මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී, පසුව අභියාචනයකින් නිදහස් කෙරුණු හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, ශ්රේෂ්ඨාධිකරණයට ඉද්රිඉපත්ව ඇති අභියාචනා පෙත්සමක් ඊයේ (04) අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.
2015 ජනාධිපතිවරණ සමයේදී එවක ජනාධිපති අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්රහාරයක් එල්ල කිරීම තුළින් පුද්ගලයකු ඝාතන කිරීමේ චෝදනාවට වරදකරු වූ ප්රේමලාල් ජයසේකරට 2020 වසරේදී රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
එම දඬුවමට එරෙහිව ඔහු ඇතුළු විත්තිකරුවන් විසින් ගොනුකළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය 2022 වසරේදී ඔවුන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කළේය.
අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිත කර දඩූවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති අතර එම පෙත්සම ඊයේ දිනයේදී අගවිනිසුරුවරයා ප්රමුඛ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙසේ ප්රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියම කළේය.
එමෙන්ම ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.


