2022 යුරෝපීය භාෂා දිනය සමරමින් ශ්‍රී ලංකාව හරහා පැවැත්වෙන ජෑස් සංගීත සවාරිය

Date:

මාධ්‍ය නිවේදනයයි

කොළඹ (2022 සැප්තැම්බර් 13). යුරෝපා සංගමය, සැප්තැම්බර් 26 වැනි දිනට යෙදෙන මේ වසරේ යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත, ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ග’ත-ඉන්ස්ටිටියුට් හා බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හරහා ජෑස් සංගීත සවාරියක් පවත්වනු ඇත.

සාමකාමී හා අන්තර්ග්‍රාහී සමාජයක් උදෙසා යුරෝපා සංගමයේ පුළුල් ව්‍යායාමයෙහි කොටසක් වශයෙන්, මේ බහුභාෂීය ජෑස් සංගීත සවාරිය ප්‍රධාන ධාරාවේ ජෑස්, පොප් රොක්, ජෑස් ෆියුෂන්, ජෑස් පොප් හා ලැටින් ජෑස් ශෛලියේ සංගීතය ඉදිරිපත් කරනු ඇත. මේ සවාරිය, අන්තර්සංස්කෘතික අවබෝධය දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ භාෂා උරුමයෙහි විවිධත්වය ගෙනහැර පාමින් කොළඹින් පටන්ගෙන, මහනුවරට ගමන් කොට, යාපනයෙන් සමාප්ත වෙයි.

මෙහි සමාරම්භක ප්‍රසංගය සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා පස්වරු 6.30 සිට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. එය පැමිණෙන අනුපිළිවෙලට සියලු දෙනාට නොමිලේ සහභාගි විය හැකි විවෘත ප්‍රසංගයකි. ඉන් පසු සැප්තැම්බර් 26 වැනි සඳුදා පස්වරු 7.00ට මහනුවර Slightly Chilled Lounge Bar and Restaurant හි දී ජෑස් සන්ධ්‍යාවක් පැවැත්වෙයි. අවසන් ප්‍රසංගය සැප්තැම්බර් 28 වැනි බදාදා පස්වරු 5.30 සිට යාපනය මහජන පුස්තකාලයේ දී පැවැත්වෙනු ඇත.

මේ ප්‍රසංගයට ගායිකාවක, ගිටාර් වාදිකාවක හා ගීත රචිකාවක වන එලියන් ඇම්හර්ඩ් සහ බේස් වාදිකාවක, සංගීත කණ්ඩායම් නායිකාවක, සංගීත රචිකාවක හා නිෂ්පාදිකාවක වන ඇමැන්ඩා රූසා ජර්මානු, ප්‍රංශ, ඉතාලි, පෘතුගීසි හා ඉංග්‍රීසි භාෂාවලින් ඉදිරිපත් කරන සංගීත නිර්මාණ ඇතුළත් වනු ඇත.

ස්විට්සර්ලන්තයේ උපන්, නිව් යෝර්ක් නගරයේ දැන් ජීවත් වන එලියන් ඇම්හර්ඩ්ගේ නව සංගීත රචනාවල එන සුවිශේෂ නාද සංයෝජනවලට, එම නගරයේ ඇති බහුසංස්කෘතික ශක්තියෙහි ආභාසය ලැබී තිබේ. එය වූ කලි ජෑස් ගුණයෙන් යුතු වූ ද ප්‍රමෝදජනක වූ ද අප්‍රිකානු, බ්‍රසීලියානු හා ලතින් සංගීතයෙහි මුල්බැසගත්තා වූ ද සංගීතයකි. දක්ෂ සංගීතඥවරියක හා ගීත රචිකාවක මෙන් ම The New School University for Jazz and Contemporary Music හි උපාධිධාරිනියක ද වන එලියන් නිව්යෝක්හි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවල මුඛ්‍ය කලාකාරියක ලෙස කටයුතු කරන අතර උතුරු හා දකුණු ඇමෙරිකා කලාප, කැනඩාව, යුරෝපය හා ආසියාව පුරා සංචාරය කරන්නී ය. එහි දී ඇය චීනය, තායිලන්තය, පිලිපීනය, මියන්මාරය, මැලේසියාව, නේපාලය හා මොන්ගෝලියාව තුළ ජාත්‍යන්තර උළෙලවලට සහභාගී වී තිබේ. නිව් යෝර්ක් සංගීත කණ්ඩායම් ගණනාවක ම ගිටාරය වාදනය කරන ඇය මාර්කස් ස්ට්‍රික්ලන්ඩ්, බෂිරි ජොන්සන්, බිල් වේර්, හේගර් බෙන් අරි, රැන්ඩි බ්‍රෙකර් වැනි විශිෂ්ටයින් සමඟ එක්ව නිර්මාණකරණයේ යෙදී තිබේ.

චිලියානු මවකට හා ඉතාලි පියෙකුට දා ව බ්‍රසීලයේ සාඕ පාවුලෝහි උපන් ඇමැන්ඩා රූසා හැදුණේ වැඩුණේ සංගීතය නද දෙමින් පැවති නිවෙසක ය. ඇමැන්ඩා බේස් වාදනයට හා වෘත්තීය ප්‍රසංගවලට සම්බන්ධ වීම ඇරඹුවේ මුල් අවධියේ දී ම ය. අවසානයේ ඇය, බ්‍රසීලයේ දී ග්‍රැමී සම්මානලාභී මූගී කැනාසියෝ, මඑස්ට්‍රෝ ජොබෑම් හා සෝනි මියුසික් ජැපෑන් හි ඔස්නි මෙලෝ ඇතුළු ප්‍රධාන පෙළේ බ්‍රසීල නිෂ්පාදකයින් හා සකසුවන් සමඟ වැඩ කළා ය. දැන් ඇය නිව් යෝර්ක් කේන්ද්‍ර කරගෙන වැඩ කරයි. ශෛලීන් ගණනාවක නිපුණ සංගීතඥවරියක වීමට අමතරව ඇමැන්ඩා පෘතුගීසි, ස්පාඤ්ඤ, ඉතාලි හා ඉංග්‍රීසි භාෂාවන්හි නිපුණ ය.

— සමාප්තයි —

මාධ්‍ය විමසුම්:

Le-Anne FERNANDO
Political, Press and Information Section
Delegation of the European Union to Sri Lanka and the Maldives
Email: [email protected]
Tel: + 94 11 2674413-4

Nina FERNANDO

Communications Section

Embassy of Switzerland to Sri Lanka and the Maldives

Email: [email protected]

Tel.: +94 11 269 51 17 Ext.853099

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...