*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

දෙවෙනි මනාපේ ….

වසර ගණනාවකට පසුව මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාප පිළිබඳව නැවත අවධානය යොමු වී තිබෙනවා. දෙවන මනාප කියා කියන්නේ පසුගිය දශක තුනකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් විසින් නොසලකා හැර තිබුණු දෙයක් කියා කියන්න පුළුවන්. ඒ නිසාම ගොඩක් අයට ජනාධිපතිවරණය කටටම ඇවිත් තිබෙන මේ මොහොතේ වුනත් දෙවන මනාප වැඩ කරන විදිහ ගැන පැහැදිලි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ.

සාමාන්‍ය කාරණයක් විදිහට පුද්ගලයෙක්ට වැඩි තේරීම් ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. එයින් හැම විටම අනිවාර්යයෙන්ම වාසියක් නොවුනත්, කිසිම විටක අවාසියක් වෙන්නේනම් නැහැ.

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිලා දැන් අවුරුදු 93ක් වෙනවා. මේ අවුරුදු 93න් අවුරුදු 50ක්ම ලංකාවේ ඡන්දදායකයා දැනගෙන හිටියේ තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයාට ඡන්දය දෙන ක්‍රමය ගැන පමණයි. එයින් එහාට තේරීමක් ඔවුන්ට තිබුණේ නැහැ.

කාර්යාල වල වැඩ කරන අය සමහර වෙලාවට වෙනත් අයෙකුට කියලා එළියෙන් බත් පාර්සලයක් ගෙන්වා ගන්නවා. එහෙම ගේන්න සල්ලි එකතු කර ගනිද්දී අවශ්‍ය වන්නේ චිකන් කෑම එකක්ද, මාළු කෑම එකක්ද, බිත්තර කෑම එකක්ද එහෙම නැත්නම් එළවලු කෑම එකක්ද කියලා කියන්න වෙනවා.

“මට ගේන්න මාළු කෑම එකක්!”

කවුරු වුනත් කියන්නේ තමන් වැඩියෙන්ම කැමති තේරීම අරගෙන එන්න කියලයි. ඒ තේරීම ඒ විදිහටම ලැබුනොත් අවුලක් නැහැ. අවුලක් වෙන්නේ ඒ තේරීම නොලැබුනොත්.

“මොකද මේ බිත්තර කෑම? මම ගේන්න කිවුවේ මාළු කෑම එකක්නේ…”

“මාළු කෑම ඉවර වෙලා! ඒ නිසා මම බිත්තර කෑම එකක් ගෙනාවා.”

“අයියෝ! මම බිත්තර කන්නේ නැහැනේ. චිකන් කෑම තිබුනේ නැද්ද?”

“තිබුණා! චිකන් කයිද කියලා දන්නේ නැති නිසා මම බිත්තර කෑම ගෙනාවා.”

ඔන්න ඔය ක්‍රමය තමයි 1977 වන තුරු ලංකාවේ තිබුණු එකම මැතිවරණ ක්‍රමය. තමන් කැමතිම කෑම වර්ගය ඕඩර් කරන්න පුළුවන්. ඒක ලැබුනොත් හරි. හැබැයි නොලැබුනොත් ලැබෙන ඕනෑම දෙයක් භාර ගන්න වෙනවා.

ජනාධිපතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙද්දී ඔය වඩාත්ම කැමති පුද්ගලයා තෝරන ක්‍රමයෙන් එහාට ගිය තේරීමක් ලංකාවේ ඡන්දදායකයාට ලැබුණා.

“මට ගේන්න මාළු කෑම එකක්! මාළු කෑම නැත්නම් චිකන් කෑම එකක් ගේන්න. ඒත් නැත්නම් එළවලු.”

දැන් තිබෙන ක්‍රමය ඔය වගේ. කලින් වගේම මාළු කෑම ඕඩර් කරන්න පුළුවන්. හැබැයි හදිසියේ හරි මාළු කෑම ඉවර වෙලානම් ලැබෙන දෙයක් කන්න අවශ්‍ය නැහැ. දෙවන තේරීමට යන්න පුළුවන්. ඒකත් නැත්නම් තුන්වන තේරීමකුත් තිබෙනවා. මේක කලින් ක්‍රමයට වඩා ගොඩක් දියුණු ක්‍රමයක්.

මේ වගේ තේරීමක් තියෙද්දී තමන්ගේ දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ නොකර ඉන්නවා කියන්නේ අන්තිම මෝඩ වැඩක්. මොකද මාළු කෑම තිබෙනවානම් කොහොමටත් මාළු කෑම ලැබෙනවා. දෙවන තුන්වන කැමැත්ත මොකක් වුනත් මාළු කෑම තිබෙනවානම් ඒක නැති වෙන්නේ නැහැ.

පළමු කැමැත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේනම් ඒක කොහොමටත් ලැබෙනවා. අවුලක් වෙන්නේ මොන හේතුවකින් හරි පළමු කැමැත්ත ඉටු වුනේ නැත්නම්. හදිසියේවත් මාළු කෑම ඉවර වෙලානම්, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරලා නැති කෙනෙකුට ලැබෙන කෑමක් භාර ගන්න වෙනවා. ඒ නිසා, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ කිසිදු මුදලක් නොගෙවා රක්ෂණයක් ගන්නවා වගේ දෙයක්.

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් විසින් දෙවන තුන්වන මනාප ගණන් කරන විදිහ හරියටම පැහැදිලි කරනවා. ඒ විස්තර කරන්නේ පණතේ තිබෙන ක්‍රමය. මේ විස්තර කරන ක්‍රමය හරියටම හරි වුනත් විස්තරේ ගොඩක් අයට හරියට තේරිලා නැති බව පේනවා. ඊට හේතුව ඒ ක්‍රමය ඕනෑවට වඩා සංකීර්ණ ලෙස විස්තර කර තිබීම. ඒක විස්තර කිරීමේ වැරැද්දක් නෙමෙයි. පණතේම තියෙන විදිහ.

හැබැයි පණතේ මේ විස්තරය ඔය තරම් සංකීර්ණ වුනේ පසුව කරපු සංශෝධනයකදී. මුලින් පණතේ තිබුණු ක්‍රමය කාට වුනත් තේරුම් ගන්න ලේසියි.

දැන් ක්‍රමයට වඩා තාක්ෂණිකව වෙනස් වුනත් මුලින්ම පණතේ විස්තර කර තිබුණු ක්‍රමයෙන් වෙන්නෙත් දැන් වෙන දෙයම තමයි. ඒ නිසා, මම ඒ ක්‍රමය ගැන මුලින්ම කියන්නම්. ඒ ක්‍රමය තේරුම් ගන්න පහසුයි.

මේ ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ ඡන්දදායකයින් සියලු දෙනාගේම ඡන්දයෙන් රටේ නායකයා තෝරාගන්නා ක්‍රමයකුත් එක්කයි. ඊට කලින් ඒ වගේ දෙයක් සිදු වුනේ නැහැ. රටේ නායකයාව තෝරා ගත්තේ මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන්. ඡන්දදායකයින්ට කළ හැකි වූයේ තමන්ගේ නියෝජිතයාව තෝරාගන්නා එක පමණයි.

ඔය අලුත් ක්‍රමය හඳුන්වා දෙද්දී මනාප තුනක් ලකුණු කිරීමේ අවස්ථාවද ඡන්දදායකයින්ට ලැබුණා. ඒ අනුව, තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයා වගේම දෙවෙනියට හා තුන්වෙනියට කැමති කවුද කියලත් සඳහන් කරන්න පුළුවන්. ලකුණු කළ යුතුව තිබුණේ 1, 2, 3 ලෙසයි. අවශ්‍යනම් 1 පමණක් හෝ 1 හා 2 පමණක් ලකුණු කරන්නත් පුළුවන්.

අපි හිතමු ඡන්ද දායකයින් ගණන 100ක් සහ අපේක්ෂයින් ගණන 5ක් කියලා. ඔවුන්ව අපි A, B, C, D හා E ලෙස හඳුන්වමු. ඒ අයට පළමු මනාප ලැබුනේ මේ විදිහට කියලා හිතමු.

A = 52

B = 40

C = 5

D = 2

E = 1

ප්‍රතිඵලය ඔය වගේනම් දෙවන තුන් වන මනාප ගණන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයාට කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා අනිවාර්යයෙන්ම වැඩියි. රටේ නායකයා වෙන්නේ රටේ වැඩි දෙනෙක් කැමති පුද්ගලයෙක්.

නමුත් වැඩිම පළමු මනාප ගත් පුද්ගලයාට මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් හරි අඩක් සහ තවත් එකක් නැත්නම්, එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයාට කැමති ප්‍රමාණයට වඩා අකැමැති ගොඩ වැඩියි කියන එකයි. උදාහරණයක් විදිහට මේ වගේ.

A = 42

B = 40

C = 15

D = 2

E = 1

පරණ ක්‍රමය අනුව, ඔය වගේ වේලාවකදී කරන්නේ දෙවන මනාප ගණන් කරන එක. දෙවන මනාප ගණන් කරන්නේ C, D හා E යන තුන් දෙනාට පළමු මනාප දී තිබෙන අයගේ. මේකේ අරමුණ වෙන්නේ ඒ අය අඩු වශයෙන් Aට හෝ Bට දෙවෙනියට හෝ කැමතිද කියා පරීක්ෂා කර බලන එක. ඒ කියන්නේ ඒ අයට මාලු කෑම දෙන්න බැරි වුනත් අඩු වශයෙන් චිකන් කෑම හරි දෙන්න පුලුවන්ද කියා බලන එක.

අපි හිතමු D හා E දෙන්නාට පළමු මනාප දුන් අය කාටවත්ම දෙවෙනි මනාප දීලා නැහැ කියලා. Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා කියලා හිතමු.

A = 9

B = 2

D = 1

E = 1

දැන් කරන්නේ ඔය දෙවන මනාප A හා B දෙන්නාගේ පළමු මනාප වලට එකතු කරන එක.

A = 42 + 9 = 51

B = 40 + 3 = 43

දැන් තත්ත්වය අනුව පේන්නේ Aට අඩු වශයෙන් දෙවෙනියට හෝ කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා වැඩි බවයි. ඒ නිසා, තුන් වන මනාප ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවන මනාප එකතු කළාට පස්සේ පළමු වටයේ දෙවන තැන හිටපු අපේක්ෂයා ඉස්සරහට එන්නත් පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 11

D = 1

දැන් ප්‍රතිඵලය මේ වගේනේ.

A = 42 + 1 = 43

B = 40 + 11 = 51

ඒ කියන්නේ පළමු වටයෙන් දෙවෙනි තැන හිටියත් දෙවෙනි මනාප එකතු කළාට පස්සේ B ජයග්‍රාහකයා වෙලා.

ඔය විදිහට දෙවෙනි මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැති වෙන්න පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 1

D = 6

E = 5

දැන් ප්‍රතිඵලය මේ වගේනේ.

A = 42 + 1 = 43

B = 40 + 1 = 41

ඔය වගේ අවස්ථාවක Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාපත් ගණන් කරනවා. ඒ කියන්නේ මේ උදාහරණයේදී Cට පළමු මනාපය දී Dට හෝ Eට දෙවෙනි මනාප දුන්න 11 දෙනාගේ. අපි හිතමු ඒ තුන්වන මනාප බෙදී ගොස් තිබුනේ මේ විදිහට කියලා.

A = 2

B = 2

D = 1

E = 1

දැන් තුන් වන මනාපත් එකතු කළාට පස්සේ ප්‍රතිඵලය මේ වගේ.

A = 42 + 1 + 2 = 45

B = 40 + 1 + 2 = 43

තුන් වන මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැහැ. ඒ නිසා රටේ ඡන්දදායකයින් වැඩි දෙනෙක් අකැමති කෙනෙක්ව රටේ නායකයා විදිහට තෝරා ගන්න එක හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, පළමු දෙවන හා තුන් වන මනාප සියල්ලම එකතු කළාට පස්සේ ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයාව රටේ නායකයා විදිහට තෝරා ගන්නවා.

ඕක තමයි මූලධර්මය. නමුත් 1988 සංශෝධනයෙන් පස්සේ ඔය වැඩේ කරන විදිහ තරමක් වෙනස් වී තිබෙනවා. දැන් ක්‍රමයේදී දෙවන හා තුන්වන මනාප දෙපාරකට ගණන් කරන්නේ නැහැ. ඒ පියවර දෙකම එකවර කරලා පළමු මනාප වලට එකතු කරනවා. හැබැයි වෙන්නේ ඔය විස්තර කරපු දෙයම තමයි.

කලින් උදාහරණයක්ම නැවත ගන්නම්.

පළමු මනාප:

A = 42

B = 40

C = 15

D = 2

E = 1

Aට හෝ Bට පළමු මනාප නොදුන් අයගේ දෙවන මනාප:

A = 1

B = 1

D = 6

E = 5

Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාප:

A = 2

B = 2

D = 1

E = 1

Aගේ සහ Bගේ දෙවන හා තුන්වන මනාප:

A = 1 + 2 = 3

B = 1 + 2 = 3

Aගේ සහ Bගේ පළමු, දෙවන හා තුන්වන මනාප:

A = 42 + 3 = 45

B = 40 + 3 = 43

පේනවනේ. දැන් ක්‍රමයේ සහ මුල් ක්‍රමයේ අවසන් ප්‍රතිඵල සමානයි. ප්‍රධානම වෙනස දෙවන හා තුන් වන මනාප එකවරම ගණන් කරලා එකතු කරන එක. එහෙම කළා කියලා ජයග්‍රාහකයා වෙනස් වෙන්නේ නැහැ.

මේ ක්‍රමයේ තිබෙන වැදගත්කම කිසිසේත්ම දිනන්නේ නැති අපේක්ෂකයෙක්ට වුනත් තමන්ගේ පළමු මනාපය දීමෙන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවීම. අපි හිතමු මම කැමතිම අපේක්ෂකයා D කියලා. නමුත් දිනන්න ඉඩ තියෙන්නේ A හෝ B. මම වැඩියෙන්ම කැමති Dට වුනත් Aටත් යම් තරමක් කැමතියි. නමුත් Bට කොහොමටවත්ම කැමති නැහැ. ඔය වගේ වෙලාවක ගොඩක් අයට තිබෙන බය තමන් වඩා කැමති Dට පළමු මනාපය දීම නිසා A පැරදිලා B දිනයිද කියන එක.

හැබැයි ඔය වැඩේ කීයටවත් වෙන්නේ නැහැ. මොකද එක්කෝ මගේ පළමු මනාපය නැතත් A විසින් පළමු වටයේදීම 50% සහ එක අරගෙන දිනනවා. යම් විදිහකින් මම මගේ පළමු මනාපය Dට දුන් නිසා (සහ මා වැනි තවත් අය නිසා) පළමු මනාප වලින් පසුව Aගේ 50% සහ එක නැති වෙලානම්, මගේ දෙවන (සහ මා වැනි අනෙක් අයගේ) දෙවන මනාප එකතු වූ ගමන්ම 50% සහ එක හැදෙනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම පළමු මනාපය Aට දුන්නත් Aට 50% සහ එක හැදෙන්නේ නැහැ කියන එකයි.

දෙවන හා තුන්වන මනාප ගණන් කරන තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ ඒ දෙවන හා තුන්වන මනාප වලටත් පළමු මනාපයක වටිනාකමම ලැබෙනවා කියන එක. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ තේරීමට අවස්ථා දෙකකදීම වටිනාකම් ලැබිලා කියන එක.

සාමාන්‍ය කරුණක් ලෙස ඡන්දය නොදා සිටීමත් පුද්ගලයෙකුගේ අයිතියක්. නමුත් එයින් වෙන්නේ අනෙක් අයගේ කැමැත්ත කුමක් වුවත් එය භාර ගැනීමක්. දෙවන හා තුන්වන මනාප ප්‍රයෝජනයට නොගැනීමෙන් වෙන්නෙත් ඊට කිට්ටු දෙයක්.

ඡන්දය නොදා සිටීම තමන්ට අවශ්‍ය චිකන් කෑමද, බිත්තර කෑමද කියා හරියට නොකියා “තියෙන ඕනෑ එකක්” කියනවා වගේ වැඩක්. පළමු මනාපය පමණක් දැමීම “චිකන් තියෙනවනම් ගේන්න. නැත්නම් තියෙන ඕනෑ එකක් කියනවා වගේ වැඩක්.” තමන්ට “තියෙන ඕනෑ එකක්” ප්‍රශ්නයක් නැති කෙනෙක් ඔය තේරීම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් තමන්ට ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියනවානම් හොදම වැඩේ එය ප්‍රකාශ කිරීම සඳහා ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි. ඒකෙන් වාසියක් මිසක් කිසිදු අවාසියක් වෙන්නේ නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan