ලෙයට ලෙය ඉල්ලන යුධ උමතුවට ආධාර පිට ආධාර දුන් බයිඩන් දැන් කියන කතාව!

Date:

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මරු කතාවක් කියනවා. උන්නැහේ ඊයේ (13) කියනවා යුක්රේන – රුසියානු යුද්ධයේ යුක්රේනය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා ලු, ඒත් එහි හැරවුම් ලක්ෂයක් දැකීම තවමත් අපහසුයි ලු.

ඒ විතරක් නෙමෙයි, කවුරු හරි අහනවා නම් යුක්රේනය මේ වන විට යුද්ධයේ පසුවන ස්ථානය හැරවුම් ලක්ෂයක් වෙයි ද කියලා, ඊට ලබා දිය හැකි පිළිතුරක් නැහැ කියලත් ඇමරිකානු ජනපතිවරයා කියනවා.

එහෙම කියලා නතර නොවන බයිඩන් සීයා මෙය තවදුරටත් දිගු ගමනක් වනු ඇතැයි තමාට සිතෙන බවත් කියනවා.

පහුගිය කාලෙ පුරාවටම, ඒ කියන්නේ ඉකුත් පෙබරවාරි 24 දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සිදුවූ දා පටන් අද වන තුරු, යුක්රේනයට වැඩිම යුධ ආධාර ප්‍රමාණයක් ලබා දුන් රට එක්සත් ජනපදය බව රහසක් නෙමෙයි. මේ වන විට ඇමරිකාව විසින් යුක්රේනයට ලබා දී ඇති යුධ ආධාරවල (යුධ ආයුධ ද ඇතුළුව) සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15.2 ඉක්මවා ඇති බව පසුගිය දිනක රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා.

ඒ මදිවට, මෙම යුධ ආධාර දීර්ඝ-කාලීන වශයෙන් ලබා දීමට තමා අපේක්ෂා කරන බවට බයිඩන් උන්නැහේ එරට කොංග්‍රසය වෙතත් දැනුම් දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතරේ, ඉතිහාසයේ හටගත් භයානකම විනාශයන් අතරින් එකක් වන 80 දශකයේ හටගත් ෂර්නොබිල් හි න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ පිපිරීම යළි සිහි කැඳවමින් යුක්රේනයේ සපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අසළ මුන් දෙගොල්ල ගහ ගන්නවා. නිකමට හරි එක ප්‍රහාරයක් වත් මෙම න්‍යෂ්ඨික බලාගාරයට වැදුනොත්, නිකමට හරි නියුක්ලියර් රියැක්ටරයක් පුපුරා ගියොත්, යුධ උමතුව කෙසේවෙතත් දෙවන වරටත් සෝවියට් භූමිය තුළ මිනී කඳන් ගොඩගැසේවි.

රුසියානු ආක්‍රමණය ආරම්භයේදී පැවති තත්ත්වයට වඩා යුද්ධය ඉදිරියට ඇදීගෙන යනකොට පැවති තත්ත්වය එන්න එන්නම වෙනස්වෙන්න ගත්තා. මේ යුද්ධය ගෝලීය වශයෙන් බරපතල අර්බුදයන් රැසකට හේතු සාධක වුනා. ආහාර අර්බුදයක් ඇතිවුනා, බලශක්ති අර්බුදයක් ඇතිවුනා, ආර්ථික අර්බුදයක් ඇතිවුනා.. ඒ අර්බුදවලින්, යුද්ධයක් නොපැවතියත් අපි වගේ මිනිස්සු ජීවත්වන පුංචි රටවල් වලට නැත්තටම නැතිවෙන්න කෙළවුනා.

බයිඩන් සීයා යුක්රේනයට යුධ ආධාර වශයෙන් දීලා තියන මුළු මුදල ශ්‍රී ලංකා රුපියල්වලට හැරෙව්වොත් කීයක් විතර ඇති ද? එය රු. ට්‍රිලියන 5.5 පමණ වනවා.

ලංකාව පිටරවල් වලට කොච්චර ණයයි කියලා කියනවා ද? (නිකමට මතක් වෙලා අහන්න හිතුනේ)

මේ යුද්ධයේ යුක්රේනය ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා නම් හොඳයි. රුසියානු හමුදා පළවා හැර තම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න යළි එහි පාලනය අතට ගන්නවා නම් හොඳයි.

නමුත් ඇත්තටම මේ යුද්ධය අවසාන වනවාට මේ දෙපිරිසෙන් එකෙකු හෝ කැමති ද? මේ යුද්ධය අවසාන වනවාට බයිඩන් ඇතුළු ලෝක බලවතුන් කැමති ද?

මට නම් ඇත්තටම ඒක ප්‍රශ්නයක්..

ප්‍රමෝද් චින්තක පීරිස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...