රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW :
මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිසිදු විශේෂ සහනයක් ඉල්ලා නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර ආරංචි පැවසුවේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ තවදුරටත් ඔහුව රදවා සිටින අතර, විවිධ චෝදනාවන්වලට ලක්ව රක්‍ෂිත බන්ධනාගාරගත කළ රජයේ ඉහළ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද ඔහු සමග එම වාට්ටුවේ රඳවා සිටින බවයි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම වාට්ටුවෙන් පිටතට පැමිණීම සීමා කර තිබෙන බවද සඳහන් වේ. ඒ, සෙසු එම වාට්ටුවේ රඳවා සිටින සෙසු පිරිස සමග කතාබහ කිරිමට වැඩි වේලාවක් වෙන් කිරීම හේතුවෙන් බව පැවසේ.
වැඩිදුරටත් බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඒ අනුව හිටපු අමාත්‍යවරයා සිය වාට්ටුවෙන් පිටත පැමිණෙන්නේ ඔහු බැලීමට පැමිණෙන අමුත්තන් මුණ ගැසීමට සහ නිවසින් ලබාදෙන ආහාර වේල ලබා ගැනීමට පමණක් බවයි.
එමෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින එන් වාට්ටුවේ මීට පෙර රඳවා සිටි රැදවියන් බිත්ති මත ලියා ඇති කවි රාජිත සේනාරත්න මහතා මහත් ආසාවෙන් කියවා ඇති බව වාර්තා වේ. ඉන් ඔහු සිත්ගත් ඇතැම් කවි පිළිබද ඔහු බැලීමට පැමිණෙන ඇතැම් අමුත්තන්ට සහ බන්ධනාගාර නිලධාරින් සමගද සාකච්ඡා කරන බවද බන්ධනාගාර ආරංචි පැවසුවේය.
එලෙස කවි ලියූ රැඳවියන්ගේ සාහිත්‍ය රසය සහ කලාවට ඇති ලැදියාව සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා එහිදී අදහස් දක්වන බවද බන්ධනාගාර ආරංචි පවසයි.
හිටපු අමාත්‍යවරයා සිය වාට්ටුව තුළදී පුවත්පත් කියවීමට සහ රූපවාහිනිය නැරඹීමටද යම් වේලාවක් වෙන් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේය.
ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය වාට්ටුව තුළ සෙසු රැඳවියන් සමග සුහදව කාලය ගත කරන බවයි.
