සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනපතිගෙන් කොන්දේසියක්!

Date:

කොළඹ LNW:දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොණරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්කගත සැලැස්මක් තිබිය යුතු බවත් පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් නොකිරීම සහ ඒවායේ ව්‍යාපෘති කාලය දීර්ඝ කරමින්, ඇස්තමේන්තුගත වියදම ඉහළ නැංවීම හේතුවෙන් එම ව්‍යාපෘතින්හි ප්‍රතිලාභ මෙන්ම ආයෝජනය කරන මුදලේ ප්‍රතිලාභද රටට අහිමි වු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වසරේ සිට ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කිරීමට කටයුතු කළ යුතු බවයි එහිදී ඔහු අවධාරණය කළේ.

මොණරාගල දිස්ත්‍රික්කය තුළ 2025 වසරට අදාළව විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සංවර්ධන අවශ්‍යතා විමසා බැලීමද එහිදින් සිදු විය.

ජනතාවට අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කිරීමට සූදානම් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය සතු මුදල් ගමට ගලා යාමට නම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

කොටියාගල, කැබිලිත්ත රක්ෂිතයේ මායිම් ලකුණු කිරීම හේතුවෙන් ගොවි බිම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුව තිබුණි.

ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර දිස්ත්‍රික්කයේ විවිධ රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම වසරේ රාජ්‍ය සේවයට අලුතින් 62,000ක් බදවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, අවශ්‍යතාව පරිදි එය ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ යටතේ මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙසද නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

එමෙන්ම රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අද ගැටලුව වී ඇත්තේ රාජ්‍ය සේවය බරක් වීම නොව, රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම වෙනුවෙන් දරණ පිරිවැය අධික වීම බවද පෙන්වා දුන් අතර ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීමට මෙන්ම පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමටද ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ඇතැම් වාරිමාර්ග ව්‍යාපෘති සඳහා කෙතරම් මුදල් වැය කළද දීර්ඝ කාලයක් තිස්සේ එම ව්‍යාපෘති අවසන් වී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා පරිමාණ වාරිමාර්ග ව්‍යපෘති පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමේ අවශ්‍යතාවද සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන විශාල ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළ යුතු බවත්, එම ව්‍යාපෘති සැබැවින්ම අවශ්‍යද යන්න සමාලෝචනය කළ යුතු බවත් එහිදී ඔහු ප්‍රකාශ කළේය. දීර්ඝ කාලයක් තිස්සේ වැඩ අවසන් කර නොමැති ආණ්ඩුවේ ඉදිකිරීම්වල අවශ්‍යතාව හඳුනා ගනිමින් ඊට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දී තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, එච්.එම්. ධර්මසේන, රුවන් විජේවීර, සරත් කුමාර යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් එම්.එම්. විජේනායක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...

වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : ශ්‍රී ලංකා පොලිසිය...

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?