හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ සැක සංකා බැහැර කළ නොහැකියි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්!

Date:

කොළඹ LNW:රාජ්‍ය නායකයා ද ඇතුලු සියළු පුරවැසියන් හට නීතිය සමාන ලෙස ක්‍රීයාත්මක වීම, නීතිය හා සාමය පිළිබඳ විශ්වාසය ගොඩ නැගීමට අත්‍යව්‍යශ්‍ය වන අතර ඒ ගැන විවාදයක් නැතත් එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන සමාජය තුළ ගොඩනැඟෙන සැක සංකා සැලකිල්ලට ගත යුත්තේ යහපත් රාජ්‍යකරණයක් සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයින් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අනාගතයට ද පූර්වාදර්ශ සපයන යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුවන බවයි එහි මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් රටේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සැලකෙන අවස්ථාවක ධුරය දරමින් සිටින අතරතුර පවා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය වගඋත්තරකරුවෙකු කරමින් නඩු පැවරීමට හැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒමට කැපවී කටයුතු කළ සමාජ ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස ද නීතියේ ආධිපත්‍යය හා සමානාත්මතාවය වෙනුවෙන් පවත්නා උනන්දුව හා පෙනී සිටීම යළි යළිත් තහවුරු කරන බවද එහි දක්වා තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගත් ක්‍රියාවලියේදී මතුව ඇති සැක සංකා බැහැර කල නොහැකි ය.

රටේ රාජ්‍ය නායකයාට පවා දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු බව පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එය රටේ යහපත සඳහා තහවුරු කළ යුතුව ඇති දේශපාලන සංස්කෘතියක් බව ප්‍රථමයෙන්ම අවධාරණය කරනු කැමැත්තෙමු. සමස්ත විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කළ යුතු බව හා එය සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ මූලික පියවර ලෙස අපි හුවා දක්වන්නේ, බලය අවභාවිතා වීමට ඇති ප්‍රධාන අභියෝග ඉවත් කිරීම සඳහාම වන බව වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු.

එහි දී රටේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සැලකෙන අවස්ථාවක ධුරය දරමින් සිටින අතරතුර පවා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය වගඋත්තරකරුවෙකු කරමින් නඩු පැවරීමට හැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒමට කැපවී කටයුතු කළ සමාජ ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස ද නීතියේ ආධිපත්‍යය හා සමානාත්මතාවය වෙනුවෙන් අපි තුළ පවත්නා උනන්දුව හා පෙනී සිටීම යළි යළිත් තහවුරු කරන්නෙමු.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එහිදී පෙනී සිටින එකී ආස්ථානය ඉහත රාමුව තුළට පමණක් සීමාවන්නක් නොවේ. එහි අරමුණ නම් බලය අවභාවිත වීමට ඇති ඉඩ වැළැක්වීමයි. එහිදී යුක්තිය උදෙසා වන සමාජ අභිලාශයන් තුළ යුක්තිය ඉටුකිරීමට බැදී සිටින ආයතනයන්හි සදාචාරාත්මක සහ නිසි ක්‍රමවේද භාවිතයන් කෙරෙහි ද අපි ඉහළින්ම සැලකිලිමත් වන්නෙමු.හිටපු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට එරෙහිව චෝදනා කිහිපයක් ගොනු කරමින් ඔහු අත් අඩංගුවට ගැනීම හා එහිදී ඇතම් ආයතන හා පුද්ගලයන් කටයුතු කල ආකාරය තුළ නිසි ක්‍රමවේද අනුගමනය කෙරුණේද යන්න ප්‍රශ්න සහගත වන බව මෙම තත්ත්වය තුළ අපි අවධාරණය කරමු.

ආන්දෝලනයට ද හේතු වී ඇති යූ ටියුබ් සන්නිවේදකයෙකු විසින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් භාරයට ගන්නා බවට සහතික වෙමින් සිදු කළ පූර්ව නිවේදනය, මෙය කලින් සැලසුම් කළ දේශපාලන පියවරක් බවට නිගමනය කිරීමට එක් අතකින් සහාය වේ. එපමණක් ද නොව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා එල්ල කිරීමේ දී දූෂණ විරෝධී පනත අමතක කරමින් ඒ වෙනුවට ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 388 වගන්ති සහ 1982 අංක 12 දරන පොදු දේපළ පනත යොදාගැනීම තුළින් අපේක්ෂා කළේ කුමන තත්ත්වයක් යටතේ වුවද ඇප ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත කිරීම නම් එය සැලකිය හැක්කේ අභිචෝදන ක්‍රියාවලිය අවභාවිත කිරීමක් ලෙසට ය.

එමෙන්ම සති අන්තයේ නිවාඩු දින දෙකකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා අත් අඩංගුවට ගැනීම මගින් සැලසුම් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට ගත හැකි නීතියේ පිළිසරණ දින දෙකකට අහිමි කිරීම නම් එය ද ඉතාමත් ඛේදනීය තත්ත්වයකි. රාජ්‍ය නායකයා ද ඇතුලු සියළු පුරවැසියන් හට නීතිය සමාන ලෙස ක්‍රීයාත්මක වීම, නීතිය හා සාමය පිළිබඳ විශ්වාසය ගොඩ නැගීමට අත්‍යව්‍යශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන සමාජය තුළ ගොඩනැඟෙන සැක සංකා සැලකිල්ලට ගත යුත්තේ යහපත් රාජ්‍යකරණයක් සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි. අනාගතයට ද පූර්වාදර්ශ සපයන යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනි.

සුනිල් ජයසේකර
මහ ලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2025.08.26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...

රනිල් ගැන ජාත්‍යන්තර ස්ථාවරය මෙන්න!

කොළඹ LNW: කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක්...