විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (02) පස්වරුවේ සඳහන් කළේය.
මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (03) පස්වරු 03.00 ට පෙර ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් ශ්රෙෂ්ඨාධිකරණය පෙත්සම්වල පාර්ශ්වකරුවන්ට නියම කළේය.
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.


