදුකළ යුතුය යන්න නොමේරූ තර්කයකි. එම සම්පූර්ණ මුදල රජය දැරිය යුතුය යන්නද ඒහා සමානය. පිළිතුර ඇත්තේ අතර මැදය යන්න මගේ අදහසයි. කොටසක් රජයටත් කොටසක් අදාළ පුද්ගලයා ටත් බෙදී යනසේ නීතිරෙගුලාසි සකස්ව තුබුණේ නම් මෙම අලකලංචිය සිදුවන්නේ නැත.
කොහොම වුණත් පුද්ගලයාගේ තරාතිරම නොබලා දංගෙඩිය ට දැක්කීම අගේ කළ යුතුය .නමුත් එහි ඌන පූරණයක් ඇත. තමන් ගේ අය සම්බන්ධ යෙන්ම මේ ලෙසම කටයුුතු කරන්නේ නම් එයද සම්පූර්ණ වෙි.
බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ද බරපතල චෝදනාවක් නැගී තිබේ. ඔහු පෝර සංස්ථාවේ සේවය කරන කාලයේ සිදුවූයේ යැයි කියන මුදල් අක්‍රමිකතාවක් පාදකව මෙම චෝදනාව නැගී තිබේ. අල්ලස් කොමිසම මගින් කුමාර ජයකොඩිට හා තවත් කිහිප දෙනකුට එරෙහිව නඩු පවරන බවටද පසුගිය දිනවල පුවත් පත් වාර්තාකර තිබිණි. මේ ගැන ගත් පියවරක් වාර්තාවී නැති නමුත් ඉදිරියේ ආණ්ඩුව අපක්ෂපාත ලෙස මෙයට මුහුුණ දෙනු ඇතැයි අපෙක්ෂා කරමු.
ඒත් මේ ගැන අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දී ඇති පැඟිරි නැටි පිළිතුර නම් හාස්‍යජනකය. ඔහු කියන්නේ නිලධාරීන් කළ වැරැද්දකට අදාළ ලියවිලිවලට කුමාර ජයකොඩි අත්සන් තැබූ බවය.
මහත්තයො කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නඩයටම ඔය පිළිතුර දියහැකි නේද? දැනට අත්අඩංගුවට ගෙන සිටින හා ඉදිරියේ අත්අඩංගුවට පත් වියහැකි කිසිවකු තමන් ම ලියකියවිලි සකස් කළා යැයි මා නම් සිතන්නේ නැත. මේ සිද්ධිය හා දැනට ගල්කිස්ස උසාවියේ එකල මෙකල වෙමින් පවත්නා නඩුකරය මේ ආණ්ඩු වේ ලිට්මස් පරීක්ෂාවක් බව හොඳින් මතක තබා ගන්න.
