සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්ය පියංකර ජයරත්නට වසර 07ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්රකාශයට පත්කරමිනි.
2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට හිටපු අමාත්යවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි.
රාජ්ය සමාගමක් වන ශ්රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් 330,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල කර තිබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව අද (01) දිනයේදී මෙසේ තීන්දුව ප්රකාශයට පත්කරන ලදී.


