එකෙන්හි – රුවන් බන්දුජීව

මිදී ගිනිගෙන දැවෙන තැටියෙන්
උළු අතරින් පෙරී වැටුණු
හිරු ලපයක් බලා සිටී
පෑන රුවාගෙන නිකටේ
තැනූ රුවක් සේ ඉටියෙන්
කවිමත් කල්පනාවක නියැලෙන
සාගර පලන්සූරිය මැති දෙස

සුද අතින්
ටිකිරි බණ්ඩාරට වැඩියෙන්
අදිරියන් ඉදිරියෙන් තබන අටියෙන්
රචනා කරමින්ය සිටින්නේ ඔහු
“සුදෝ සුදු”

කටුරොදට හිටිහැටියෙන්
අදිරි කැඳවන පැදිය
සමෝධානය නොවී සිටියෙන්
දුම්වැටියක් දල්වාගෙන
ලී පුටුවෙන් නැගී අවුත්
කුමාරගම එවූ ලිපිය
යළිත් වරක් කියවයි ඔහු

“දැන් දැන් පෙරේරා සහ පෙම්තිලක
රති කවිය අවුළුවනවා නොවෙද
වුවමනාවටත් වඩා වැඩියෙන්
දැන් දැන් ලංකාවම, අලියා වැටුණුවැවක් නොවෙදැයි
හැඟෙනවා මට කරුණු ඇතියෙන් “

යැවූ කවි පිළිබඳව
තුටුපහටුවන සෙයක් නැතියෙන්
අමනාපයෙන්වත්ද ඔහු
වෙලාවකට මමත් – අපේ කුඩලිගමත්
පිටිසර වනන සැටියෙන්

සුදෝ සුදුවන් හිරු ලපය තුළ
සියුමු දුහුවිලි ගලන අසිරිය
ඔහුට නුදුරින් පිහිටියෙන්
ඊට තම පිටි අත්ල දිගුකර
“සම සමාජය” ගැන සිතයි ඔහු
සුදෝ සුදු දුම් කෙඳිති
නැගෙන’තර දුම්වැටියෙන්

එකෙන්හී
කටුරොදට හිටිහැටියෙන්
අදිරි කැඳවන පැදිය
දළ රුවක් පා නැගී සිටියෙන්
යළිත් මේසය වෙතට යයි ඔහු
සුදෝ සුද පොබකරන අටියෙන් …

RN