එදවස සොඳුරුමය එතරම්….

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

පොතක වරුණ..

එදවස සොඳුරුමය 7 තීරුලිපි සංග්‍රහය…ගේය කාව්‍ය කර්තෘවරු කෘති ද්වය ජනගත වීම 16 අඟහරුවාදා සැන්දෑවේ සිදු වූයේ , කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වුණු මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ගේය කාව්‍ය කතෘවරුන්ගේ මියුරු සංගීත විචාරයන් සහ හදවත් සනසාලන මියුරු පඳවැල් ද සමඟිනි.

එදා සන්ධ්‍යාව ලස්සනයි….මිහිරියි…රසයි…

මහාචාර්ය සුනිල් ආරියරත්න විරචිත නවතම කෘති ද්වයක ජනගත කිරීමේ උලෙළ අඟහරුවාදා (16දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. පළමු හා දෙවන වෙළුම ලෙස ප්‍රකාශිත මෙම ග්‍රන්ථ ද්වය තුළ මෙරට විසූ ප්‍රතිභාන්විත ගේය කාව්‍ය රචකයන් දොළොස් දෙනකුගේ නිර්මාණ, ඔවුන්ගේ සංක්ෂිප්ත ජීවන තොරතුරු හා රසික ශ්‍රාවක පිරිස් මෙතෙක් නොඅසා ඇති ඔවුන් නොදන්නා ඔවුන්ගේ නිර්මාණ හා බැඳුණු අපූර්ව තොරතුරු රැසක් ම විමර්ශනය කිරීමට සුනිල් ආරියරත්න මහැදුරුතුමා ගත් උත්සාහයක මහරු ඵල සහෘද අප’තට පත් කිරීමට සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශනයට හා හාපුරා කියා පිවිසෙන ඉමාෂි අධිපති විමල් දිසානායකයන් සමත් ව සිටිති.

ගේය කාව්‍ය කර්තෘවරු නමින් ප්‍රකාශයට පත් ව ඇති මෙම කෘති කීර්තනයෙහි (Blurb) මෙලෙස සඳහන් වී තිබේ.

‘ඔහු ලියන තාලයේ පොත් කවුරුවත් ලියන්නේ නැත. කවුරුත් ලියන තාලයේ පොත් ඔහු ලියන්නේ නැත. ඔහු ග්‍රන්ථකරණය සඳහා තෝරා ගන්නේ කිසිවෙකුගේ ඇස නො ගැටෙන මාතෘකා ය. ඔහු සින්දු යන දෙමළ වචනය ගැන පොතක් ම ලිව්වේ ය. බයිලා, කැරොල්, පසම් කන්තාරු, ග්‍රැමෆෝන් ගී වැනි මාතෘකා මෙන් ම ලෞජි, මුත්තුසාමි, රොක්සාමි, සාලි, සමරදිවාකර වැනි මාතෘකා ද ඔහුගේ ග්‍රන්ථ නාම අතර වේ. ජාතික ගීයෙහි නිර්මාතෘවර ආනන්ද සමරකෝන් ගැන පවා ඔහු ලියනතුරු කිසිවෙක් කිසිවක් ලියා තිබුණේ නැත. මෙම ගේය කාව්‍ය කර්තෘවරු ද ඒ පොත් සමූහයට ම අයත් වන්නා වූ කෘතී ය.’

කවුරුත් නොලියන තාලයේ, ඔහුටම අනන්‍ය වූ ලිවීම් සහිත මෙම කෘති ද්වයේ දී අප හමුවට එන ගේය කාව්‍ය කර්තෘවරු දොළොස් දෙනාගේ නිර්මාණ විඳුම් ලොව විනිවිද දකින ගේය කාව්‍යක්කාරයකු ගේ හා ශාස්ත්‍රවන්තයකු ගේ විශ්ලේෂණ ප්‍රභාව මොනොවට ප්‍රදර්ශනය වන බව කිව යුතුය.

මෙහිදී ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුමෙහි ඩබ්ලියු.ඩී. මර්සලීනු ඇල්බට්, මර්සලීන් ජයකොඩි පියනම, සී.වීරසේකර, හියුගෝ ප්‍රනාන්දු, ඒ.ජේ.ද සොයිසා, විමල් අභයසුන්දර නම් වූ කර්තෘවරුන් හය දෙනකු හමුවන අතර, දෙවන වෙළුමෙහි හමුවන්නන්ගේ සම්ප්‍රදාන පුළුල් පරාසයක දිවෙන බව පෙනේ. පී.එල්,ජේ.නන්දකීර්ති, හර්බට් එම්.සෙනෙවිරත්න, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, ඔගස්ටස් විනායගරත්නම් හා නිහාල් ඒ.ජයසිංහ යන ගේය කාව්‍ය කර්තෘවරු බහුතරයක් මෙරට ජනප්‍රිය ගීත ක්‍ෂේත්‍රය පොහොසත් කළෝ වෙති..

මෙම කෘති දෙක තුළ හමුවන ගේය කාව්‍ය කර්තෘවරු සියල්ලන් ම පාහේ අඩු වැඩි වශයෙන් ශ්‍රාවක සිත් සතන් හි යුගයෙන් යුගයට රැඳී පවත්නා ගේය කාව්‍ය සංකල්පනා රාශියක් නිමැවූවෝ වෙති. ග්‍රැමෆෝන් ගීතය, කොලොම්බියා හා HMV තැටි, ගුවන් විදුලිය චිත්‍රපටය ආදී මාධ්‍ය ඔස්සේ මෙම කර්තෘවරුන්ගේ ගේය කාව්‍ය සංකල්පනා මිහිරි ගීත බවට පත් වී දශක ගණනාවක් පුරා ශ්‍රාවක සවනෙහි, මනසෙහි රැඳී නිංනාද දෙන ගීත බවට පත් වී ඇත්තේ එකී ගේය කාව්‍ය සංකල්පනාවන් පෝෂණය වී ඇති මිහිරි, රසයෙන් අනූන, භාවපූර්ණ, ගීතවත් වදන් මාලා නිසාම බව සුනිල් ආරියරත්න ගේය කාව්‍ය රචකයාගේ විශ්ලේෂණ, නිරීක්ෂණ සාක්ෂි දරන බව පෙනේ.

වරින් වර හින්දි හා දෙමළ තනු සඳහා නිර්මිත ගේය කාව්‍ය සංකල්පනා, මුල් ගීත සඳහා භාවිත ගී තනු හා සංගීතය හේතු කොට ගෙන අතිශය ජනප්‍රිය වූ ගීත රාශියක් උද්ධෘත කොට දැක්විය හැකි ය.

මෙම අපූරු සන්ධ්‍යාව තවත් වර්ණවත් කිරීමට ප්‍රවීණ ගායිකා උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක ඇතුළු ගායන වෘන්ධ්‍යක් සහභාගී විය.

ඡායාරූප ලබාදීම සුරේෂ් ෆර්නෑන්ඩෝ සොහොයුරාට බෙහෙවින්ම ස්තූතියි…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...

ට්‍රම්ප්ගේ තර්ජන නොතකා නිව්යෝක්හි ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා බිහිවේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...