BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

Date:

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, තමන් විසින් ආනයනය කළ BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබාගැනීමට එරෙහිව ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසින් ගොනුකර ඇති පෙත්සමක් ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී ය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී වාහන ආනයනකරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා තම සේවාදායකයින්ට මෙම පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අතර මෙම නඩුකරයට මැදිහත් වීමට අතරමැදි පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් මෙවැනි නඩුකර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබාදී ඇති තීන්දු ගණනාවකම ඒ බව සඳහන් කර ඇති බවත් ප්‍රකාශ කළාය.

එම අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පැවසුවේ මෙම නඩුකරය හරහා නිකුත් වන තීන්දුවෙන් මෙරටට වාහන ආනයනය කරන 446 දෙනෙකුට බලපෑම් සිදුවන බවත් පෙත්සම්කාර සමාගම අනීතික ලෙස සහ අක්‍රමිකතාවන් සහිතව මෙම BYD වාහන ආනයනය කර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීම වළක්වා ගැනීම සඳහා එම සමාගම තමන් මෙම නඩුකරයට මැදිහත් වීම වළක්වා ගැනීමට උත්සාහ කරන බවත් ය.

එසේම එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ වනවිට ආනයනය කර, බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාවය 100 kWද, එසේත් නොමැති නම් 150kWද යන්න නිගමනය කිරීම සඳහා විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව වයි. එම්. ආර්. අමරසිංහ සහ ජේ. පී. කරුණාදාස යන මහාචාර්යවරුන්ගෙනුත් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුගෙන් සමන්විත වන බවත් ය.

එම කමිටුව මෙම වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනය කරමින් සිටින බවත් එහි වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිත බවත් පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉන් අනතුරුව මෙම නඩුකරයට පාදක වූ ගැටලුව නිරාකරණය කරගැනීමට හැකිවනු ඇති බවත් පැවසීය.

වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා පෙත්සම ලබන 22 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...