මෙවර ජෝන් ටාබට් මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන ප්‍රතිපල විමසා බැලීමේදී දක්ෂයන් රට පුරාම විසිරී සිටින බව දැකිය හැකිය.ඒ සඳහා මිට වසර කිහිපයකට ඉහතදී පත් කරන ලද පාසල් ක්‍රිඩා පුහුණුකරුවන්ගේ දායකත්වය ද හේතු වි තිබෙන බව පැහැදිළිය.මලල ක්‍රීඩාවෙන් දස්කම් පිරුණු රටක් බවට මේ රට පත් කිරීමටනම් එම විසිරි දස්කම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා සම්පත් ගමන් කළ යුතුය.ඊට පිළියම සේ දුර බැහැර දක්ෂයන් උගුල්ලා ගෙන විත් කොළඹ පැල කර ගැනීම විසඳුම නොවේය.
එම දක්ෂයන් නිර්මාණය කළ පුහුණුකරුවන්ට අවශ්‍යය විශේෂඥ දැණුම දීමට පුහුණු උපදේශන මණ්ඩලයක් එම ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් අධීක්ෂණයට යොමු කළ යුතුය.ක්‍රීඩකයා මෙන්ම පුහුණුකරුවාද පවත්වාගෙන යා යුතුය.සමහර ජාතික පුහුණුකරු තනතුර දරන්නන් ද,දක්ෂයෙක් දුටු විට ඔහුව හෝ ඇයව තමන්ගේ කර ගන්නවා විනා ඔහුගේ හෝ ඇයගේ පුහුණුකරු පෝෂණය කිරිම සිඳු කරන්නේ නැත.දක්ෂයා ගෙනවිත් තමන්ගේ ගොන්නේ ගසාගෙන ඒ පොකුර කළමණාකරනය කරන්නට යාමෙන්,ඒ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තනිව යොමුවන්නට තිබුණ අවධානයද මොට කරනු විනා වෙන සෙතක්නම් අඩුය.එසේ ගොඩ ගසාගන්නා දක්ෂයන්ගේ එකෙක් හෝ දෙන්නෙක් මතු වූ විට එහි පුහුණුකරු ලේබලයෙන් තවත් කාලයක් වැජඹෙන්නට පාර සකසා ගනු විනා ක්‍රීඩාවට වන සෙතක් නැත.ක්‍රීඩාවට සෙතක් වන්නටනම් සිඳුවිය යුත්තේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ද අලුතින් නිර්මාණය වීමය.
මෙවර ජෝන් ටාබට් තරගාවලියේ දී පාසල් මලල ක්‍රීඩා සංගමය ආසියානු අවුරුදු 18 න් පහළ තරගාවලියට තේරීම් කිරීමත් තම කරේ පටවා ගත්තේ බොහෝ කැමත්තෙන්ය.කැමත්තෙන් තමන්ගේ ඔඩොක්කුවට දා ගත් නයා දෂ්ඨ කරන්න සූදානම් වන විට ඌ ඇතුළට ඔබාගෙන කැසපට ගසාගෙන ද අවසන්ය.මලල ක්‍රීඩා සංගමය වෙනම ප්රමිතයක් සහිතව මෙම තේරීම සිඳු කළ යුතුව තිබිණ.එය දවසක ගාම්භිරව කළයුතු වැඩක් වුව ඔවුන් කළේ ඒ සංවිධාන වෙහෙස පාසල් මලල ක්‍රීඩා සංගමයට පවරා සුව පහසු අසුනක නරඹන්නන් වීමය.
ඉන් සිඳු වූයේ අවුරුදු 18 වයස් ඛාණ්ඩයේ තරඟ සඳහා මෙන්ම අවුරුදු 20,22,16 වයස කාණ්ඩවල තරඟකරුවන් ද විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ තරඟත්,අවුරුදු 18 වයස් ඛාණ්ඩයේ තරඟ සඳහා ඉදිරිපත් වූ පිරිසත් නිසා තරඟ පැවත්වීම විශාල අර්බූදයකට යාමය.ඒ නිසා දක්ෂයන් විශාල පිරිසකට තරගයට සහභාගි වන්නට ඇඟ උණුස් කිරීමෙන් පසුව බලා ඉන්නට සිඳුවීම නිසා නිසි දස්කම් මතු නොවිමේ ඉඩක් ද නිර්මාණය වීමය.එය එසේ නොවී අවුරුදු 18 න් පහළ සහ 18 න් පහළ තෝරා ගත් ප්‍රමිතියකින් යුතු ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ තේරිමක් ආකාරයට තරග පැවත්වූවේනම් අවුරුදු 18 න් පහළ අසියානු මලල ක්‍රීඩා සූරතාවලියට වැඩි දක්ෂයන් පිරිසක් සොයා ගන්නට ඉඩ තිබිණ.විශේෂයෙන්ම දක්ෂතා මීට වඩා යම් මට්ටමකින් ඉහළ තැනෙක රැඳෙන්නටත් ඉඩ තිබිණ.
සමස්තයක් සේ ගත් විට මෙවර තරගාවලියේ පිටියේ ඉසව්වන්හී පැනීමේ කොටසේ නව වාර්තා බිහිවීම ඉහළ මට්ටමක තිබිණ.අප ඊයේ දමේ බව වාර්තා කළේය.
එම වාර්තාවේ දැක්වෙන වාර්තා හයට අමතරව අලුතින් එකතු වූ නව වාර්තා පහෙන් තුනක් ද පැනීම් ඉසව්වලින්ම බිහි වූ ඒවා විය.එහිදි රිටි පැනීම අවුරුදු 16 න් පහළ ඉසව්වේ නව වාර්තාව තැබූ එස්.කල්යාණන් ද එම වයස් කාණ්ඩයේ එම ඉසව්වේ බාලිකා වාර්තාව තැබූ අභිශාලිනිගේ පාසල වන චාවකච්චේරිය හින්දු විද්‍යාලයේම වීම කැපී පෙණින.
ජවන ඉසව්වකට නව වාර්තාවක් එක් කරමින් මතුගම ආනන්ද ශාස්ත්රාලයේ ඉසුරු කෞශල්‍යය මීටර් 400 අවුරුදු 20 න් පහළ ඉසව්ව තත්පර 46.96 ට නිම කරන්නට සමත්විය.පිටියේ ඉසව්වන්හී පැනීමේ ඉසව් වාර්තා වැඩිපුර අලුත් වුණ ද,වීසිකිරීම් ඉසව්වන්හී වාර්තා අලුත් වූයේ එකක් පමණි.එම වාර්තාව හිමි වූයේ පානදුර රාජකීය විද්‍යාලයේ ජයවි රන්හිදට ය.අවුරුදු 18 න් පහළ යගුලිය වීසිකිරීමේ තරගයේ ඔහු මීටර් 17.23 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වූවේය.පානදුරම වෙනත් විද්‍යාලයකින් දුර පැනීමේ වාර්තාවක්ද එකතු වුණ අතර,එය තැබුවේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආර් කරීම් ය.ඔහු අවුරුදු 18 න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.20 ක දක්ෂතාවයක් දක්වමින් එම දස්කම සිඳු කළේය.කොළඹ ශාන්ත ලෝරන්ස් බාලිකා පාසලේ ඔෂිනි කොඩිකාර තුන් පිමිම ඉසව්වේ දී නව වාර්තාවක් තැබූවේ අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේදී ය.එිහදී ඔසිනි දැක් වූ දක්ෂතාවය මීටර් 11.64 ක් විය.
සූරතා වලලට සහ වත්තල ලයිසියම් විද්‍යාලවලට
මෙවර ජෝන් ටාබට් සූරතා තරගාවලියේ පිරිමි සූරතාවය දිනා ගන්නට සමත් වූයේ වත්තල ලයිසියම් විද්‍යාලය ය.කොළඹ ශාන්ත පිතර විද්‍යාලය දෙවන තැනට පත් කරමින් දිනා ගත් පිරිමි සූරතාවයෙන් දෙවැනි නොවී බාලිකා තරග අංශයේ දී වලල ඒ රත්නායකයට පමණක් දෙවැනි වෙමින් වත්තල ලයිසියම් බාලිකා අංශයේ අනු සූරතාවයද දිනා ගත්තේය.
වලල ඒ රත්නායකය සිය ජාතික සමස්ත සූරතා ගොන්නට 90 වන ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලේ බාලිකා සූරතාවය එක් කර ගනිද්දී විශේෂත්වය වන්නේ බාලිකා සූරතා සඳහා ස්ථාන නම් කරද්දී කිසිඳු බාලිකා පාසලක් මුල් ස්ථාන තුන අතර නොරැදීමය.ඇතැම් විට එයට හේතුව සාමාන්‍ය මතය අනුව වඩා දක්ෂ බාලකයන් සමඟ මිශ්‍ර පාසල්වලදී බාලිකාවන්ට කටයුතු කරන්නට ලැබීම අමතර වාසියක් වීමට ද හැකිකමය.කෙසේ වුව ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් නොව සංස්කෘතික සමාජය තුළ ද වඩා යහපත් තැනෙක ස්ථාපිත කිරීමට බාලක බාලිකා යනුවෙන් පාසල් වෙන කර තැබීමට වඩා මිශ්‍ර පාසල් ලෙස පාසල් පද්ධතිය හැඩගැසීම වැදගත්ය.
අනුර බණ්ඩාරගෙන් පොකුරක්
සුගත් තිලකරත්නගේ පුහුණුකරු වූ අනුර බණ්ඩාර,සුගත්ගෙන් පසුව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ජාතික තලයට තල්ලු කරමින් සිටිය ද,ඒවා සුගත්ගේ තලයට තල්ලු කර ගන්නට නොහැකි විය.ඊට එක් හේතුවක් වූයේ සුගත් සහ සුගත්ගේ පවුලේ අය තරමට ඒ ක්‍රීඩකයන්ට සහ පවුල්වලට වේදනා,පසුතැවීම් දරා ගන්නට නොහැකිකමය යන්න ගැන ඇත්තේ සාධාරණ සැකයක්ය.අනුර බණ්ඩාර එසේ එකෙක් දෙනේනෙක් මතු කිරීමේ සම්ප්‍රදායෙන් මිදී මෙවර ජෝන් ටාබට් සූරතාවලියේ බාලිකා සූරතාවයේ තෙවන තැන අඹගමුවට අරගෙන යන්නට තරම් පොකුරක් ගෙන විත් තිබිණ.එසේම පිටපළාත් බාලිකා සූරතාවයද හිමි වූයේ අඹගමුවටමය.
රාහුල නැඟිටියි
මාතර රාහුල විද්‍යාලයද මීට දශක ගණනාවකට පෙර මලල ක්‍රීඩාවෙන් ඉහළ මට්ටමක සිටිය ද,පසුව එය ඉතිහාසමය මතක හැටියට ඉතුරු වී මලල ක්‍රීඩා ජයග්‍රහණ හැකිලී ගොස් තිබිණ.නමුත් මෙවර සමස්ත පිරිමි සූරතාවයේ තෙවන තැන රාහුලය රැඟෙන ගියේය.එහිදි අමිල හපුගල,ලාල් විජේවික්‍රම වැනි පුහුණුකරුවන් ප්රමුඛ පුහුණුකරු කණ්ඩායම පෑ දස්කම් සුළු කොට තැකිය නොහැකිය.අඹගමුව විද්‍යාලය මෙන්ම මාතර රාහුලයද සමස්ත සූරතාවයේ තෙවන තැනට අමතරව පිට පළාත් සූරතාවයද දිනා ගැනිම කැපී පෙණින.
දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහන අනුව මීටර් 400 ඉසව්වේ පෑ දක්ෂතාවයට ලකුණු 1048 ලැබූ ඉසුරු කෞශල්‍යය ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා විය.නෙත්මිකා මධුශානි හේරත් මොණරාගල නන්පුරාව විද්‍යාලයට මෙවර දක්ෂතම ක්‍රීඩිකාව බිහිකිරීමේ භාග්‍යය උදා කරේ දුර පැනීමේ ඉසව්වේ දක්ෂතාවයට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලකුණු සටහනේ ලකුණු 1018 ක් ලබා ගනිමින්ය.
තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකා දක්ෂතා අනුව ඔවුන් පෞද්ගලිකව දිනා ගත් සූරතා සහ ඒ අනුව ඒ ඒ විද්‍යාල හිමිකර ගත් සූරතා ගැන සටහනක් මේ සමඟ පහත දක්වා ඇත.
වඩා වැදගත් මේ ප්‍රතිපල අප ලබන්නේ සැමට සමාන බිමක නොවන බව තේරුම් ගැනීමය.පහසුකම් වැඩි පොළවක දක්ෂයන්ට වඩා ඔවුන් අභිබවා යන සහ කරට කර තරඟ වැදෙන පහසුකම් අඩු බිමක දරුවන් ඉල්ලන්නේ “අපිට කොළඹ එන්න චාන්ස් එකක් දෙන්න” කියා නොවේය.”රටට දිනන හැකි තැනට රට එන්න” කියා පාළකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමක්ය.ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ දක්ෂතාම ක්‍රීඩිකාව වූ දුර පැනීමේ සූරිය මධුහානි හේරත් සහ දක්ෂතම ක්‍රීඩකයා වූ මීටර් 400 සූරයා ඉසුරු කොශල්යය ය.
RM