සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 01: රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ගෝලීය තත්ත්වය වඩාත් “අනපේක්ෂිත සහ අවිනිශ්චිත” වෙමින් පවතින අවස්ථාවක රුසියාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අවධාරණය කර තිබේ.
නායකයන් දෙදෙනා ඊයේ(31) දිනයේදී කිර්ගිස්තානයේ බිෂ්කෙක් නුවර පැවති Shanghai Cooperation Organisation (SCO) සමුළුවට සමගාමීව පැවති ද්විපාර්ශ්වික හමුවකදී මේ බව ප්රකාශ කර තිබිණි.
චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ, දෙරටේ නායකත්වය යටතේ රුසියා–චීන සබඳතාවල පදනම තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, දෙරට අතර සහයෝගීතාව ස්ථාවර ලෙස ඉදිරියට ගෙන යා හැකි බවත්ය. වෙළෙඳාම, බලශක්තිය, කර්මාන්ත, ප්රවාහන සහ විද්යා හා තාක්ෂණ ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීමට රුසියාව සූදානම් බව මෙහිදි රුසියානු ජනාධිපති පුටින් සඳහන් කළේය.
ගෝලීය දේශපාලනයේ වේගවත් වෙනස්කම් සහ වැඩිවන අවිනිශ්චිතතාව මධ්යයේ සාමය, සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා ලෝක ජනතාවගේ අපේක්ෂාව නොවෙනස්ව පවතින බවද ෂී අවධාරණය කළේය. දෙරටම SCO තුළ සහයෝගීතාව ශක්තිමත් කරමින් කලාපීය ස්ථාවරත්වය සහ සංවිධානයේ භූමිකාව ඉහළ නැංවීමට කැමැත්ත පළ කර තිබේ.
මෙම හමුව පැවැත්වෙන්නේ රුසියාව යුක්රේන යුද්ධය හේතුවෙන් බටහිර සම්බාධකවලට මුහුණ දෙමින් සිටින අතර, චීනය සමඟ එහි ආර්ථික හා උපායමාර්ගික සබඳතා වඩාත් වැදගත් වී ඇති පසුබිමකය.

