“සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්නවත් හොඳ නෑ.
අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනුව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගටම පාඩු ලබන වැඩක්. ඔවුන් හිතන විදියට ලංගම සේරම නවත්තල දාල ප්‍රවාහනය පෞද්ගලික අංශයට දෙන්න ඕන. අපි හිතමු එහෙම දුන්න කියල. ඊට පස්සෙ මොකද වෙන්නෙ ? ඊට පස්සෙ මේ රටේ බස් දුවන්නෙ ලාභ ලබන රූට්වල විතරයි. කොළඹට කිලෝමීටර් 15 කට මෙහා තියෙන ගෝනමඩිත්ත කියන ගමට දවසකට බස් හයකට වඩා දුවන්නෙ නෑ. උදේට දෙකයි දවල්ට දෙකයි රෑට දෙකයි. ඔච්චරයි. ඇයි, ඊට වඩා දුවන එක පාඩුයි. ලංගම නැත්නම් දවල්ට ගමනක් ගිහිල්ල හමාරයි.
අන්න ඒ ගැප් එක පුරවන්න තමයි රාජ්‍ය ව්‍යවසාය මැදිහත් වෙන්න ඕන. ඒ නිසාම තමයි ලංගම වගේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවට හෝ ඉතා සුළු ලාභයක් ලැබුවට කමක් නෑ කියල මම කියන්නෙ.
හැබැයි පත්තරවල මේක යන්නෙ වෙන විදියකට. පත්තර ඇතුළු මාධ්‍ය වාර්තා කරන්නෙ ‘ලංගම ගිය වසරේ අච්චරක් පාඩු ලැබුවා /මෙච්චරක් ලාභ ලැබුවා’ කියලයි. ඔය මාධ්‍යම කවදාවත් කියනවද ‘යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන මෙච්‍චරක් පාඩු ලැබුවා’ කියල ? නෑ. ඇයි ? අපි හැමෝම දන්නව රජය හමුදාවක් නඩත්තු කරන්නෙ ලාභ ලබන අරමුණින් නෙමෙයි කියල.
අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනයට එනකොට අපට මේක අමතක වෙනව. ඒකයි ප්‍රශ්නෙ.”
ඉහතින් තියෙන්නේ අපේ වියුණුවේ දමා තිබුණු ප්‍රතිචාරයක කොටසක්. කොහේ හෝ තැනකින් කොපි කරගෙන අලවපු එකක් වෙන්නත් පුළුවන්. අපි ඉහත උපුටනයේ අගින් සාකච්ඡාව පටන් ගනිමු.
ලෝකයේ බොහෝ රටවල රජය විසින් හමුදා නඩත්තු කරනවා. ඇත්තටම මේ වැඩේ කරන්නේ ලාබයක් බලාගෙන තමයි. හමුදාව නඩත්තු කරන එකේ ලාබයක් නැත්නම් හමුදා විසුරුවා හරින්න පුළුවන්නේ. රජයක් විසින් සලසන වෙනත් සේවයක් ගත්තත් එය කරන්නේ කුමක් හෝ ලාබයක් බලාගෙන. වෙනසකට තියෙන්නේ පෞද්ගලික සමාගමක මෙන් මේ සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැති එක පමණයි.
ගණන් හැදුවත් නැතත් රජයක් විසින් සලසන සේවාවන්වල පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඒ පිරිවැය දරන අයට ලැබෙන්න ඕනෑ. රජයක් ලාබ ලැබිය යුතුයි කියන එකෙන් අදහස් කළ හැක්කේ එයයි. රජයකින් ලැබෙන ප්‍රතිලාභවලට වඩා රජය නඩත්තු කිරීමේ පිරිවැය වැඩි නම් රජයක් තිබීමෙන් ඒ රටේ ජනතාවට අයහපතක් මිස යහපතක් වෙන්නේ නැහැ.
වත්මන් ලෝකය දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ස්වාධීන රටවල් විදිහට. ඒ හැම රටකම රජයක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ රජයක් කියා කියන්නේ හැම රටකම වගේ බහුතර මිනිසුන්ගේ තේරීම කියන එකයි. එහෙම නම්, රජයක් නඩත්තු කිරීමේ පිරිවැයට වඩා දෙයක් රජයක් පැවතීම නිසා මිනිස්සුන්ට ලැබෙනවා විය යුතුයි. අඩු වශයෙන් බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා විය යුතුයි.
ලෝකයේ බොහෝ රටවල සාමාන්‍යයෙන් රජය විසින් කරන, පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ටිකක් තියෙනවා. ආරක්ෂක හමුදා නඩත්තු කිරීම, නීතිය හා සාමය රැකීම, නියාමනය වගේ දේවල් වැටෙන්නේ ඔය ගොඩට. ඒ වගේ දේවල් සම්බන්ධව රජයට ඒකාධිකාරයක් තියෙනවා.
කිසියම් ආයතනයකට ඒකාධිකාරයක් තියෙනවා කියන්නේ මිල තීරණය කිරීමේ හා එමගින් ලාබ තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා කියන එකයි. තරඟකාරී වෙළඳපොළක මෙන් ස්වභාවික ලෙස ලාබ නියාමනය වීමේ යාන්ත්‍රණයක් ඒකාධිකාරයක් තුළ නැහැ. එහෙම නම්, ඒ වගේ ආයතනයක් ලාබ ලබනවද කියලා හොයන එකේ ලොකු තේරුමක් නැහැ. ඒකාධිකාරයකට පහසුවෙන්ම ලාබ ලැබිය හැකියි.
හැබැයි ඒකාධිකාරයක් තිබූ පමණින් ස්වභාවික ලෙසම ලාබ ලැබෙන්නේ නැහැ. පහසුවෙන් ලාබ ලැබීමේ හැකියාවක් තිබෙනවා කියන එකෙන්ම ලාබ ලබන බව අදහස් වෙන්නේ නැහැ. කළමනාකරුවන්ගේ අකාර්යක්ෂමතාවය නිසා (දූෂණ, හොරකම්, නාස්තිය, අදක්ෂතාව ඇතුළුව) ඒකාධිකාරී ව්‍යාපාරයක් පාඩු ලබන්න පුළුවන්. එසේ නොවන බවට වග බලා ගන්න එක කොටස් හිමියන්ගේ වැඩක්. රජය කියන ඒකාධිකාරය සැලකුවොත් මේ කොටස්හිමියෝ කියන්නේ රටේ මහජනතාව. තමන්ට අයිති සමාගම පාලනය කරන කළමනාකරුවෝ අකාර්යක්ෂමද කියලා හොයලා බලන එක ඒ අයගේ වැඩක්. හරියට හොයා බැලුවේ නැත්නම් පාඩුව වෙන්නේ කොටස් හිමියන්ට.
සාමාන්‍යයෙන් ලෝකයේ හැම රටකම වගේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ සිදුවෙන දේවල් හැරුණු විට වෙනත් දේවල්ද ඇතැම් රටවල රජයයන් විසින් කරනවා. සමහර රටවල මේ වගේ වෙනත් දේවල්වලටත් රාජ්‍ය ඒකාධිකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් රජයක් විසින් සලසන සේවාවන්වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැහැ. මම මේ කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ගැන නෙමෙයි. කෙළින්ම රජය විසින් සලසන සේවාවන් ගැන. ලංකාවේ සන්දර්භය ගත්තොත් ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් ගැන. ඉන්ධන, විදුලිබලය, ප්‍රවාහනය වගේ දේවල් මේ ගොඩට වැටෙන්නේ නැහැ.
රජය විසින් සලසන සේවාවන් වන ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල්වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැත්තේ එවැන්නක් කළ නොහැකි නිසා. ලාබ ගණන් හදන්න ආදායමක් තිබිය යුතුයි. මේ සේවාවන් වෙළඳපොළක විකුණන්නේ නැති නිසා ලැබෙන ආදායමක් පැහැදිලිව පේන්න නැහැ. ආදායම් පේන්න නැතත්, මේ සේවා සපයන්න වියදම් යනවා. ඒ වියදම් පහසුවෙන්ම ගණන් බැලිය හැකියි.
පේන්න තිබුණත් නැතත් ආදායමක් නැත්නම් වියදම් කරන්න බැහැ. ඒ නිසා, රජයක් විසින් කරන වියදම් එන විදිහකුත් තියෙන්න ඕනෑ. රජයක් විසින් සිදු කරන වියදම් පියවා ගන්නේ අය කරන බදුවලින්.
යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන කීයක් ලාබ ලැබුවාද වගේ ප්‍රශ්නයකට තේරුමක් නැත්තේ මේ සන්දර්භය ඇතුළේ. හමුදාවට බඳවා ගන්නා ප්‍රමාණය තීරණය කරන්න රජයට පුළුවන්. ගෙවන වැටුප් තීරණය කරන්නත් පුළුවන්. බදු අය කරලා යන වියදම පියවා ගන්නත් පුළුවන්. යුද්ධ හමුදාවේ ලාබ පාඩු ගණන් හදනවා නම් හදන්න වෙන්නේ රජය විසින් යුද්ධ හමුදාවේ වියදම් වෙනුවෙන් වෙන් කළ බදු මුදල යුද්ධ හමුදාවේ ආදායමක් ලෙස සලකලා. ඒ අනුව, යුද්ධ හමුදාව ලාබ ලබා තිබුණත්, පාඩු ලබා තිබුණත් එයින් කළමනාකරණයේ කාර්යක්ෂමතාව හෝ අකාර්යක්ෂමතාව පිළිබිඹු වන්නේ නැහැ. ඒ නිසා, ලාබ පාඩු ගණන් බලන එකේ තේරුමක් නැහැ. රජය විසින් සපයන වෙනත් සේවාවක් ගත්තත් එහෙමයි.
රජයක් විසින් සපයන සියලුම සේවාවන්වල පිරිවැය ආවරණය කරගත හැකි තරමේ බදු ආදායමක් රජයට ලැබෙනවා නම්, රටේ ජනතාව කැමැත්තෙන්ම ඒ බදු මුදල ගෙවනවා නම් එයින් අදහස් වෙන්නේ රජය පාඩු නොලබන බවයි. රජයේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සාධාරණය ඉටු කරන බවයි.
එහෙත් එපමණකින් රජයට “ලාබ” වැඩි කරගත නොහැකි බවක් කියැවෙන්නේ නැහැ. රජයකට වුවත් පෞද්ගලික ආයතනයකට මෙන්ම දිගින් දිගටම කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකියි. එසේ සිදු වේ නම්, එක්කෝ බදු ආදායම් (හා රජයේ වියදම්) නොවෙනස්ව තිබියදී ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ යා යුතුයි. එසේ නැත්නම්, ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා යන වියදම ක්‍රමක්‍රමයෙන් පහළ යා යුතුයි.
ආරක්ෂාව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සේවාවන්වල ලාබ පාඩු වෙන වෙනම ගණන් බැලුවේ නැතත් සමස්තයක් ලෙස රජය කියන ආයතනයේ ලාබ පාඩු ගණන් බැලීමක් කෙරෙනවා. රජයක අයවැය කියන්නේ ඒකට. අයවැය හිඟයක් තියෙනවා කියා කියන්නේ රජය පාඩු ලබනවා කියන එකයි. රජය ලාබ ලබනවා නම් අයවැය අතිරික්තයක් තිබිය යුතුයි.
ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා කියා කියන්නේ ආයතනය පවත්වා ගෙන යාම සඳහා ප්‍රාග්ධනය එළියෙන් පොම්ප කළ යුතුයි කියන එකයි. එක්කෝ ණය ගන්න වෙනවා. නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දාන්න වෙනවා.
මේ කතාව රජයකටත් එක සේ වලංගුයි. රජයක් දිගින් දිගට පාඩු ලබනවා නම් ණය ගන්න වෙනවා. ඒ විදිහට ගන්න ණය ආපසු ගෙවීමේ වගකීම තියෙන්නේ කොටස්හිමියන්ට. එහෙම නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දමන්න වෙනවා. ණය ගත්තොත් ඒ සල්ලි ආපසු ගෙවන්නත් කවදා හෝ කොටස්හිමියන්ටම සල්ලි දමන්න වෙනවා. බදු වැඩි කරනවා කියා කියන්නේ රජය කියන සමාගමේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සල්ලි දාන්න කියන එක.
රජය විසින් සල්ලි දමා රජයේම කොටසක් නොවන (රජයට අයිති හෝ අයිති නැති) ආයතනයක් සුබසාධනය කළ හැකියි. මෙහිදී වෙන්නේ රජයේ ආදායම් (බදු) වලින් කොටසක් රජයෙන් පිටතට ගලා යාමක්. නමුත්, රජය කියන ආයතනය සුබසාධනය යටතේ පවත්වා ගෙන යන්න බැහැ. ඒ සල්ලි කොහෙන් හෝ එකතු විය යුතුයි.
රජයක් විසින් සලසන නිශ්චිත සේවාවක ලාබ පාඩු ගණන් බලන්න අසීරු වුවත්, රජයට අයිති ව්‍යවසායයක ලාබ පාඩු පහසුවෙන් ගණන් බලන්න පුළුවන්. අවශ්‍ය නම් රජයකට එවැනි ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරමින් පාඩුවටම පවත්වාගෙන යන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් වුනත් කරන ආකෘතියක් තිබෙනවා. එහිදී වෙන්නේ රජය විසින් අදාළ ආයතනයට ලබා දෙන බදු මුදල් ප්‍රමාණය කලින්ම දෙන එක. එම මුදල අදාළ ආයතනයේ ආදායම්වලට එකතු වෙනවා. ඒ කොටස ඉවත් කළොත් ආයතනය පාඩු ලබනවා පුළුවන්. නමුත්, ලබා දුන් බදු මුදල ආදායමක් සේ සැලකීමෙන් පසුව අදාළ ආයතනය විසින් තරඟකාරී ආයතනයක් තරමටම ලාබ ලබා තිබිය යුතුයි.
කෙටියෙන් කිවුවොත් රජය විසින් රජයට අයිති හෝ අයිති නැති ආයතන සුබසාධනය කරමින් නඩත්තු කළ යුතුයි කියා කාට හෝ යෝජනා කළ හැකියි. හැබැයි ඒ එක්කම එසේ සුබසාධනය කිරීම සඳහා සල්ලි හොයා ගත යුතු ක්‍රමයක්ද යෝජනා කරන්න වෙනවා.
UN