මෙරටට ආනයනය කරන ලද තවත් BYD මෝටර් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ.
ඒ, මීට පෙර උද්ගතවූ ගැටලුව පරිද්දෙන්ම මෙම වාහනවල මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා මෙම වාහන නිදහස් කරගැනීමට උත්සාහ දරා ඇතැයි යන චෝදනාව මත ය.
මුලින්ම මෙම චෝදනාව එල්ල වූයේ BYD ATTO 3 මාදිලියේ වාහන සම්බන්ධයෙනි. එහිදි එම වාහනය 150 kW වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයක් වුවත් එය 100 kW වශයෙන් රේගුවට පෙන්වා එක් වාහනයකින් රුපියල් ලක්ෂ 36ක් පමණ අඩුවෙන් බදුගෙවා ඇති බවට චෝදනාවක් එල්ල විය. BYD වාහන මෙරටට ආනයනය කරන ජෝන් කීල්ස් CG Auto පුද්ගලික සමාගම ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ එම වාහනවල මෝටරයේ ධාරිතාවය 150 kW වුවත් මෘදුකාංගයක් (firmware) භාවිතා කරමින් නිෂ්පාදකයා විසින්ම මෝටරයෙන් උත්පාදනය කෙරෙන බලය 100 kW දක්වා අඩුකර ඇති නිසා මෙහි කිසිදු ගැටලුවක් නොමැති බවකි.
මෙම ගැටලුව මත මීට පෙර, 2025 ජුලි මාසයේදී BYD ATTO 3 මාදිලියේ වාහන 1000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් නොකර වරායේ රඳවා තබාගත් අතර ඒවා නිදහස් කරගැනීම සඳහා ජෝන් කීල්ස් CG Auto පුද්ගලික සමාගම අධිකරණය හමුවට ගියේය. එහිදී රේගුව තමන් වාහන සඳහා බදු අයකරන්නේ වාහනයට සවිකර ඇති මෝටරයේ ධාරිතාව අනුවමය යන මතයේ ස්ථාවරව සිටි අතර මෙම වාහනවල මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ද දායකත්වය සහිත කමිටුවක් පත්කළේය.
වරායේ රඳවාගෙන තිබුණු වාහන 1000කට ආසන්න ප්‍රමාණය, මෙම ප්‍රශ්නගත සිද්ධියේ බදු පරතරයට සමාන මුදලක, එනම් රුපියල් බිලියන 3.6ක පමණ මුදලක බැංකු ඇපකරයක් මත මුදාහැරීමට ද දෙපාර්ශ්වය අධිකරණය හමුවේ එකඟතාවක් ඇති කරගෙන තිබිණි. නැවත වතාවක් BYD වාහන 1000කට අධික සංඛ්‍යාවක් රේගුව විසින් රඳවාගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය.
මේ වතාවේ රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන අතර ATTO 3 මාදිලිය පමණක් නොව ATTO 1, ATTO 2 සහ ඩොල්ෆින් යන මාදිලිත් ඇතුළත් වන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙවර 150 kW වාහන 100 kW වශයෙන් බදු සඳහා පෙන්වීම පමණක් නොව 70 kW වාහන 49 kW වශයෙන් පෙන්වීම ද සිදුව ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.
ඒ අනුව,
BYD ATTO 3 යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්
BYD Dolphin Dynamic යන වාහනය 49kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 70kW බවත්
BYD Dolphin Premium යන වාහනය 99kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්
BYD M6 යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 120kW බවත්
BYD Seal Dynamic යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්
ආරංචිමාර්ග පැවසීය.
එහෙයින් මුල් වතාවේ රඳවාගනු ලැබූ BYD ATTO 3 වාහනය පිළිබඳව රේගුව විසින් පත්කළ කමිටුවේ තීරණය පැමිණි පසු එම තීරණයට අදාළවම දෙවැනි වතාවේ රඳවාගත් වාහන සම්බන්ධයෙන් ද කටයුතු සිදුකෙරෙනු ඇත. එතෙක් පෙර පරිද්දෙන්ම මෙම වාහන 1000 ත් රුපියල් බිලියන කිහිපයක බැංකු ඇපකරයක් මත මුදාගැනීමට සමාගමට සිදුවනු ඇත.
මෙවර රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොගය තුළ ATTO 1 වාහන 200ක්, ATTO 2 වාහන 100ක්, ATTO 3 වාහන 450ක් සහ ඩොල්ෆින් වාහන 250ක් ඇතුළත් වන බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙම ප්‍රශ්නය කරළියට පැමිණීමට පෙර ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසින් මේ ආකාරයට ආනයනය කර වෙළඳපොලට මුදාහරින ලද වාහන ප්‍රමාණය ද 2500 කට අධික බවක් කියැවේ. වාහනයේ මෝටර් ධාරිතාවය අනුව බදු අය කිරීම ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරනු ලබන, දැනට ශ්‍රී ලංකාවේ පවතින නීතිය වන අතර කමිටුවේ වාර්තාව අනුව සොෆ්ට්වෙයා ක්‍රමයට මෝටර් බලය අඩුකිරීමේ ක්‍රමය පිළිබඳ ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගමේ තර්කය පරාජයට පත්වුවහොත් එම සමාගමට තමන් බැංකු ඇපකර මගින් තැන්පත් කළ රුපියල් කෝටි සිය ගණනක මුදල රජයට බදු වශයෙන් ගෙවීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාවට චීනයෙන් විදුලි මෝටර් රථ ආනයනය කිරීම සඳහා තවත් සමාගම් කිහිපයක්ම මේ වනවිට කටයුතු කරමින් සිටින අතර සොෆ්ට්වෙයා ක්‍රමයට බදු අයකිරීම අනුමත වුවහොත් ඒ සියලු දෙනාමත් තමන් ආනයනය කරන මෝටර් රථවල මෝටර් ධාරිතාවය නිෂ්පාදකයා ලවා අඩුවෙන් ප්‍රකාශයට පත්කරවාගෙන අඩුවෙන් බදු ගෙවා රේගුවෙන් නිදහස් කරගැනීමට කටයුතු කරනු ඇත. එසේ වුවහොත් රුපියල් බිලියන සිය ගණනක බදු ආදායමක් වුවත් රටට අහිමි වීමට ද ඉඩ ඇති බවයි වාහන ආනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කරන්නේ.
~ විශේෂ ලියුම්කරුවකු විසිනි
සබැඳි පුවත් –
