“ශ්‍රී ලංකාව සුවපත් වෙමින් දිගු හා අභියෝගාත්මක මාවතක ගමන් කර ඇත” : ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දෙයි.





රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ LNW :

සමගි සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා වන දිගු හා දුෂ්කර ගමනේදී, යුද්ධය අවසන් වීම අභියෝගවල අවසානය නොව එහි ආරම්භය පමණක් බව පෙන්වා දෙමින්; සුවපත් වීම, සමගිය සහ ප්‍රතිසංස්කරණ සඳහා වන දේශීය ක්‍රියාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ මානව හිමිකම් මණ්ඩලය ඇමතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තනාපති සුමිත් දසනායක මහතා ප්‍රකාශ කර ඇත.

මානව හිමිකම් මණ්ඩලය ඇමතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තනාපති සුමිත් දසනායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් හා සහයෝගීතාවයෙන් යුතුව මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අඛණ්ඩව කටයුතු කර ඇති බවයි.


එසේම, මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසංධානය යන ක්ෂේත්‍රයන්හි තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා එම ක්‍රියාවලීන් දේශීය වශයෙන් මෙහෙයවනු ලබන, දේශීය යථාර්ථයන්ට අනුකූල වන ඒවා විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.


ආර්ථික, සාමාජික සහ දේශපාලනික පරිවර්තනයක් සඳහා වන ජනවරමකින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී වසර දෙකක් පිරෙන්නේ මෙම සැප්තැම්බර් මාසයට බව පෙන්වා දුන් ඒ මහතා, ‘දිට්වා’ හානිය සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද රජය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාව 2025 වසරේදී සියයට පහක තාත්වික දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනයක් වාර්තා කර ඇති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සහ 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර හරහා දූෂණ විරෝධී වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇති බවද පැවසීය


මානව හිමිකම් මණ්ඩලයේ 60/1 යෝජනාවට අදාළව අදහස් දැක්වූ තනාපති දසනායක මහතා, බාහිර සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණයේ ධුර කාලය දීර්ඝ කිරීමේ වගන්ති ඇතුළුව එම යෝජනාවට ශ්‍රී ලංකාව සහාය නොදක්වන බව නැවතත් අවධාරණය කළේය. එවැනි බාහිර යාන්ත්‍රණයන් මගින් මතභේද ඇතිවීමේ අවදානමක් පවතින බවත්, දැනට ක්‍රියාත්මක වන දේශීය ක්‍රියාවලීන්ට එය බාධාවක් වන බවත් ඔහු තර්ක කළේය.
අපරාධ පරීක්ෂණ, දූෂණ විරෝධී උත්සාහයන්, ප්‍රතිසංධාන සහ සැමරුම් වැඩසටහන් ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සිදුව ඇති ධානාත්මක වර්ධනයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් පිළිගැනීම ඔහු අගය කළේය.


පසුගිය වසර තුළ රජය විසින් කරන ලද ප්‍රතිසංස්කරණ සහ පියවර මාලාවක් ද තනාපතිවරයා මෙහිදී ගෙනහැර දැක්වීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වන සහ අවභාවිතයන් වැළැක්වෙන පරිදි නව පනතක් මගින් එය ප්‍රතිස්ථාපනය කිරීමට නියමිත බව ඔහු පැවසීය. යෝජිත නව පනත් කෙටුම්පත දැනට අවසන් අදියරේ පවතින අතර ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔන්ලයින් සුරක්ෂිතතා පනතට (Online Safety Act) අදාළ සංශෝධන සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡා අවසන් කර ඇති අතර, යෝජිත සංශෝධන දැනට අවසන් කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.


අතුරුදහන් වූවන් පිළිබඳ තැනැත්තන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය ඇතුළු ස්වාධීන ප්‍රතිසංධාන ආයතන, වැඩිදියුණු කළ සම්පත් සහ සහයෝගය ඇතිව සිය කාර්යභාරයන් අඛණ්ඩව ඉටු කරයි.
තවද, පවතින ප්‍රතිසංධාන ආයතනවල කාර්යභාරයන් එකිනෙක මත පතිත වීම (overlaps) වැළැක්වීම සඳහා සත්‍යය සහ ප්‍රතිසංධාන කොමිෂන් සභාව සඳහා වන කෙටුම්පත් රාමුව දැනට සමාලෝචනය කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.


ස්වාධීන පරීක්ෂක කාර්යාලයක් පිහිටුවීමේ යෝජනා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් අඛණ්ඩව පරීක්ෂා කරමින් සිටින බවත්, ඉඩම් නිදහස් කිරීම, වටිනාකම් තක්සේරු කිරීම සහ වන්දි ගෙවීම් සම්බන්ධ ගැටලු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අමාත්‍යාංශ අතර කමිටුවක් මගින් සමාලෝචනය කරමින් පවතින බවත් තනාපතිවරයා හෙළි කළේය.


යුද්ධය පැවැති සමයේ වලංගු ගමන් බලපත්‍ර නොමැතිව රට හැර ගිය ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට ස්වේච්ඡාවෙන් සහ ආරක්ෂිතව ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා වූ විශේෂ ආගමන විගමන පියවරයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව ද ඔහු පැහැදිලි කළේය.
මලයග දෙමළ ජනතාවගේ පවතින දීර්ඝකාලීන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් තනාපති දසනායක මහතා පැවසුවේ, ප්‍රථම වතාවට රජය ඔවුන්ගේ කනස්සල්ල සහ ගැටලු පිළිබඳව පුළුල් ලෙස සහ කඩිනමින් අවධානය යොමු කරමින් සිටින බවයි.
යම් තැනැත්තෙකුගේ සමාජ තත්ත්වය හෝ පසුබිම නොසලකා, යම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්නම් ස්වාධීන ජාතික ක්‍රියාවලීන් හරහා ඒ පිළිබඳව විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය.


පරීක්ෂණ නැවත ආරම්භ කිරීම සහ දැනට පවතින නෛතික කටයුතු ඇතුළුව ඉහළ අවධානයක් දිනාගත් නඩු කිහිපයක මෑතකදී ගන්නා ලද පියවරයන් මගින් වගවීම සහ නීතිය සමානව ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ ඇති කැපවීම පෙන්නුම් කරයි.
ජාතිවාදය, ආගමික අන්තවාදය හෝ බෙදීම් ඇතිකරන දේශපාලනය නැවත හිස එසවීම වැළැක්වීමට රජය කැපවී සිටින බවත්, එම පොරොන්දුව ජනාධිපති දිසානායක මහතා විසින් අවස්ථා ගණනාවකදීම අවධාරණය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ හරහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට දැරූ උත්සාහයන් ද තනාපතිවරයා මෙහිදී කැපී පෙනෙන ලෙස සඳහන් කළේය. මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නඩු ගොඩගැසීම අඩු කිරීම, අධිකරණ විශේෂඥතාව රැකගැනීම සහ දිවයින පුරා අධිකරණ පද්ධතියට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීමයි.


බන්ධනාගාර සම්බන්ධ ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, බන්ධනාගාර පාලනය වැඩිදියුණු කිරීමට, තදබදය අඩු කිරීමට සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීමට රජය ඩිගුකාලීන හා ත්වරිත පියවර ගනිමින් සිටින බවයි. මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදුවූ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ කමිටුවක් මගින් විමර්ශනය කරමින් පවතින බව ද ඔහු කියා සිටියේය.


තනාපති දසනායක මහතාගේ කතාවේ ඉතා වැදගත් කොටසකදී, ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණයෙන් පසු ගමන දීර්ඝකාලීන ක්‍රියාවලියක් ලෙස නැරඹිය යුතු බව අවධාරණය කළේය.


"ශ්‍රී ලංකාව දිගු හා අභියෝගාත්මක මාවතක ගමන් කර ඇත. යුද්ධය අවසන් වීම අභියෝගවල අවසානය නොව, සුවපත් වීම, නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංධානය සඳහා වූ දිගු ක්‍රියාවලියක ආරම්භයයි," ඔහු පැවසීය.


එවැනි ක්‍රියාවලියක් සඳහා ජාතික හිමිකාරිත්වයට බාධා කරන ප්‍රවේශයන් වෙනුවට, අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිගැනීම, අවබෝධය සහ දිරිගැන්වීම අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


මණ්ඩලයේ මූලධර්මවලට අනුකූලව, ශ්‍රී ලංකාව දෙස සමතුලිත, වෛෂයික සහ ගොඩනගාත්මක ආකාරයකින් බලන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටිමින් තනාපතිවරයා සිය කතාව අවසන් කළේය.


සියලුම පුරවැසියන් උදෙසා සාමකාමී, සමගි සම්පන්න සහ සැමදෙනාම ඇතුළත් කරගත් අනාගතයක් ගොඩනැගීමේ උත්සාහයන් සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය පතන අතරම, ජාතික ආයතන සහ ජාතික ක්‍රියාවලීන් හරහා සාධාරණත්වය, ප්‍රතිසංධානය, වගවීම සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...