යොෂිත රාජපක්ෂ නඩුවේ දෙහිවල ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :

කොළඹ මහාධිකරණයේ විභාග වන යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඉදිරි නඩු දිනයේදී අවසන් කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.


රුපියල් මිලියන 73 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි පහක් නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.


කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගන්නා ලදී.


පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන අයිරින් සිල්වා මහත්මිය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ දෙහිවල, ගාලු පාර, නොං 163/2 ලිපිනයේ පිහිටි ඉඩම යෝෂිත රාජපක්ෂ මහතා විසින් තමාගෙන් මිලදී ගත් බවයි.


පැමිණිල්ලේ සාක්ෂිකාර අයිරින් සිල්වා මහත්මිය දුන් ප්‍රකාශයේ සාරාංශය..

“දෙහිවල, ගාලු පාර, නොං 163/2 පිහිටි ඉඩම අයිතිව තිබුණේ මට සහ මගේ සහෝදර සහෝදරියන්ටයි. පසුව අපි එම දේපළ විකිණීමට තීරණය කළ අතර මමද ඊට එකඟ වුණා. යෝෂිත මහතා මෙම ඉඩම මිලදී ගන්නා බව අපට දැනුම් දුන්නා. පසුව අපි මිල ගණන් සාකච්ඡා කිරීම සඳහා යෝෂිත මහතාට අයත් එහා ගෙදරට ගියා. ඉඩමේ මගේ කොටස සඳහා රුපියල් මිලියන 3.32 ක් ගෙවන බව යෝෂිත මහතා මට පැවසුවා. විකිණීම අවසන් වූ පසු මට රුපියල් මිලියන 3.37 ක් ලැබුණා. ඔප්පු අත්සන් කළේ අවස්ථා දෙකකදීයි. ඩේසි ෆොරස්ට් නැමැති තැනැත්තියක් කිසිදු ලේඛනයකට අත්සන් කිරීමට පැමිණියේ නැහැ.”

අනතුරුව සාක්ෂි දුන් පැමිණිල්ලේ තවත් සාක්ෂිකාරියක වන ගමගේ වයලට් ප්‍රනාන්දු මහත්මිය, දෙහිවල, ගාලු පාර, නොං 163/2 පිහිටි ඉඩම යෝෂිත රාජපක්ෂ මහතා වෙත විකුණූ බව ප්‍රකාශ කළ අතර, ඇගේ ඉඩම් කොටස සඳහා මුදල් ගෙවූ ආකාරය පැහැදිලි කළාය.


පැමිණිල්ලේ සාක්ෂිකාර ගමගේ වයලට් ප්‍රනාන්දු මහත්මිය දුන් ප්‍රකාශයේ සාරාංශය:

“දෙහිවල, ගාලු පාර, නොං 163/2 පිහිටි දේපළ විකිණීමට මගේ සහෝදරයන් සහ මම තීරණය කළ අතර මමද ඊට එකඟ වුණා. ඉඩම මිලදී ගැනීම ගැන සාකච්ඡා කළේ යෝෂිත මහතායි. පසුව මිල ගණන් සාකච්ඡා කිරීම සඳහා යෝෂිත මහතාගේ මව වන ශිරන්ති මහත්මියගේ නිවසට අපට ඇරයුම් ලැබුණා. සාකච්ඡා මෙහෙයවූ යෝෂිත මහතා මගේ කොටස සඳහා මුලින්ම රුපියල් මිලියන 2.5 ක් යෝජනා කළා. නමුත් මට රුපියල් මිලියන 5 ක් අවශ්‍ය බව මම පැවසුවා. දේපළ විකිණීමෙන් පසු මට රුපියල් මිලියන 3.3 ක් ලැබුණා. එම මුදල් ගෙවීම සිදු කළේ යෝෂිත රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු නාමල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදීයි. ඉඩම මිලදී ගන්නේ යෝෂිත මහතා බව මම සැමවිටම තේරුම් ගෙන සිටියා. ඩේසි නැමැති අයෙකු මෙම දේපළ මිලදී ගන්නා බවක් මම කිසිවිටෙකත් දැන සිටියේ නැහැ. ඩේසි ෆොරස්ට් නැමැති අයෙකු ගැන මම දන්නේ නැහැ, එවැනි අයෙකු මට හමුවීත් නැහැ.”

ඊට පසුව පැමිණිල්ලේ සාක්ෂිකාර පාලිත ගමගේ මහතා සාක්ෂිදීම සඳහා කැඳවනු ලැබීය. ප්‍රශ්න කිරීම් අතරතුර, ඔහු මීට පෙර ලබා දී තිබූ පිළිතුරු වලට පරස්පර වන පරිදි නැවත නැවතත් සාක්ෂි ලබා දුන්නේය.


එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සාක්ෂිකරු විමර්ශකයින් හමුවේ මෙන්ම අධිකරණය හමුවේද අඛණ්ඩව පරස්පර හා අසත්‍ය තොරතුරු සපයා ඇති බව පෙනී යන බවයි.


සාක්ෂිකරු සාක්ෂි ලබා දෙන අතරතුර, තමා මීට පෙර ප්‍රකාශ කළ ඇතැම් කරුණු අසත්‍ය බව කිහිප වතාවක්ම පිළිගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වගන්තිය යටතේ මෙම සාක්ෂිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පැමිණිල්ල අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.


එබැවින්, අවශ්‍ය වුවහොත් නැවත කැඳවීමට හැකි වන පරිදි සාක්ෂිකරු මුදා හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ රුපියල් මිලියන 2 ක ඇපකරයක් මත සාක්ෂිකරු මුදා හැරීමටත්, ඉදිරි සෑම නඩු දිනයකම අධිකරණයේ පෙනී සිටින ලෙසටත් ය.


නඩුව වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් 2 වන දිනට නියම වූ අතර, එදිනට ඉතිරි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.


නඩු විභාගය අතරතුර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ ඉදිරි නඩු දිනයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.


එදිනට පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, අවශ්‍ය වුවහොත් අතිරේක සාක්ෂිකරුවන් කැඳවීමට අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර අවසර ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


මෙම නඩුව නැවත ඔක්තෝබර් 2 වන දින කැඳවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...