*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති රනිල් අතින් විවෘත කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

අද පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අප මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම අනුමත කළේ 2015 වසරේදීයි. නමුත් එදා සිටම මීට විරුද්ධව විශාල විරෝධතා ගෙන ගියා. පාර්ලිමේනතුවේ පරීක්ෂණ කළා. අවසානයේ 2019 වසරේදී ආරම්භ කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අතපසු වුණා.

මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වැඩකටයුතු අද ආරම්භ වී තිබෙනවා. මේ කර්මාන්තශාලාව මඟින් වර්ෂයකට වාහන 50,000ක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මේ සමග අපට අපේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කර ගත හැකියි.

මෙම කර්මාන්තශාලාව වසර දෙකකින් ආරම්භ කිරීමට නියමිතව වුවද මේ සඳහා අපට වසර 10ක කාලයක් ගත වුණා. බොහෝදෙනා උත්සාහ කළේ මෙයට විරුද්ධව කටයුතු කිරීමටයි. කිසිවෙක් පක්ෂව වැඩකටයුතු කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ සියලුදෙනා උත්සාහ කළේ මෙම ව්‍යාපෘතිය නතර කර දැමීමටයි. මෙම කර්මාන්තශාලාව තුළින් රැකියා අවස්ථා උදාකර ගැනීමට තිබු අවස්ථා අප අහිමි කරගත්තා. ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීමට මම ඉඩ දෙන්නේ නැහැ.

මම මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්නේ මෙම වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමටයි. මෙම කර්මාන්තශාලාව කුලියාපිටිය දියුණුවේ එක කොටසක් බව කිවයුතුයි. මේ සමඟ කුලියාපිටිය දියුණුව ආරම්භ වෙනවා. අප බිංගිරියේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරනවා. ඒ වගේම සංචාරක කලාපයක් වෙනුවෙන් ඉරණවිල ප්‍රදේශයේ අක්කර 500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව සංචාරක සහ නිෂ්පාදන කලාපයක් මෙම ප්‍රදේශවලට ලැබෙනවා.

මෙම නව රැකියා අවස්ථා සමග පුහුණු පිරිස් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනීමටත්, පුහුණු පිරිස වැඩිකර ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. අප කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇති කරනවා. 21 වන ශතවර්ෂයේ මැද භාගයට අප ගමන් කළ යුතුයි. එය අතහැර යාමට හැකියාවක් නැහැ.

අද චීන සමාගම් මෙම අයෝජන සඳහා පැමිණ සිටින අයුරින් යුරෝපා සමාගම්ද ඉදිරියේ දි මෙහි පැමිණෙනවා. ඔවුන් සිටින්නේ අප නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වන තුරුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරටට ණය ලබාදුන් රටවල් 18 සමග සාකච්ඡා කර තිබෙනවා. අප දැන් පුද්ගලික බැදුම්කරුවන් සමඟ අවසාන වටයේ සාකච්ඡාවල නිරත වෙනවා. එම එකඟතා අනුව අප ඉදිරියට යනවා.

මම උත්සාහ කරන්නේ වයඹ විශාල දියුණුවක් ඇති කිරීම සඳහායි. ගම්පහ දියුණු කළ අන්දමින් අප වයඹ එම දියුණුව ඇති කරනවා. එහි ආරම්භයක් ලෙස මම කර්මාන්තශාලාව හදුන්වා දිය හැකියි. සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මෙම සමාගම මඟින් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.”

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහත්වරුන්ද, වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්‍යක්ෂවරුන් වන ජෙරාඩ් ප්‍රනාන්දු, මිකායිල් සෙල්වනායගම් යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan