සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 18 : මේ වන විට ආසියානු කලාපයේ වර්ධනය වෙමින් පවතින ප්‍රබල එල් නිනෝ තත්ත්වය වසර අවසානයේදී තවදුරටත් ශක්තිමත් විය හැකි බවත්, එහි බලපෑම් 2027 වසර දක්වා පැවතිය හැකි බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) නිවේදනය කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ආසියාවේ රටවල් රැසක සාමාන්‍යය තත්වයට වඩා ඉහළ උෂ්ණත්වයන්, වර්ෂාපතන රටාවේ වෙනස්කම්, නියඟ සහ ජල හිඟය ඇතිවීමේ අවදානම ඉහළ යා හැකියි. විශේෂයෙන් ඉන්දියානු උපමහාද්වීපයේ සහ අග්නිදිග ආසියාවේ ඇතැම් ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයන් තීව්ර විය හැකි බව පුරෝකථන පෙන්වා දෙයි.
නියඟය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් භෝග අස්වැන්න අඩුවීම, ජල අවශ්‍යතාව ඉහළ යාම සහ ආහාර මිල ගණන් ඉහළ යාමේ අවදානම පවතින අතර එක්සත් ජාතීන්ගේ ආයතන පෙන්වා දෙන්නේ ආසියා-පැසිෆික් කලාපයේ ආහාර සුරක්ෂිතතාවට එල් නිනෝ බලපෑම් ඇති කළ හැකි බවයි.
එහෙත් එල් නිනෝවෙන් ආසියාවේ සෑම ප්රදේශයකටම එකම ආකාරයේ බලපෑමක් සිදු නොවන අතර රට, ප්‍රදේශය සහ කාලසීමාව අනුව නියඟය මෙන්ම ඇතැම් ස්ථානවල අධික වර්ෂාපතනය හා ගංවතුර අවදානමද වෙනස් විය හැකි බව WMO අවධාරණය කරයි.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද එල් නිනෝ තත්ත්වයන් ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන රටාවට වෙනස්කම් ඇති කළ හැකි බව පෙන්වා දී ඇති අතර ජල සම්පත්, කෘෂිකර්මාන්තය සහ ආපදා සඳහා සූදානම පිළිබඳ අවධානය වැඩි කිරීම වැදගත් කොට දක්වා තිබේ.

