ක්‍රම වෙනසක් අවශ්‍යය කරන බවට ඉඟි කළ තරගයකින් ශ්‍රී ලංකාවට පරාජය

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 07, කොළඹ LNW:

ශ්‍රී ලංකා මාල දිවයින පාපන්දු තරගය නිමාවට පත් වූයේ ගෝල 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරායට පත් වෙමින්ය.මාල දිවයින ඉදිරියේ පරාජය වීම මෑත ඉතිහාසය ගත් විට අසාමාන්‍ය දෙයක් නොවේය.එහෙත් මෑත කාලයේ දුටු ශ්‍රී ලංකා කණ්ඩායම දකින්නට නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.නැතිනම් ලෝක ශ්‍රේණිගත කිරීම් ගත්තද මාල දිවයින සිටින්නේ 171 වන තැන වන අතර ශ්‍රී ලංකාව සිටින්නේ 196 වන තැනය.එහෙත් මෙහිදී වඩාත්ම වැදගත් දේ විදේශිය සම්භවයක් සහිත ක්‍රීඩකයින් කැඳවා හෝ දකුණු ආසියාතික අභියෝගයන් මැඬලිය නොහැකි බව සහතික වීමය.නැතිනම් එය මැඬලීම සඳහා වෙනස් ආකාරයක මඟ පෙන්වීමක් අවශ්‍යය කරන බව සහතික වීමය.


විදේශිකයන් කැඳවීමේ අරමුණ ජයග්‍රහණයෙන් ඔබ්බට ගිය ශක්තිමත් පාපන්දු සංස්කෘතියක් ස්ථාපිත කිරීම දක්වා රැඟෙන යා යුතු එකකි.ඒ නිසා මේ කැඳවන ක්‍රීඩකයින් දේශිය තරග පිටියට වෙනත් ආකෘතියක් ඇතුළේ හෝ සකසා ගෙන ඒම වැදගත්ය.අයිපීඑල්,එල්පීඑල් පන්නයේ පාපන්දු තරගාවලියක් වෙනුවෙන් දේශිය පිටියේ ඉඩ සකස් වීම අවශ්‍යය කරන කාරණයක් ලෙස අප පෙන්වා දුන්නේ මේ පොළවේ වැඩි පිරිසකට මේ දක්ෂයන්ගේ අත්දැකීම් ලබා ගැනීමේ අවශ්‍යයතාවය පදනම් කරගෙනය.


මාල දිවයින යම් ඉසිඹුලෑමකින් ඉනික්බිති මේ නැවත ජාත්‍යන්තර පිටියට පිවිසෙන මොහොතේ සාක්ෂාත් කළේ ශ්‍රී ලංකාව ඉක්මවා ගිය දේශිය පාපන්දු සංස්කෘතියක් කුමන තත්ත්වයක් යටතේ වුව මාල දිවයින නඩත්තු කරන බවය.ඔවුන්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට අවුරුදු 16 කොළු ගැටයන් පවා සොයා ගැනීමට හැකි වන්නේ ඒ සංස්කෘතියේ බර හේතුවෙන්ය.ඔවුන් දේශීය පිටිය පෝෂණය කරමින් ශක්තිමත් කරමින් කටයුතු කරද්දී අපේ ප්‍රධාන අවධානය යොමු වි ඇත්තේ විදේශීය ක්‍රීඩා පිටි වෙතය.එහි හපන්කම් පාන අයගෙන් ලාංකේය සම්බන්ධයක් සොයා ගෙන මෙරටට කැදවීම අපේ ඉලක්කය වී ඇත.


ඔවුන්ගේ දක්ෂතා සහ ඒ හරහා ලැබෙන සහ ලැබුණ ජයග්‍රහණ සම්බන්ධයෙන් අර්බූදයක් නැතත්,මෙය සදාකාලිකව කළ නොහැකි දෙයකි.ඒ නිසා මේ විශිෂ්ඨයන් ජාතික කණ්ඩායමට සීමා නොවුණු පුළුල් ලාංකේයත්වයක් වෙනුවෙන් මානසිකව සකස් කර දේශිය ක්‍රීඩා පිටියට කැඳවිය යුතුව ඇත.පිටතින් බෝතල් කර වතුර ලැබෙන නිසා අපේ දිය උල්පත් සිඳ දැමිය යුතු නැත.ඒවා සුරක්ෂිත කරමින් ඒ වතුරෙන් බෝතල් පිරවිම අපේ අපේක්ෂාව විය යුතුය.


දේශිය තරග ක්‍රියාත්මක නොවන,දේශීය වශයෙන් ක්‍රීඩාවේ තරගකාරී ගුණාත්මක බව ඉහළ නොයන සංස්කෘතියක රටින් ගෙනත් ජාතික කණ්ඩායමට ගැස්සවීම තුළික් ලංකාවේ පාපන්දු සංස්කෘතියේ අනන්‍යතාවය වෙනස් වෙයිද? මාල දිවයින සමඟ වූ තරගයෙන් ඉච්ඡා භංගත්වයට පත් වූයේ අප විසින් අලුතෙන් විශ්වාස කරන්නට පටන් ගත් ක්‍රමයය.


තරගයේ පළමු විනාඩියේ සිටම මාල දිවයින තරගයේ පෙරමුණ ගත්තේය.දෙවන භාගයේ ආරම්භක විනාඩි කිහිපය වඩාත් වේගවත් ක්‍රීඩා රටාවක් මඟින් මාල දිවයින අන්දමන්ද කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද,මාල දිවයින දෙවන භාගයේ අඩක් ගෙවෙන විට එම රිද්මය හඳුනාගෙන ප්‍රතික්‍රියා පවත්වාගෙන යන්නට පටන් ගත්තේ, පළමු අර්ධයේ එකතු කළ ගෝල දෙකට තවත් ගෝලයක් එකතු කරමින් ලකුණු පූවරුව 3-0 ක් ලෙස සටහන් කරමින්ය.


සමහර විට දැල ආසන්නයේම ලැබුණු නිදහස් පහර සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩුරාන්ට් සමත් වූවානම් ලකුණු තත්ත්වය 2-1 ක් වන්නට තිබිණ.එසේ වූවානම් ශ්‍රී ලංකාවට නැවත තරගයට ඇතුළත් වන්නට හැකියාව තිබිණ.එය වැරදී යාම ද පරාජයට සහ පරාජය දරුණුවීමට හේතුවක් විය.යම් මට්ටමතට විනිසුරුවන්ගේ ද සහයක් මාලදිවයිනට හිමිවන බවත් පෙනෙන්නට තිබිණ.එහෙත් ඒ කිසිවක් අමතක කළ විට නායක සුජාන් පෙරේරා තරගයට පෙර පැවසූ පරිදි ක්‍රියාත්මක වූ දින 6 පුහුණුව තුළ එකිනෙකා සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලබා ගෙන නොතිබුණ බව පැහැදිළි විය.මාල දිවයන හමුවීමට පෙර බෘනෘයි,චීන කායිපේ,තායිලන්තය වැනි කණ්ඩායම් සමඟ තරග වැදී ගොඩ නඟාගත් විශ්වාසය නිසා මාල දිවයින අඩුවෙන් තක්සේරු කරා වන්නටද හැකිය.


එහෙත් මාල දිවයින සිටියේ ඉතා ඉහළ අධ්‍යයනයකය.ඒ තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට එරෙහිව ඔවුන්ට සැළසුම් තිබුණ බවක් දකින්නට තිබිණ.මේවා බිඳ දමන්නටනම් නිරන්තරයෙන් ගලා යන පාපන්දු ක්‍රීඩාවක් සහිත පොළවක් බවට ශ්‍රී ලංකාව පත් විය යුතුය.එයට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න දැන් සාකච්ඡාවට ගත යුතුව ඇත.විදේශිය ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණ නඩත්තු කරන අතරේම ලාංකිකයන් වන ඔවුන්ගෙන් මීට වඩා දේශිය වශයෙන් පවතින පාපන්දු ක්‍රීඩාව පෝෂණය කරන්නට උපකාර ගන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතුය.
කර දිය වලල්ලෙන් එහා සිඳ්ධවෙන පාපන්දු ක්‍රීඩාව ගැන සොයමින් එහි ඇති ලාංකේය සම්භවයක් ඇති දක්ෂයන් සෙවීම තරමට ලංකාවේ දිස්ත්‍රිත්ක 24 පුරාම පවතින පාපන්දු ක්‍රීඩාවේ දක්ෂයන් සොයන සහ ඒවා නඩත්තු කරන සහ පෝෂණය කරන වැඩ පිළිවෙලකට ශ්‍රී ලංකාව ගමන් කළ යුතුව ඇත.ඒ සඳහා ලංකාවට ක්‍රීඩා කරන විදේශිය සම්භවයක් ඇති ක්‍රීඩකයින්ගේ සහය ලබා ගැනීමට සැළසුම් කළහොත් ලංකාවේ පාපන්දුවට රට තුළින් ද කණ්ඩායම සකස් කිරීමේදී තරගක් ඇති ක්‍රීඩකයින් හඳුණාගත හැකිය.


ලංකාටෙ සම්බන්ධයක් ඇති මේ ක්‍රීඩකයින් ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට වඩා දක්ෂ වුණේ ඇයි කියන කාරණය ඇත්තේ ඔවුන් ක්‍රීඩා කරන රටවල පහසුකම් සහ දක්ෂකම් වර්ධනය සම්බන්ධයෙන් වන වැඩ පිළිවෙල සමඟය.ශ්‍රී ලංකාවේ ඒ තත්ත්වය නිර්මාණය කිරීමට අවධානය යොමු නොකොට,එ සඳහා මේ සංක්‍රමණික ක්‍රීඩකයන්ගේ සහය සහ සහභාගීත්වය මේ පොළවේ දේශිය තරග සඳහා යොදා ගැනිමේ සැළසුමකින් තොරව ශ්‍රී ලංකාවට දියුණු පාපන්දු සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට නොහැකිය.ඒ සංස්කෘතිකමය දියුණුව සහ පොහොසත්කමෙන් අප මාල දිවයින පරාජය කළ ද ඉදිරියෙන් සිටින්නේ මාල දිවයිනය.ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරගය වෙනුවෙන් කැප වුණොත් මාල දිවයින කණ්ඩායම දෙවැනි කළ හැකි දක්ෂතා ඔවුන් සතුව ඇත.එහෙත් අමතක නොකළ යුත්ත මාල දිවයිනේ දේශීය පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් සකස් වී ඇති ව්‍යහුය ලංකාවට වඩා ඉදිරියෙන් පවතින බවය.එය සකස් කිරීම වෙනුවෙන් වන වැඩ පිළිවෙලක් අවශ්‍යය කරන බවට මාල දිවයින අපට දුන් මේ සංඥාව නොදැක්කා සේ අප ඉදිරියට යන්නේනම් ලාංකේය පාපන්දුව සම්බන්ධයෙන් වන අනාගතය තව දුරටත් අඳුරු වනු ඇත.


විදේශ ක්‍රීඩකයින් යොදා ගැනීමෙන් ජය ගත හැකිය.එහෙත් එය මීට වඩා වෙනස් සැළසුමකින් ක්‍රියාත්මක විය යුතුව ඇත.එයින් පොළවේ පාපන්දුව පෝෂණය නොවන්නේනම් විදේශවල පාපන්දු ක්‍රීඩා කරන ලාංකේය සම්භවයක් සහිත පිරිස අඩු වෙන්නට අඩු වෙන්නට ලංකාවේ පාපන්දු ජයග්‍රහණ සම්බන්ධ බලාපොරොත්තු ද නැති වී යනු ඇත.හැම පසුබැසීමකදීම සිඳුවන්නට බල කරන පුටු මාරු අවශ්‍යය නැත.පුටුවල සිටින අයම ආකල්ප සහ සැළසුම්වලින් වෙනස් විය යුතුව ඇත.ජයගැනීමට නොහැකිකම නොව ජය ගැනීමට සැළසුම් අලුත්විය යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...

වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : ශ්‍රී ලංකා පොලිසිය...

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?