කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 472කට ආසන්න ප්රමාණයක් පසුගියදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව LNW වෙබ් අඩවියේ අද (08) පෙරවරුවේ පළවූ පුවතක සාවද්ය කරුණු අඩංගුවී තිබූ බැවින් අප විසින් වහාම එම පුවත ඉවත් කරන ලදී.
අපගේ තොරතුරු මූලාශ්රවල ගැටලුවක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ අතර එහිදී අදාළ පුවතින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා යම් අපහසුතාවකට පත්වූයේ නම් අපි ඒ සම්බන්ධයෙන් ඒ මහතාට අපගේ කණගාටුව ප්රකාශ කරන්නෙමු.
සිද්ධියට අදාළ නිවැරදි පුවත පහත පරිදි වේ.
කොළඹ වරායේ කන්ටේනර් දෙකෙන් හමුවූ අයිස් තොගයට අදාළව ඇල්ලූ සැකකරුවන් සියලු දෙනා නිදහස් වෙන ලකුණු ??
කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 472කට ආසන්න ප්රමාණයක් පසුගිය 31 වනදා අත් අඩංගුවට ගත් අතර මෙම අයිස් මත්ද්රව්ය තොගය මෙරට ගොඩබිම සිදුකළ වැටළීමකදී හමුවූ විශාලතම අයිස් මත්ද්රව්ය තොගය බවත් මේවායේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික බවත් පැවසුණි. මෙම සිද්ධියට අදාළව දෙමටගොඩ ප්රදේශයේ පදිංචි ව්යාපාරිකයකු, පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ද පොලීසිය විසින් ආසන්න දින කිහිපයකදී අත් අඩංගුවට ගනු ලැබිණි.
කෙසේවෙතත් මේ වනවිට මෙම වැටළීම සම්බන්ධයෙන් පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව එම ඒකකය SIU/222/2026 අංකය යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර වැටළීම් සිදුකළ නිලධාරීන්ගෙන් ප්රශ්න කිරීම ද ඊයේ (07) දිනයේ සිට ආරම්භ කර ඇති බවත් ආරංචිමාර්ග ප්රකාශ කළේය. එහිදී ඔවුන් මෙම වැටළීම පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමේදී කොළඹ මහේස්ත්රාත් අධිකරණ අංක 01ට නොමැතිව කොළඹ මහේස්ත්රාත් අධිකරණ අංක 06ට කරුණු වාර්තා කළේ ඇයිද යන්න සහ අදාළ මත්ද්රව්ය තොගය පිළිබඳ තොරතුරු ලැබී දින 13ක් ගතවන තෙක් එම කන්ටේනර් විවෘත නොකළේ ඇයිද යන කරුණු පිළිබඳව මූලික අවධානයක් යොමුකර ඇති බවත් සඳහන්.
මේ ආකාරයෙන් වැටළීම් සිදුකළ සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුවන පසුබිමක් තුළ අදාළ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නොහැකි වේ. එය නීතිමය කාරණයකි.
ඒ අනුව, මේ ගැටලුකාරී තත්වය හේතුවෙන් මෙම අතිවිශාල මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාම නිදහස් වීමට වුවද බොහෝදුරට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.


